‘හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු උසාවියට දක්කාගෙන යාම’ පිළිබඳව ජනාධිපතිවරයාගේ අප්‍රසාදය හා පිළිකුල වේගයෙන් පළ කරයි. නීතිය ඉදිරියට චූදිතයෙකු ඉදිරිපත් කිරීම ‘දක්කාගෙන යාමක්’ ලෙස (ජනාධිපතිවරයෙකු විසින්) හැදින්වීම නීතිය බල්ලාට දැමීමකි. නීතියට දේශපාලන බලපෑම් කිරීමකි. ඇති හැකි අයට සහ තම හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිවීම ලාංකීය දේශපාලනයට අලුත් දේ නොවෙති. විශේෂයෙන්ම රාජපක්ෂ කල්ලිය අත්අඩංගුවේ රට පැවතුන කාලයේ එය විශේෂිත අයුරින්ම සිදුවිය. නව ජනාධිපතිවරයාටත් පරණ ලෙඩේ වැළදෙමින් පවතින බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
රටේ නීතියට එරෙහිව යමෙකු ක්‍රියාත්මක වී ඇත්නම් ඔහුගේ හෝ ඔහු හෝ ඇය හිටපු ආරක්ෂක ලේකම්ද දැන් සිටින ආරක්ෂක ලේකම්ද ඇමතිවරයෙකුද එසේ නැතිනම් වෙනත් ඉහල නිලධාරියෙකුද වෙනසක් නොමැතිව තිය ඉදිරියට පැමිණවීම ඒ සඳහා ඇති ආයතන සහ එම ආයතනවල වැඩකරන නිලධාරීන්ගේ රාජකාරීයයි. එයට ජනාධිපතිවරයා බලපෑම් කරයි නම් එය දේශාපාලන ඇගිලි ගැසීමකි.
ජනාධිපති සිරිසේනගේම කියමනට අනුව මෙම කොමිසම පත්කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය. නමුත් ඒ සමගම ඔහු ඒවායේ නිලධාරීන්ට තර්ජනය කරනු ලබයි. මේ තර්ජනාත්මක දේශපාලනය අප රටට හුරුය. එය ගෝඨාභය රාජපක්ෂලාගේ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනයයි. එදා යම් කිසිවෙකු ඔවුනට එරෙහිව දේශපාලනය කලා නම් ඔවුන්ගේ දූෂණයන් ප්‍රශ්න කලානම් දේශපාලන බලවතුන් එදා ප්‍රසිද්ධියේම ඔවුනට තර්ජනය කරනු ලැබුණි. එපමණක් නොව සමහරුන් අතුරුදහන් කරනු ලැබූ අතර තවත් සමහරෙකුට රට හැර යාමට සිදුවිය. අද ජනාධිපතිවරයා ඒ ටිකම එදා අයුරින් අරඹා ඇත. මෙම වර්ධනයට එරෙහිව සිවිල් සමාජය ඇතුළු දේශපාලන බලවේගයන් වහාම විරුද්ධ විය යුතුය. ආරම්භයේදී සුළුවෙන් වැළදෙන මානසික අබාධයන්ට ඉක්මන් සායනයක් නොකළ හොත් එම ආබාධයන් උග්‍ර වනු ඇත. එවිට සායනයකින් ලෙඩා බේරා ගත නොහැකි තත්වයක් උද්ගතවනු ඇත. ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ හමුදා නිලධාරීන් නඩු නැතිව මාස ගණන් හිරකරගෙන සිටින බවකි. මේ රටේ නඩු නැතිව කොපමණ සිරකරුවන් රඳවාගෙන සිටීද? දෙමළ සිරකරුවන්ගෙන් කී දෙනෙකු වසර 7-8 ක් හෝ 10 ක් නඩු නැතිව රඳවා සිටිත්ද? ජනාධිපතිවරයාට වේදනාව දැනෙන්නේ අපරාධයන්වල කොටස්කරුවන් වූ හමුදා නිලධාරීන් මාස ගණනක් රඳවා ගෙන සිටීම පමණද?
