Thursday, November 21, 2024

උතුරේ විග්නේශවරන් සහ දකුණේ රණවක – නිලන්ත ඉලංගමුව

හොරෙක් අල්ලාගෙන දඬුවම් කිරීමට නොහැකි වීම නිසා මහත් අපහසු තාවයකට පත් වී සිටින ආණ්ඩුව, ආණ්ඩුව දෙසට උසුළු විසුළු කරන අයවලුන්, සහ දේශපාලනය තව දුරටත් නීරස අත්දැකීමක් බවට පත් කරමින් ඊට හිමි වියයුතු ජනතාවගේ සැබෑ කැපකිරීම් තුනී වෙමින් පවතින කාලයක අපි ජීවත් වන්නෙමු. මේ අතර රාජ්‍යය සම්පත් අවභාවිතය කළ පිරිසට එරෙහිව සිදුකරන පරීක්ෂණ මෙන්ම ඔවුහු සම්බන්ධයෙන් එකතුකරන ලිපි ගොනු රටේ ඇතැම් ආයතන වල දැක ගත හැකි කාරණයක් බවට පත් වී තිබේ. ඒ සියල්ල විසින් තාවකාලීක වින්දනයක් රට හමුවේ තබා ඇත.

මේ මොන දේ වුණත් රට පසුකරමින් සිටින්නේ සංක්‍රාන්තික කාලයක බව සැබෑය. එම සංක්‍රාන්තික කාලය ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් තැනීම හෙවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හැඳින්වීමට අනුව ප්‍රබුද්ධ සමාජයක් ඇති කිරීම සඳහා අවස්ථාවක් යැයි බොහෝ දෙනෙකු සිතීම සහ සිහින දැකීම සරල කාරණයක් නොවේ. නමුත් එම සිහින වලට අදාළ කැපකිරීම එම සිහින මුදුන් පමුණුවා ගැනීම සඳහා විෂයය දන්නා පිරිස් මෙම උතුම් කටයුත්ත සඳහා සහභාගී කරවා ගැනීම කෙතරම දුරට සිදුවන්නේද යන්න ගැටලුවකි. සිහිනය හිතලුවක් බවට පත් වී සිහින දකින්නාගේ ජීව ශක්තිය හීන කිරීමට රටේ සමාජ ක්‍රමයට මනා හැකියාවක් මෙන්ම පළපුරුද්දක් තිබේ.

මේ නිසා, පසු කරමින් පවතින සංක්‍රාන්තික කාලය ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් තැනීම සඳහා වූ අවස්ථාවක් යැයි හැඳින්වුවද මෙම කාල වකවානුව අවසානයේ ශ්‍රේෂ්ඨ රටක් නිර්මාණය වේයැයි කීම තම අමනකම ප්‍රසිද්ධ කිරීමක් පමණි. සැබෑ කැපකිරීමක් වෙනුවට ගැඹුරට විහිදී ගිය අස්ථාවර සහ තුෂ්නීම්භූත වූ මානසික ප්‍රවණතාවයක් ඇතිවීම තරම් ගැඹුරු සමාජ තුවාලයක් තවත් නැත. ඒ නිසා මෙහි අවසානය වඩාත් යහපත් දෙයක් ඇති වීමට හෝ පෙරට වඩා බිඳවැටුණු සහ දුර්වල රාජ්‍යයක් ඇති වීමට ඇති ඉඩකඩ අඩු නැත. එය රඳා පවතින්නේ බලය අතැතිව රටේ ජනතාවගේ ජීවිත වල මූලික දිශානතිය හසුරුවන අයවලුන් සතුවය.

වසර තිහක් පුරා පැවති යුද්ධය රටේ අභ්‍යන්තර සමාජ ගැටලුවක ප්‍රතිඵලයක් පසුව ජාත්‍යන්තරීකර්ණය වීමක් මිස, පිටතින් එල්ල වූ තර්ජනයක් ප්‍රකාරව ඇති වූ කටයුත්තක් නොවේ. මෙම ඇත්ත තේරුම් ගැනීම සහ එම මූලික ගැටුම තුළ ව්‍යාකූල සහ විරූප කරනු ලැබූ සමාජ සන්දර්භය මෙන්ම මිනිසුන් අතර පැවති සමගිය නැතිවීමේ විපාකය තේරුම් ගැනීම අත්‍යවශ්‍යය කාරණයක් වේ.

