Friday, April 26, 2024

මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු ගුවන්තොටුපලේ රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම හෙළා දකිමු!

(රුකී ප්‍රනාන්දු ජිනීවා මානව හිමිකම් කොමිසමේ 28වන සැසිවාරයෙහි  සමාන්තර රැස්වීමක් අමතයි ©s.deshapriya)

ත්‍රස්ත විමර්ශන ඒකකය එදා ප්‍රශ්න වැල අදත් එලෙසින්ම අසයි; යහපාලනය මාස 20 යි. ගෝඨාභය ගේ මර්ධනය පෙන්නා ඡන්ද ගැරූ ‘ජෙයකුමාරි-රුකී ත්‍රස්ත නඩුව‘ අදත් එලෙසම යි.

ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා අද (ඔක්තෝබර් 1) දින ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන්තොටුපලේ දී රදවා ගෙන ප්‍රශ්ණ කිරීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩි කනස්සල්ල පළ කරයි. පසුගිය රාජපක්ෂ රජය සමයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට විදින්නට සිදු වූ ගැහැට සහ බලපෑම් නැවත වරක් කරළියට පැමිණීමක් ලෙස මෙම සිදුවීම සැලකිය හැකිය.

එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසිවාරයක් සදහා සහභාගීවීම සදහා රුකී ප්‍රනාන්දු අද කටුනායක ගුවන්තොටුපලට ගිය අවස්ථාවේ දී ඔහුගෙන් රදවා ගෙන ප්‍රශ්න කිරීම සිදු ව ඇත. පසුගිය රජය සමයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් විදේශගතවීමේ දී ඔවුන් වෙත සිරිත් පරිදි යොමු වූ ප්‍රශ්න සියල්ලම අද නැවත වරක් රුකී ප්‍රනාන්දු වෙත ත්‍රස්ත විමර්ශන අංශය මගින් යොමු කර ඇත. කුමක් සදහා විදේශගත වන්නේ ද? ඔහුගේ කටයුතු මොනවාද? පුද්ගලික හා පවුලේ සාමාජිකයින්ගේ තොරුතුරු මේ අතර වේ.

ත්‍රස්ත විමර්ශන අංශය මගින් රුකී ප්‍රනාන්දු ගේ ලිපි ගොනුවක් පවත්වාගෙන යන බව ප්‍රසිද්ධ කරුණක් වන අතර එහි ඔහු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සිදු කරන සියලු කටයුතු අඛණ්ඩව ලේඛන ගත වේ. එසේ තිබිය දී ගුවන් තොටුපලේ දී මේ කරුණු පිළිබද රදවා ප්‍රශ්න කිරීම බිය ගැන්වීම, හිංසාවට ලක් කිරීම, අපහසුතාවට පත් කිරීම හැර වෙනත් අරමුණකින් සිදු නොවන බව අපගේ විශ්වාසය යි.

තම දරුවා සොයාමින් ගිය ජෙයකුමාරි ගේ අපකීර්තිමත් මානව හිමිකම් කඩවීම් සිද්ධියෙන් පසුව ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී අත්අඩංගුවට පත්වන අතර ත්‍රස්වාදය වැලැක්වීම පනත යටතේ ඔහුටත් ජෙයකුමාරිටත් එරෙහිව ගොතන ලද නඩුව තවමත් විභාග වේ. මාස 20 ක් පුරා ජෙයකුමාරි මෙන්ම ජෙයකුමාරි වෙනුවෙන් පෙනී සිටි රුකී ද තවමත් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස සැලකේ. යුද්ධයෙන් පසුව රාජ්‍ය මර්ධනය හා ත්‍රස්තවාදී ලේබල් ඇලවීම සම්බන්ධයෙන් කුප්‍රකට නඩුවක් බවට පත් ‘ජෙයකුමාරි සිදුවීමේ‘ නාට්‍යය යහපාලන රජය යටතේ ද පෙර පරිදිම ඉදිරියට ඇදෙමින් පවතී.

ඉන්ෆොම් සහ ෆෝරම් ඒෂියා ආයතනයන් හි සේවය කරන රුකී ප්‍රනාන්දු වෙත නැවත මර්ධනයේ හස්තය දිගු කිරීම කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව හෙළා දකී. ත්‍රස්තවාදීන් මර්ධනය කිරීම නාමයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම වහා නවතා දමන ලෙස අප රජයෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටී.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Archive

Latest news

Related news