Friday, November 22, 2024

ත්‍රස්ත විමර්ශනයට ගිහින් මෙලොව ආ චමින්දගේ හා ප්‍රදීප්ගේ කතාව – කසුන් පුස්සැල්ල

‘අපි එදා මඟුල් ගෙදරක ගිහින් එන ගමන් හිටියෙ. මමත් මගේ මල්ලිත් තවත් යාලූවෝ කීපදෙනෙකුත් අපිත් එක්ක හිටියා. අපේ ගෙවල් පැත්තට හරවන කලහෙ හංදියේ දී එක පාරටම වෑන් එකකුයි ජීප් එකකුයි පාර හරස් කරලා අපේ වාහනේ නතර කළා. අපිට බැහැපියව් කියල අපේ අත්වලට මාංචු දැම්මා. ඒ අය සිවිල් ඇඳුමින් තුවක්කු අරගෙනයි හිටියේ. අපිට කිව්වා ඒ අය කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් කියලා. පස්සෙ අපේ පර්ස්, ෆෝන් ඒ අය අරගෙන අපිව වෑන් එකේ දාගෙන මගේ විලා එකටයි,මල්ලිගේ ගෙදරටයි ගියා. අපිට කිසිම ලියවිල්ලක් පෙන්නන්නේ නැතුව අපේ ව්‍යාපාරික ස්ථානයයි, ගෙදරයි සෝදිසි කළා. අපි හේතුවක් ඇහුවට කිව්වේ නෑ. පස්සේ මගේ විලා එකේ ආරක්ෂාවට තිබුණු කඩුවකුයි, මල්ලිගේ ගෙදර තිබ්බ මන්නෙකුයි අරගෙන අපිව මාංචු පිටින්ම එක්කන් ආවා බූස්ස ත්‍රස්ත විමර්ශන ඒකකයට. ඒත් අපිට කාටවත් කතා කරන්නවත් වාහනෙන් බහින්නවත් නොදී අපට පහර දීලා එතැනින් කොළඹට අරගෙන ආවා. කොළඹ දී අපිට කිසිම චෝදනා පත්‍රයක් නොදී දවස් තුනක් පුරා රඳවගෙන අපට හොඳටම පහර දුන්නා. පස්සේ කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයේ ඉන්න ඒ.එස්.පී ජගත් නිශාන්ත වීරතුංග කියන කෙනා මට මාංචු දාල එයාගෙ ඔෆිස් එකට අරගෙන කිව්වා මම තමයි උඹලව ගෙනාවෙ, උඹේ ඇට තලනවා, උඹට එල්ටීටීඊ බඩු දාලා හිරේ දානවා කියලා. දවස් තුනක් තිස්සෙ අපිව ප්‍රශ්න කළා. අපේ පිංතූර ගත්තා මරණවා, නඩුවක් දාලා ඇතුළට දානවා කියලා. පස්සේ එතන හිටපු ලොකු මහත්තයා අපෙන් වුණු සිද්ධිය ඇහුවා. අපි කිව්වා මේක පුද්ගලික කෝන්තරයකට කරපු දෙයක් කියලා. එතුමා තවත් නිලධාරීන් කීපදෙනෙක් එක්ක කතා කරලා කිසිම චෝදනාවක්, නඩුවක් නැතුව අපට එතැනින් යන්න කිව්වා.”

