Friday, May 3, 2024

ගුරුවරියකගේ අදහස් ප්‍රකාශණයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

(සමන්ති පල්ලෙකැටිය; ජයාරූපය බීබීසී සිංහල අඩවියෙනි)

මාධ්‍යයට තොරතුරු දීම වරදක් නොවන බව   ගුරුවරියක වන සමන්ති පල්ලෙකැටිය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේස්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කළේ ය.

ජනමාධ්‍ය වලට තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනා මත කොළඹ මහානාම විදුහලේ  එම ගුරුවරියගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් ගත් තීන්දුව නීතියට පටහැනි බව එමගින් ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු තිිරීම මෙරට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ලද ජයකි.

පෙත්සම්කාර ගුරුවරිය අධිකරණයට කියා සිටියේ මහානාම විදුහලේ විදුහල්පතිවරයා විසින් සිදු කරනු ලබන දුෂිත ක්‍රියා පිලිබඳ තොරතුරු රැසක් මාධ්‍ය හමුවකදී තමන් හෙළිදරව් කළ බවයි.

ඉන්පසුව පලිගැනීමක් වශයෙන් සිය සේවය අත්හිටුවීමට කටයුතු කෙරුණු බවයි ඇය අධිකරණය හමුවේ කියා සිටියේය.

වැඩ තහනම් කිරීම තුළින් පෙත්සම්කාරියගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බව තීන්දු කළ අධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබු මහානාම විදුහලේ විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි සහ ගුරුවරයෙකු වන තුසිත මාලගොඩ යන පුද්ගලයන් විසින් පෙත්සම්කාරියට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවද නඩු තීන්දුවෙන් නියෝග කර තිබුණි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි; ජයාරූපය බීබීසී සිංහල අඩවියෙනි
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි; ජයාරූපය බීබීසී සිංහල අඩවියෙනි

‘රාජ්‍ය සේවකයින්ට ජනමාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම තහනම් කරමින් විවිධ විවිධ සිමා පනවා තිබෙනවා. එම නඩු තීන්දුව හරහා එවැනි සිමා ඉවත් කර තිබෙනවා. මේ හරහා රාජ්‍ය සේවකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තවත් ශක්තිමත් වී ඇති බවයි අපි කියා සිටින්නේ. මේ නිසා රජය මෙම නඩු තීන්දුව ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ඒමට ක්‍රියාකළ යුතුයි’ ජෝසප් ස්ටාලින්  බීබීසී සංහල සේවයට ප්‍රකාශ කර තිබේ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් සහ 14.1 වගන්තියෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එම වගන්ති දෙක මෙසේය.

12. (1) නීතිය පසිඳලීම සහ කියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
14. (1) සෑම පුරවැසියකුට ම –
(අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය..

(බීබීසී සිංහල සහ ලංකා නිව්ස් වෙබ් අැසුරෙනි)

 

Archive

Latest news

Related news