Friday, November 22, 2024

වෙනස්කොට සැලකීමේ ලාංකීය උදාහරණය – සුනිල් ජයසේකර

ශ‍්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳව සමාජය තුළ වරින් වර පළවන අදහස් හා ප‍්‍රායෝගික තත්වය පිළිඳව සමාජයක් ලෙස ගැඹුරු අවධානයක් යොමුකළ යුතුව ඇති කාලය එළැඹ තිබේ. එය රටේ ජනගහණයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන් විසින් නියෝජනය කිරීම නිසා හෝ රටේ සමස්ත ආර්ථිකයට ලැබෙන කාන්තා දායකත්වයේ ඉහළ පංගුව පිළිබ`දව සැලකිලිමත් වීම නිසා සිදුකළ යුත්තක් ද නොවේ. එය සිදුකළ යුත්තේ මානව සමාජය තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජ සමානත්වය හා ගරුත්වය පිළිගන්නා ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙසය.

අප බොහෝ විට ලෝකය හමුවේ උදම් වන කරුණු කාරණා ගණනාවක්ම තිබේ. දේශපාලනික වශයෙන් සැලකීමේදී අප එහිදී හුවා දක්වන කරුණක් වන්නේ ශ‍්‍රී ලංකාව යනු ලෝකයේ ප‍්‍රථම රාජ්‍ය නායිකාව බිහිකළ රාජ්‍යය ලෙසිනි. විශේෂයෙන්ම හැටේ දශකයේදී ලෝකය තුළ තහවුරු වී පැවති සමාජ ආකල්පයන් හි හා දේශපාලන අධිපතිභාවයේ හි ස්වභාවය සලකා බැලීමේදී එය එක්තරා අන්දමකට විප්ලවීය පියවරක් වූ බව සත්‍යයකි. එහෙත් ඒ සාඩම්බර සත්‍යයේ පිටුපස නිරාවරණය නොවන හා බොහෝ විට අප පිළිගැනීමට මැළිකමක් ද දක්වන ගැඹුරු සත්‍යයක් ද තිබේ. එනම් එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය ලෙස අප ඔසවා තබන ලද්දේ කාන්තා අයිතීන් පිළිබඳ මුල් කරගත් හැඟීමකින් හෝ සමානාත්මතාවය පිළිබඳ සමාජයක් ලෙස අප පිළිගන්නා ලද ආකල්පයකින් නොවන බවය. මේ රටේ ප‍්‍රභූ දේශපාලන චරිතයක භාර්යාව වීම හා විශේෂයෙන්ම නිදහසින් පසු ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ පළමු දේශපාලන ඝාතනයේ සමාජ ප‍්‍රකම්පනය තුළ හටගත් අනුකම්පාව පෙරදැරි කරගත් සමාජ රැල්ලක ප‍්‍රථිපලයක් නිසා වන බවය.

ඒ කෙසේ වෙතත් එවැනි පරිසරයක පවා රටක් ලෙස ශ‍්‍රී ලංකාව තුළින් විවර කරන ලද සමාජ හා දේශපාලනික පරිවර්තනයෙහි ගෞරවය ඒ නිසාම අප අවතක්සේරු කරගත යුතු ද නැත. මක්නිසාද යත් එහි උත්පේ‍්‍රරකයන් හේතුවෙන් අද වනවිට සමස්ත ලෝක සමාජය තුළ ඉතා බලවත්ව නැගී ඇති කාන්තා චරිත ගණනාවක් ඒ ඒ රටවල් පාලනය කරගනිමින් සිටින බැවිනි. ඒ සඳහා දැක්විය හැකි ආසන්නතම උදාහරණය වන්නේ මේ වනවිට රටවල් 23 ක රාජ්‍ය නායකත්වය කාන්තාවන් විසින් උසුලමින් සිටීමය. එහෙත් එහිදී අප ලැජ්ජාවට පත්විය යුතු කරුණු ගණනාවක් ඒ නිසා යටපත් කළ යුතු ද නැත. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනත්වය සියයට තිහකින් ඉහළ නංවා ගැනීම සඳහා රටක් ලෙස අද පවා අප ගනිමින් සිටින උත්සාහය ඒ සඳහා එක උදාහරණයකි.

ඒ අතරතුර ශ‍්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීමට අදාළව හා ස්ත‍්‍රී පුරුෂ සමානත්වය හා ගරුත්වය තහවුරු කිරීම සඳහා ගත යුතු පියවරයන් අතරින් අවධානයට ලක්කළ යුතු වැදගත් කරුණක් පසුගිය සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබුණි. ඒ ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ නිරත කාන්තා සාමාජිකයන් වෙත උරුම කර ඇති බලවත් අසාධාරණයකි. එනම් කාන්තා නිලධාරිනියන් වීම නිසා පොලිස් උසස් වීම් ලබාදීමේදී සිදුවෙමින් පවතින අසාධාරණයක් පිළිබ`දවය. අද වනවිට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරිවරියන් තිදෙනෙකුම අධිකරණයෙන් පිහිට පතා තිබීම ඒ බව සනාථ කරයි.

අධිකරණයේ පිහිට පතා ඇති එම නිලධාරිනියන් පෙන්වා දී ඇති පරිදි 2008 වසරේදී තරග විභාගයකින් සමත් ව ඔවුන් පොලිස් සේවයට ඇතුළත් වන අවස්ථාවේදී ඔවුන් සමග සමාන සුදුසුකම් මත පිරිමි නිලධාරීන් පනස් එක් දෙනෙකු පමණ පොලිස් සේවයට එක්වී තිබේ. එහෙත් අද වනවිට එම සිය`එම පිරිමි නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ පොලිස් අධිකාරීවරුන් ලෙසය. ඒ සම්මුඛ පරීක්ෂණයකට හෝ යොමුනොකර ඔවුන්ගේ සේවා කාලය සලකා බලමින් ලබා දී ඇති උසස් වීම් හේතුවෙනි. එහෙත් යහපත් රාජකාරී වාර්තාවන්ට හිමිකම් කියන කිසිදු කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියකට එම හිමිකම ලබා දී නොමැත. මෙය බැලූ බැල්මටම ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය උල්ලංඝනය කිරීමක් වන අතරම බලවත් අකටයුත්තක් ද වේ.

මෙහිදී අප රටක් ලෙස හා දැනුවත් පුරවැසියන් ලෙස තේරුම් ගතයුතු වැදගත් කරුණක් තිබේ. එනම් අද වනවිට ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ආයතන මෙන්ම ලංකාවේ පොලිසිය ද පවතිනුයේ මීට වසර 152 ක ට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ කරන අවධියේ පැවති සමාජ වාතාවරණයක නොවන බවය. නූතන ලෝකයේ එක`ගතාවයන්ට හා පිළිගැනීමට ලක්ව ඇති මානව ගරුත්වය තුළ වර්ණ, ජාති, කුල හා ස්ත‍්‍රී පුරුෂ ආදි වශයෙන් වෙනස් කමකට බ`දුන් කිරීමට හැකියාවක් නැත. එමෙන්ම ඊට පටහැණිව ක‍්‍රියාකිරීමට රටක් හෝ යම් සමාජයක් කරන උත්සාහයක් පවා සැලකිය යුත්තේ එය මිනිස්කමට කරන අවමානයක් ලෙසය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news