මේ සිදුවීම සිදුවන්නේ ගාල්ල වංචාවල කලහේ ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු 7 වැනිදාය. චමින්ද කලහෙවත්තට අනුව ඔවුන්ව ත්‍රස්ත විමර්ශන ඒකකයේ බව කියමින් අත්අඩංගුවට ගන්නා නීතිගරුක ශ්‍රී ලංකා පොලීසිය සැකකරුවෙකු සතුවන මූලික මානව අයිතීන් පවා උල්ලංඝනය කරමින් එහි දී කටයුතු කර තිබේ. කිසිඳු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගන්නා අතර සෝදිසි වරෙන්තු හෝ නොමැතිව රාත්‍රියේ ඔවුන්ගේ නිවාස සෝදිසි කර ඇත. එතැනින් නොනැවතී පහර දීම් සහ අඩත්තේට්ටම් කිරීමට කිසිඳු අවසරයක් නොමැති පොලීසිය සියලූම මූලික නීති පවා කඩකරමින් කටයුතු කර ඇත. එමෙන්ම කිසිඳු චෝදනාවක් නොමැතිව යම් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන පහර දීමෙන් පසුව උසාවියකට ඉදිරිපත් නොකර මුදාහැරීම ද සිදු කර තිබේ.චමින්ද කලහෙවත්තට අනුව මෙය පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමකි. චමින්ද සහ ඔහුගේ සොහොයුරා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහර දීමෙන් පසුව මුදා හැරුණ ද ඊට පෙරත්, අද දිනය දක්වාත් ඔවුන්ට පොලීසියෙන් සහ එම පොලිස් නිලධාරියාට සම්බන්ධ පවුලකින් පහර කෑම්වලට සහ අඩත්තේට්ටම්වලට ලක් වීමට සිදු වීම නීතියේ ආධිපත්‍ය හා පොලීසියේ දඩයක්කාර භූමිකාවේ පිරිහීම තව දුරටත් ප්‍රශ්න කරන්නක් නොවේ ද?

“මේකට මූලිකම හේතුව වුණේ මීට අවුරුදු දෙකකට කලින් වුණු සිදුවීමක්. අපේ ගමේ ඉන්න දමිත් දර්ශන කියන කෙනාගෙ යාලූවෙක් ගේ කාර් එකක් ලක්ෂ හයකට මට උගස් කළා. ටික දවසකට පස්සේ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඇවිත් ඒ කාර් එක හොරකම් කරපු එකක් කියලා අපෙන් අරගෙන ගියා. අපි ඒ බවක් දැනගෙන හෝ දමිත් අපට ඒ බවක් කියලා නෙමෙයි උගස් කළේ. පස්සේ ඒකට අදාලව නඩුවක් තිබුණා මාතර උසාවියේ. අපි දමිත් ට සහ එයාගේ තාත්තා රාජා කියන කෙනාට කිව්වා අපිට අපේ සල්ලි අරගත්තු අයව නඩුවෙදි පෙන්නන්න අපි සල්ලි ඉල්ල ගන්නම් කියලා. නමුත් එතන දී දමිත් අපව මග ඇරියා. දමිත් මේ වංචනික වැඩ වලට සම්බන්ධයි කියලා අපට සැකයි. එදා එතන දී බහින්බස් වීමක් වෙලා මම දමිත්ට පාරවල් දෙකක් ගැහුවා. එදායින් පස්සේ ඉඳන් එක එක වෙලාවට හබරාදූව පොලීසියෙන් නිතර ඇවිත් මගේ විලා එක සෝදිසි කරනවා නිකරුණේ. ආයුධ තියෙනව ද අහනවා, මැරයො ආශ්‍රය කරනව ද අහනවා, එක එක දේවල් කියමින් විදේශිකයන් පවා අපහසුතාවයට පත් කළා. දමිත්ගේ අම්මා ගේ සහෝදරයෙක් තමයි මේ කියන ඒ.එස්.පී ජගත් කියන කෙනා. එදා අපිට ගහල ඉවර වෙලා ඔහු තර්ජනය කළේ ඒ බව කියලා.”