නමුත් වඩාත් කණගාටුදායක කාරණය වන්නේ, මෙම ඇත්ත තේරුම් ගැනීමට සියලුම දෙනාට හැකිවීම සහ තම තමන්ගේ පෞද්ගලික අභිමාතාර්ථයන් හමුවේ එම ඇත්ත පසෙකලා කටයුතු කිරීමය. මෙය බරපතළ තත්වයකි. තම පෞද්ගලික ජීවිතයේ අභිමතාර්ථයන් වලදී ඕනෑම අයෙකු මූලික මූලධර්මයන් අභිබවා කටයුතු කරනු ලබති.

සෑම සමාජ ප්‍රජාවක් හමුවේ දැකගත හැකි මෙම ව්‍යාකූල සහ විරූප මෙන්ම ආත්මාර්ථකාමී ප්‍රවණතාවය විසින් සමාජ විශ්වාසය වෙනුවට සැකය මූලික මිම්ම බවට පත් වී තිබේ. එය, සමාජ ගැටලු වඩාත් සංකීරණ කොට තිබෙන අතර පෙනෙන පැත්තට වඩා නොපෙනෙන පැත්ත විශාල මෙන්ම ප්‍රභල භූමිකාවක් නියෝජනය කරන්නේය.

මෙහි වඩාත් විවෘත නියෝජනය බවට උතුරු පළාත් මහා ඇමති විග්නේශවරන් මෙන්ම අමාත්‍යය චම්පික රණවක මහතා පෙනී සිටින සැටියෙකි. මෙම නියෝජනයන් දෙක අමුතු චරිත ලක්ෂණ විදහා පාති. යුද්ධය පැවති අවධියේ උතුරු පළාතේ ගැටලු ගැන කිසිඳු වගතුවක් නොමැතිව සිටි විග්නේශ්වරන් සහ, රටේ ගැටලුව සිංහලයාට එරෙහි මූලික ආරවුලක් කියමින් නොනිල සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවනු ලැබූවේ යැයි කියන රණවක මහතා යනු එකම කාසියේ දෙපැත්තය. රණවක මහතා මෙන්ම විග්නේශ්වරන් මහතා පක්ෂ දේශපාලනය තුළ මුහුණ දී සිටින අභියෝග සමානය. මොවුන් දෙදෙනාගේම දේශපාලන රසය එක සමාන වුවද එය අනුභව කරන රටාව සහ ප්‍රමාණය පමණක් වෙනස් විය හැකිය.

කදිම නිරූපණය වන්නේ, හෙළ උරුමයේ සංවත්සරය සමරනු ලැබූ දින විගේන්ෂවරන් විසින් තම “එලුංග දෙමළ” උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබීමයි. එය “පොංගු දෙමළ” ව්‍යාපාරයේ පශ්චාත් ප්‍රචණ්ඩ අවධියේ නිරූපණය වේ. මෙම ජන සමූහයන් දෙකම රටේ මතුපිට තලයේ දේශපාලනය වඩාත් සියුම්ව දෙකට බෙදන සිදුවීම් වේ.

වඩාත් භයානක තත්වය කුමක්ද?

මෙම දෙපාර්ශ්වයම ඇත්ත දනිති. එම ඇත්ත තුළ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සුරක්‍ෂිත කරගෙන ඇත. නමුත් එය තම දේශපාලනයේදී ඉතා සියුම්ව වෙන්කරගෙන තමන් එකම ගැලවුම්කරුවා ලෙස නිරායුධ ජනතාව හමුවේ චිත්‍රණය කරමින් සිටිති. මෙම දෙදෙනාම රටේ කෙදිනක හෝ ජනාධිපති වීමට හෝ රාජ්‍යයේ හෝ “පොරොන්දු භූමියේ” ප්‍රධානියා වීමේ සිහින ඇති ආකාරයෙන් හැසිරෙති.

වසර ගණනාවක් තිස්සේ සිදු කරනු ලැබූ විවාදය, එනම් පැරණි දේශපාලන සංවාදයේ මළකඩ ඉවත් කොට යළි මුවහත් කිරීමට සැරසෙන අපූරුව.

තම සගයින් වරක් මුළාවේ හෙලු අයෙකුට තව වරක් නොව තමන්ට අවශ්‍යය වාරගණනක් මුළාවේ හෙලීමට සිත් පහළ වීම පුදුමයක් නොවේ. අවස්ථා ඇහුරුණු සමාජයක රැවටිලිවලට හසුවන අයවලුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.

Archive

Latest news

Related news