ජනාධිපතිවරයාට තමන්ට තමන්වම අමතක වී ගිය බවක් ඔහුගේ ඉහත ප්‍රකාශවලින් ගම්‍ය වේ. එදා ජනවාරි 08 තමන් සහ තම පවුල කුරුණෑගල පෙදෙසේ හිතවතකු ළඟ සැගවී සිටි බව පැවසුවේ ඔහුමය. යම් අයුරකින් ඔහු පරාජය වූවානම් ඔහුත් ඔහුගේ මුළු සනුහරයමත් අඩි 6 ක් යට අද සිටින බව ඔහු එදා පැවසීය. එදා එම මරණ තර්ජන ඔහුට පැමිණුනේ රනිල් වික්‍රමසිංහගේ රජයෙන්ද? නැත එදා ඔහුට එම මරණ බිය ඇතිකරන තර්ජන පැමිණුනේ ගෝඨාභයගේ මිනීමරු කණ්ඩායම්වලින් සහ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙනි. එසේ නම් ඔහුටම මරණ තර්ජනය කළ ඒ මිනිසුන්ගෙන් ප්‍රශ්න අසන නිලධාරීන් වැරදිකරුවන්ද? එසේ වැරදි කළවුන්ගෙන් ප්‍රශ්න කරන, රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන නිලධාරීන්ට එය කිරීම ගැන චෝදනා කරන, වක්‍රව තර්ජනය කරන ජනාධිපතිවරයා අද කරන්නේ මහින්ද එදා කළ දේම නොවන්නේද?
ප්‍රගීත් එක්ණැලිගොඩ හමුදාව ගෙන ගොස් ඝාතනය කළ බව අද ලෝකයට රහසක් නොවේ. එය හමුදා බුද්ධි අංශවලින් කළ බව එලිදරව් වෙමින් පවතී. ඒවැනි අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන නිලධාරීන් වැරදිද? ලසන්ත ඝාතනය හෝ තාජුඩීන් ඝාතනය ගැන චූදිතයන්ගෙන් ප්‍රශ්න කරන නිලධාරීන් වැරදි කරුවන්ද? ජනාධිපතිවරයාගේ මේ බබා උක්කුං භාෂාව කියන්නේ අපරාදකරුවන් ගැන සොයන, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට වෙර දරන නිලධාරීන් අපරාධකරුවන් කියාද?
පසුගිය දිනවල නාමල් රාජපක්ෂගේ ආච්චිගේ වත්ත මැනීමක් ගැන ඔහු මාධ්‍යයෙන් දෙඩවීය. රට පුරා කෝටි ගණනින් දේපළ හිමිකරගෙන ඇති රාජපක්ෂවරුන් ගැන කෝටි ගණනින් අයථා අන්දමින් දේපළ හිමිකරගෙන ඇති රාජපක්ෂවරුන් ගැන විමර්ශණය කිරීම අල්ලස් කොමිසම කරන වරදක්ද? රාජපක්ෂ කල්ලිය රට ඉහ ගෙන කා ඇති සැටි එක්තරා පමණකින් හෝ එලිදරව් කරනු ලැබුවේ අල්ලස් කොමිසම, FCID වැනි ආයතන පසුගිය වකවානුවේ කළ පර්යේෂණයන්ට ස්තුති වන්නටය. එසේ නැතිව ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකත්වය රට තුල විශාල දෙයක් නොකළ බව අපි දනිමු. එක්තරා පමණක යමක් කරනු ලැබුවේ රටේ නීතිය අවනීතියක් කර තිබූ රටක නැවත නීතිය මත පාලනයක් දෙසට රට නැඹුරුවකට අඩිතාලම දැමුයේ මෙම ආයතනයන්හි නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්ය. ජනාධිපතිවරයාට ඒ පිළිබඳව වේදනාවක් ඇතිවී ඇත්නම් ඒ පරණ පුරුද්දට විය යුතුය. නමුත් මෙම ආයතන කරන ක්‍රියාදාමයන් වලින් හෙලිකරන දූෂණ ,වංචා, මිනීමැරුම් ආදිය ගැන රටේ ජනයාගෙන් වැඩි දෙනෙකු සතුටු වෙති.
ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂලා සමග පැවතුනේ තමන්ටත් නායකත්වයට ඒමට ඉඩ නොදීම වැනි පුද්ගලික කෝන්තර විය හැක. නමුත් අපට, මේ රටේ සිවිල් ජනයාට ප්‍රශ්නය වී තිබුනේ රටේ දේපළ තම පුද්ගලික දේපලක් බවට පත්කරගෙන, තමන්ගේ අණ රටේ නීතිය බවට පත්කරගෙන, රට වැසියා තමන්ගේ යටත් ගැත්තන් ලෙස සලකන, මිනිස් අයිතීන් පාගා ඒ මත සිටගත් අර්ධ වැඩවසම්, අර්ධ ෆැසිස්ට්, හිතුවක්කාරී පාලනයක් රට තුල පවත්වා ගැනීම ගැනයි. පාලකයින්ගේ පුතුන් රාජකුමාරයින් ලෙසින් හැසිරුණු ආකාරයට එරෙහිවයි. ( සමහර විට දහම් සිරිසේන හැසිරෙන්නේද එලෙසම විය හැක) ජනාධිපතිවරයාට වේදනාවක් වී ඇත්තේ මිනිස් අයිතීන් කඩකළ අපරාධයන්හි කොටස් කාරයින් වූ නිලධරයින් සහ දේශපාලන නායකයින් නීතිය ඉදිරියට ගෙන යාම ගැනයි. මිනිස් අයිතීන් කඩකර අපරාධයන්හි කොටස් කරුවන් වූ නිසා හමුදාවේ සහ පොලිසිවල වැරදි කළ ඉහල නිලධරයන් නීතිය ඉදිරියට පැමිණ වීම ගැන විරුද්ධ වෙයි.
ජනාධිපතිවරයාට මෙහිදී අමතක වන්නේ මිනිස් අයිතීන් යනු රටේ ජනයාගේ අයිතීන් බවයි. තම අයිතීන් අහිමි වූ රටක් රට වැසියාට හිර ගෙයක් මිස නිදහස් රටක් නොවන බව ඔහුට නැවත කියා දීමට මේ රටේ සිවිල් ජනයාට සිදුව ඇත. එදා ජනවාරි 08 රාජපක්ෂ කල්ලියට ජනතාව කියා සිටියේ එය බවත් ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරගත් බවත් ඔහුට අමතක වී ඇත. ජනතාව ඔහුව ජනාධිපති කර ගන්නේ තවත් මහින්ද කෙනෙකු ඔහු තුලින් ගොඩ නගා ගැනීමට නොවන බව ඔහු නොදන්නා සෙයකි. ජනාධිපතිවරයාගේ මේ කියමන්වලින් පෙන්නුම් කරන්නේ සිවිල් ජන බලවේග වහාම එක පෙරමුණක ඒකරාශී වී මේ අගතිගාමී දේශපාලන නැඹුරුවට එරෙහි විය යුතු බවයි.
දූෂණය සහ අපරාද එලිදරව් කර ගැනීම යහපාලනයක ආරම්භය බව ජනාධිපතිවරයා නොදන්නවා නම් ඔහුට ඒ ගැන කියා දිය යුතුව ඇත. එනිසා එදා මහින්ද සහ ඔහුගේ සහචරයන් අනුගමනය කළ තර්ජන දේශපාලනය නැවත ඇති වීම වලක්වා ගැනීම රට තුල යහපාලනය තහවරු කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණයකි. නීතිය කාටත් එක හා සමාන විය යුතුය. දේශපාලඥයා නීතියට ඇගිලි නොගැසිය යුතුය යන්න මෛත්‍රී ජනාධිපතිවරයාටද වලංගුය.