නීතිය රැකීමට සිටින රාජ්‍ය නිලධාරී තම නිල බලයෙන් පුද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට මෙවැනි දෑ සිදු කිරීමත්, රාජ්‍ය දේපළ භාවිතා කරමින් පැහැර ගැනීම්, නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම් මෙන්ම පහර දීම් සිදු කිරීමත් පිළිබඳව පුදුම නොවිය යුතුය. ඒ තරම්ම අපකීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය සතුය. පළමු අත්අඩංගුවට ගැනීමේ දී චෝදනා පත්‍රයක් හෝ බාර නොදෙන පොලීසිය ඔවුන්ගේ පැමිණිල්ලක් හෝ සටහන් කර ගැනීමට උත්සාහ නොගන්නේ තම ඉහළ නිලධාරියාගේ අණට විය යුතුය. 2014 වසරේ දී දමිත් නැමැත්තා උගස් තැබූ මෝටර් රථය වලාන දූෂණ ඒකයෙන් රැගෙන ගිය පසු චමින්ද සහ ඔහුගේ සහෝදරියක වන නෙලූම් තිරාණගම විසින් හබරාදූව පොලීසියට පැමිණිළි කළ ද එහිදී එවකට සිටි ස්ථාන භාර නිලධාරියා පවසා ඇත්තේ එය ලක්ෂ පහකට වැඩි මූල්‍ය වංචාවක් හේතුවෙන් පැමිණිල්ල බාර ගත නොහැකි බවයි. එහිදී දමිත් නැමැත්තා පිළිබඳව ඔවුන් පැමිණිළි කර තිබුණ ද ඒ පිළිබඳව කිසිඳු විමර්ශනයක් සිදු නොවූ බවත් ඊට හේතුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඉහළ නිලධාරියාගේ බලපෑම බවත් ඔවුහු චෝදනා කරති.ඒවා සත්‍යය ද අසත්‍ය ද බැලීම පොලීසියේ වගකීමකි. ඒ සඳහා නීතියේ ප්‍රකාරව කටයුතු කළ යුතුය.ඒ වෙනුවට සිදුව ඇත්තේ පුද්ගලික බලපුළුවන්කාරකම මත පොලිස් නිල ඇඳුමේ බලය පෙන්වා බිය ගැන්වීම නොවේ ද?

“එදා අපිව වාහනේ දාගෙන මාංචු පිටින් අපේ ගෙදරට එක්කන් ආවා. කිසිම සෝදිසි වරෙන්තුවක් නැතුව මගේ ගේ සෝදිසි කළා. මට කිව්වා ආයුද පෙන්නන්න කියලා. ගේ වටේම පොළව හෑරුවා. කිසිම වැරදි දෙයක් නොතිබුණ නිසා ගෙදර තිබුණු මන්නා පිහිය අරගෙන මාවත් මගේ අයියවත් බූස්සට ගෙනාවා. එතනින් කෙලින්ම අපි දෙන්නව කොළඹ ගෙනත් පහර දීලා ඒ.එස්.පී ජගත් වීරසිංහ කියන කෙනා ළඟට දැම්මා. ඔහු ඇහුවා ‘උඹ මාව දන්නව ද’ කියලා. මම නෑ සර් කිව්වාම ‘උඹ පැදින්නෝරුවේ රාජාව දන්නවා’ ද ඇහුවා. මම කිව්වා ඔව් මම ත්‍රීවීල් රාජව දන්නවා කියලා. ඔහු පුටුව පස්සට තල්ලූ කරලා කිව්වා ‘මම රාජගේ මස්සිනා, උඹ රාජලව මරන්න මිනිස්සු ගෙදර තියන් හිටිය නේද, උඹ ගාව ආයුද තියෙනවා නේද, උඹ පාතාලෙට සම්බන්ධයි නේද’ කියල ඇහුවා. මම කිව්වා මම ගමේ ඉන්න කෙනෙක් නෙමෙයි මම කොළඹ රස්සාව කරන්නෙ කියලා. මුගෙන් මෙහෙම අහලා බෑ ගෑනියි දරුවයි අරගෙන ගෑනි හිරේට දාලා දරුවව දානවා කිව්වා පරිවාසෙට. පස්සෙ තවත් නිලධාරියෙක් ළඟට යන්න කියලා මට තර්ජනය කළා එල්.ටී.ටී.ඊ ආයුද දාල නඩු දානවා කියලා. එහෙම කියලා මගෙ ගෙදරින් ඒ අය අරගෙන ආව මන්නය මගේ අතට දීලා ඒකට විරුද්ධව නඩුවක් දානවා කිව්වා. තුන්වැනි දවසේ දී එතන ලොකු මහත්තයගෙ කාමරේට ගෙන්නලා අයියගෙනුයි මගෙනුයි මේ ගැන ඇහුවා. අපි කිව්වා මෙහෙම වෙන්න හේතුව. එතුමා තමයි අපිට ගෙදර යන්න කිව්වේ. කිසිම චෝදනා පත්‍රයක් හෝ නඩු විභාගයක් අපට තිබුණේ නෑ. ඒ වෙනුවට උසාවියට අරගෙන ගිහින් අපිව නඩුකාරයට පෙන්නුවා.ඔහු ඔලුව වනලා අපට යන්න කිව්වා. ඒ නඩුකාරයා කවුද, නඩුව මොකද්ද කියලවත් අපි දන්නේ නෑ. අපිට කිව්වා කඩුවටයි, මන්න පිහියටයි 24 වැනිදාට උසාවි ඇවිත් රුපියල් 100 බැගින් දඩ ගෙවන්න කියලා.”

