Thursday, May 2, 2024

ජයග‍්‍රාහි චරිතයට වඩා බරසාර පරාජිත බණ්ඩාරනායක – සුනිල් ජයසේකර

”මම වහලෙකු වීමට අකැමති නිසා ස්වාමියෙකු ද නොවන්නෙමි”. එසේ කීවේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු රාජ්‍ය නායකයෙක් ලෙස අවිවාදිත ඒබ‍්‍රහම් ලින්කන්ය. වහලා දීනයෙකු නොව මිනිසා වහලෙකු බවට පත්කර ගන්නා වහල් හිමියා දීනයෙකු බව පෙන්වා දුන් ඔහු සිය පළමු සටන මුවහත් කළේ දීනයන්ගෙන් තම රට මුදා ගන්නට ය. එහෙත් ඉතිහාසය පුන පුනා පෙන්වා දෙන පරිදි පුනරුදයන් එළැඹෙන්නේ දැවැන්ත ජීවිත පරිත්‍යාගයකින් අනතුරුව ය. තම වර්ගයේ, ජාතිකත්වයට තරමටම පීඩිතයන්ගේ ගෞරවය ද වෙනුවෙන් පෙනී සිටි ඒබ‍්‍රහම් ලින්කන්ට සිය ජීවිතය පුජා කරන්නට සිදුවන්නේ ඒ අනුවය.

ලංකාවට අදාළව සැලකීමේදී එම කටුක සත්‍යය ඉතා කුරිරු ලෙස ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක් වන්නේ එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයයි. ඒ අසල්වාසී භාරතයේ අවිහිංසාවාදී ජනනායක මහත්මා ගාන්ධි ඝාතනයෙන් කම්පිතව සිටි ලෝකයට තවත් එක් සෝචනීය පණිවුඩයක් මුසු කරමිනි. එය ලාංකීය ඉතිහාසයේ නිදහසින් පසු සිදුවූ ප‍්‍රථම හා දැවැන්තම දේශපාලන ඝාතනය විය. විශේෂයෙන්ම නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරුණ`එ ඔස්සේ ජනතාව වෙත බලය සංකේන්ද්‍රනය කිරීම උදෙසා පියවර ගනිමින් සිටි මොහොතක ඒ ස`දහා පුරෝගාමී වූ බලවත්ම චරිතය තුවක්කුවේ බලයෙන් නිහඩ කරවීම මගින් ඝාතකයන් අපේක්ෂා කරන්නට ඇත්තේ ඉදිරියට ගලමින් සිටි ගංගාවක් ආපසු හැරවීමට ය. එහෙත් බණ්ඩාරනායක මහතා ජීවතුන් අතර සිටියදී පැහැදිළි කළ පරිද්දෙන්ම ගලන ගංගාවක් ආපසු හැරවීමට ඔවුන්ට නොහැකි විය.

SWRD by a unknown artist
අන්වර්ත  කාලකරුවකු දුටු  බණ්ඩාරනායක

එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මේ රටේ දේශපාලනයට අවතීර්ණ වීම පිළිබඳව එක් එක් මානයන්ගෙන් පළවී ඇති විග‍්‍රහයන් රැසකි. ඒ අතර ප‍්‍රකට හා සමාජගතව ඇති ප‍්‍රමුඛ අදහස වන්නේ නිදහසින් පසු රටේ බලය අත්පත් කරගනිමින් සිටි කොම්ප‍්‍රදෝරු ධනපති පන්තිය වෙතින් රටේ පොදු ජනතාව වෙත බල හුවමාරුවට නායකත්වය දෙන ලද්දේ බණ්ඩාරනායක මහතා විසින් බවය. තවත් පිරිසකට අනුව සමාජය තුළින් මෝදු වෙමින් පැවති ජාතිකත්වය අන් සියල්ලන්ටම පෙර හදුනාගනිමින් කල දුටු කළ වළ ඉහ ගත් අවස්ථාවාදී දේශපාලන චරිතයකි. එයට අමතරව ප‍්‍රකට දේශපාලන විචාරකයෙකු දක්වා ඇති එතරම් ප‍්‍රකට නැති චිචාරයක් ද ඒ අතර වේ. එනම් යටත් විජිත යුගයේදී ගොඩනැගුණ බලවත්ම ප‍්‍රභූ පන්තිය සතු වී පැවති බලය පසු කාලීනව ගොඩනැගුණ දෙවනි පන්තියේ ප‍්‍රභූවරයින් විසින් අත්පත් කරගෙන තිබියදී ඔවුන් අතින් එම බලය නැවත අත්පත් කරගත් බලවත්ම චරිතය එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා බවයි. ඒ ඒ සියලූ විචාරයන් හා තක්සේරු කිරීම් තුළ ඇත්තේ ඒ ඒ දේශපාලන දෘෂ්ඨීන්ට අනුගත වූ ප‍්‍රකාශනයන් ය. ඒ අනුව 1956 පෙරළියට තුඩු දුන් සමාජ බලවේග වල අවශ්‍යතාවයන් හා එම බලවේගයන්ට නායකත්වයක් දුන් එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක චරිතය අප නිවැරදිව හදුනාගත යුත්තේ ඔහු බලයට පත්වීමට පෙර ලාංකීය සමාජයේ සිදුවී ඇති පරිවර්තනයන් ද සැලකිල්ලට ගනිමිනි.

එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා මෙළොව එළිය දකින්නේ මහා ප‍්‍රතාපවත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදළිවරයාගේ දරුවෙක් ලෙසිනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව බටහිර ජාතීන්හි යටත් විජිතයක් වූ පෘතුගී‍්‍රසි සමයේ සිටම රටේ පාලනයට යම් යම් ආකාරයට බලවත් දායකත්වයක් දක්වා ඇති පරම්පරාවක අනාගත උරුමකරුවා ලෙසිනි. අවසන් වරට ශ‍්‍රී ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාලයේ දී මහමුදලි සොලමන් ඩයස් දරා ඇති බල පරාක‍්‍රමය හා බි‍්‍රතාන්‍ය කිරීටය සමග පැවති සබඳතා තුළ නිදහස් ලංකාවේ අනාගත උරුමක්කාරයා ලෙස බණ්ඩාරනායක චරිතයට  ඕනෑ තරම් අවස්ථාවන් ද ඒ සඳහා වන සුදුසුකම් ද නොඅඩුව සම්පූර්ණ වී පැවතණ.

එහෙත් ඔහු තෝරාගත්තේ සපුරා වෙනස් මගකි. උඩුගම් බලා යන පටිසෝතගාමී මාර්ගයයි. ඒ මග තුළ හමුවූ අනේකවිධ දුෂ්කරතා අභියෝග, අවලාද හා තර්ජනයන් මැද එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක දියත් කළ සමාජ පරිවර්තනය පිළිබඳව අද පවා නිවැරදි තක්සේරුවකට එළැඹී ඇත් ද යන්න සැකසහිතය. සිංහල රාජ්‍ය භාෂාව බවට පත්කිරීම බස් ජනසතුව, වරාය ජනසතුව වැනි අද වන විටත් බොහෝ ජනප‍්‍රිය දේශපාලන ක‍්‍රියාමාර්ගයන්ගෙන් ඔබ්බට ගිය ශ‍්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව ඔහු තුළ පැවති දැක්ම ගැන පුළුල් සමාජ කතිකාවතකට යොමුවන බවක් ද දක්නට නැත. විශේෂයෙන්ම රටක් ලෙස අප විශේෂ අවධානයක් යොමුකළ යුතු අංශය වන්නේ එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ සැබෑ අභිප‍්‍රාය වූ එහෙත් සමාජගත කිරීමේදී මතු වූ අභියෝග හේතුවෙන් අසාර්ථක වූ ක්ෂේත‍්‍රයන් පිළිබඳවය. එනම් පසුගාමී සමාජය විසින් පරාජය කළ ඉදිරිගාමී එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක පිළිබඳවය. ඒ තුළ පසුකාලීනව අත්විදින්නට සිදුවූ සමාජ දේශපාලන ඛේදවාචකයේ අක්මුල් පිළිබඳවය.

ඒ ගැන යොමුකරන අවධානය දෙයාකාරයකින් රටට වැදගත් විය හැකිය. පළමු වැන්න නම් අනාගතයේදී රටක් ලෙස මුහුණ දීමට සිදුවිය හැකි බරපතළ අභියෝගයන්ට ඒ හරහා විසදුමක් ලබාගැනීමට හැකියාවක් විවිර කරගත හැකිවීමය. දෙවැන්න වන්නේ එදා එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ ජීවිතය උදුරාගත් පසුගාමී අන්තවාදී මිලේඡච බලවේගයන් තීරණාත්මක ලෙස පරාජය කිරීම සඳහා ඒ තුළ අමිල අවස්ථාවක් උදාකරගත හැකි නිසාය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news