හේ නමින් ප්‍රදීප් පරණවිතානය. චමින්ද සමඟ අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුට සිදු වූ දෑ මෙසේ සටහන් කර තබමු. ඔවුන්ගේ ප්‍රකාශ සියල්ල කොතෙක් දුරට සත්‍ය දැයි අප නොදනිමු. නමුත් ඔවුන් මෙම බරපතළ චෝදනා එල්ල කරන්නේ මෙරට යුක්තිය පසිඳලීමේ මූලිකම ආයතනයට එරෙහිවය. ඒවා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු නොවේ ද? රටේ හදිසි නීතිය නොමැති අවස්ථාවක පුරවැසියන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන ඥාතීත්වය මත තර්ජනය කළ හැකි ද? මෙම අඩත්තේට්ටම්වලට ලක් වූ පුද්ගලයන් අයත්වන හබරාදූව පොලීසිය ඔවුන්ගේ පැමිණිලි හෝ නිසියාකාරව බාර නොගැනීමේ වටපිටාවක පුරවැසියන් යුක්තිය පතා යා යුතු ආයතනය කුමක් ද? හබරාදූව පොලීසියේ අනීතික කටයුත්තක් පිළිබඳව පසුගිය සතියේ දී ද වාර්තා විය. උණවටුණ ප්‍රදේශයේ දී මෙවැනිම ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් සහ පහර දීමක් සිදු කිරීම පිළිබඳව මාධ්‍ය මඟින් වාර්තා විය. ඒ අනුව ආණ්ඩු මාරු වුව ද පොලිස්පතිවරයා මාරු වුව ද පොලීසිය තවමත් පරන පුරුදු දඩයම්කරුවගේ සහ ගහලයාගේ චරිතය රඟ දක්වමින් තිබීම යහපාලනයක් සඳහා වූ නීතියේ ආධිපත්‍ය තව දුරටත් මෙරට සමාජයෙන් ඈත් වීම නොවැළැක්විය නොහැකිවනු ඇත.

චමින්ද සහ ප්‍රදීප්ව අත්අඩංගුවට ගෙන පහර දීමෙන් පසුව මෙම පොලිස් අධිකාරීවරයාගේ ඥාතීන්ගෙන් සහ පොලීසියෙන් සිදුවන අඩත්තේට්ටම්වල අඩුවක් නොමැති බව පෙන්වන ආසන්නතම සිදුවීම සිදු වන්නේ පසුගිය මස 21 වැනිදා ය. මෙම සිදුවීම් දාමයේ මීට පෙර ද වින්ඳිතයෙකු වූ නෙලූම් තිරාණගම මහත්මියට දමිත් දර්ශන, රාජා සහ ඔහුගේ බිරිඳ විසින් පහර දී අතපය කඩා දමන්නේ තිරාණගම මහත්මිය මහ පාරේ ගමන් කරමින් සිටිය දීය. ‘සිද්ධිය වුණේ පහුගිය 21 වැනිදා උදේ 11.15 ට වගේ. මම මෝටර් බයිසිකලයෙන් බැංකුවට යන අතරමග දි මේ කියන පොලිස් අධිකාරීවරයගෙ අක්කයි, මහත්තයයි පුතයි තුන්දෙනා රතුපාට ත්‍රී වීල් එකකින් මගේ බයිසිකලය හරස් කරලා මට බිම දාගෙන පහර දුන්නා. මාව තාර පාර දිගේ ඇදගෙන ගියා. ඒ වෙලාවේ ඒ.එස්.පී ගෙ අක්කා හබරාදූව පොලීසියේ ඕ.අයි.සී ට කතා කරලා කිව්වා මම එයාලට පහර දෙනවා මාව අරගෙන යන්න කියලා. ඒ අය මගේ බෙල්ලේ තිබුණ මාලෙ කඩා ගත්තා. පොලිස් ජීප් එක ඇවිත් මාව අරගෙන ගිහින් පැමිණිල්ල ලියනවා වෙනුවට ලේ ගලන තුවාල එක්ක වාඩි කරවලා තිබ්බා. පස්සේ මට ගහපු අය රෝහලට ගිහින් මම පහර දීපු විදියට කට උත්තර දීලා තිබුණා. මම දුන්නු කට උත්තරේවත් මට පෙන්නුවේ නෑ. මාව උසාවි දාල සමථ මණ්ඩලයට දාලායි තියෙන්නෙ. මගේ අත කැඩිලා, කකුල තුවාල වෙලා. පොලීසිය ඒ අයව එක දවසින් නිදහස් කළා. අපි ඉල්ලන්නේ මේකට සාධාරණයක්. අපිට අභූත චෝදනා කරමින් පහර දෙන එක නතර කරන්න කියලායි අපි ඉල්ලන්නෙ.

මේ පිළිබඳව විමසීමට හබරාදූව පොලීසිය සහ එහි ස්ථානාධිපතිවරයාව ඇමතුව ද මේ සඳහා පිළිතුරු නොමැත. ත්‍රස්ත විමර්ශන ඒකකය අමතා මෙලෙස චෝදනාවට ලක්ව සිටින පොලිස් අධිකාරී ජගත් වීරසිංහ දුරකථනයට නොඑයි. වෙනදා මෙන් අමතන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ද නොමැත. පසුගිය කාලය පුරාම පොලීසියේ අපුල ජනක හැසිරීම පිළිබඳව බොහෝමයක් සිදුවීම් වාර්තා විය. නව පොලිස්පතිවරයා සුපුරුදු ලෙසම මාධ්‍යයට සංදර්ශන පවත්වමින් සිටිනවා හැරෙන්නට විනයගරුක සහ විද්‍යාත්මකව අපරාධ නිරාකරන කාර්යට අදාල පුහුණු ගත පොලීසියක් සකසන ආකාරයක් පෙනෙන්නට නොමැත. ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයා ද අයත් පළාත තුළම මෙවැනි පහර දීම් සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු වනවා නම් ඒ පිළිබඳව ඇති වන්නේ අප්‍රසාදයක් පමණි. එලෙසම මෙම වින්ඳිතයන්ට අනුව ඔවුන්ව පළමුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය වෙත ගෙන ගොස් කිසිඳු නඩු කටයුක්තක් නොමැතිව හිස වනා එවූ අධිකරණය කුමක් ද එහි විනිසුරු කවුද යන්න පිළිබඳව පොලීසියේ අනීතිකත්වය සෙවීම තුළම වහාම සොයා බැලිය යුතුය. එය එතරම් ම බරපතළය. පොලීසියට ඕනෑ ඕනෑ විට අත්අඩංගුවට ගන්නත් ඕනෑ විට නිදහස් කරන්නත් මෙන්ම පහර කෑම පිළිබඳ සැකකරුට මහේස්ත්‍රාත්වරයාට කීමට ඇති මූලික අයිතිය පවා කඩ කළ විනිසුරු පිළිබඳව ද වහාම සෙවීම අධිකරණ අමාත්‍යවරයාට සහ ස්වාධීම අධිකරණ කොමිසම දැන්වත් කටයුතු කළ යුතු නොවේ ද? මෙම වින්ඳිතයන් සර්ව සාධාරණ හෝ නීතිගරුක වූවන් ද යන්න කීමට ද අප ඉක්මන් නොවෙමු. නීතියේ ප්‍රකාරව ඔවුන් පිළිබඳවද සාධාරණ පරීක්ෂණවලින් සොයා බැලිය යුතුය

– Kasun Pussewela / ඉරුදින

Archive

Latest news

Related news