Thursday, May 2, 2024

වෙන්ඩ දඟලන ගොබෙල්ස් සහ අපි නොදන්න හිට්ලර් – සුනිල් ජයසේකර

(දහස් ගණන් ජනයාට මරු කැඳවූ  හිට්ලර්ගේ ව්‍යාජ දරු සුරතල)

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළමු පෙළේ චරිතයක් ලෙස ද එහි ප‍්‍රකාශකයා ලෙසද සැලකිය හැකි ඩලස් අලහප්පෙරුම මහතා රටේ ජනාධිපතිවරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබේ. ඒ පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂයේ 65 වන සමුළුවට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි වීම පිළිබඳවය. ඊයේ බොරැල්ලේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් ඩලස් අලහප්පෙරුම මහතා මෙම විරෝධය පළ කර ඇත්තේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ සමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුවට සහභාගි වීමටත් වඩා එහිදී කර ඇති කතාව පිළිබඳවය.

අදාළ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ සංවත්සර දෙස බලන විට අහසත් පොළොවත් අතර පරතරයක් දැකිය හැකි බවයි. එම පරතරය නෙල්සන් මැන්ඩෙලා හා ඇඩොල්ෆ් හිට්ලර් අතර ඇති පරතරයට හා වෙනසට සමාන බවද අලහප්පෙරුම මහතා සඳහන් කර තිබේ.

රටේ ජනාධිපතිවරයා ලෙස ලැබුණ විශේෂ ආරාධනයක් මත එක්සත් ජාතික පක්ෂ සමු‍ළුවට සහභාගි වෙමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද කතාවට ඒකාබද්ධ විපක්ෂය මේ ආකාරයට විරෝධය පළ කර ඇතත් තමන් මෙසේ විරුද්ධ වන්නේ අදාල කතාවෙහි කුමන කරුණු නිසා දැයි යන්න ඔහු පැහැදිලි කර නැත. ඒ කෙසේ වෙතත් අලහප්පෙරුම මහතා කියන එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති මේ පරතරය පිළිබඳව මෙන්ම නෙල්සන් මැන්ඩෙලා හා හිට්ලර් අතර ඇති පරතරය පිළිබඳව සංසන්දනාත්මක අවධානයක් යොමු කරලීම අලහප්පෙරුම මහතාට මෙන්ම පොදු සමාජයට ද වැදගත් විය හැකිය.

අද වන විට මේ රටේ පවතින්නේ සම්මුතිවාදී ආණ්ඩුවකි. එහි ප‍්‍රමුඛතම හවුල්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යි. එහිදී රටේ ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන විට අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි. නිදහසින් පසු ජාතික වශයෙන් විසඳා ගත යුතු ප‍්‍රමුඛ ගැටළු ගණනාවක්ම රට හමුවේ පවතින යුගයක රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ ආකාරයට රටේ පාලනයට හවුල් වීම රටක් හැටියට අප ලත් වැදගත් ජයග‍්‍රහණයකි. අනෙක් අතට පසුගිය අගෝස්තු මාසයේ පැවති මහමැතිවරණයේදී මේ රටේ ජනතාව ඒ ඒ පක්ෂ වෙත ලබාදී ඇති ජනවරමේ ස්වභාවය විසින් ද තීන්දු කළ තත්ත්වයකි. ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පමණක් පිළිගන්නවා විය හැකි ඩලස් අලහප්පෙරුම මහතාට අද ඒ පිළිබඳව විරෝධය පළ කිරීමට සදාචාරාචත්මක හැකියාවක් ඇද්ද යන්න විමසිය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව 2006 වසරේදී ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර රටේ පාලනයට අදාලව ලිඛිත ගිවිසුමකට එළැඹ පැවති නිසාය. ඒ අනුව එදා ඊට පක්ෂ වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතු‍ලු ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් අද සම්මුතිවාදී රජයකට එරෙහි වන්නේ කුමන පදනමකින් ද යන්න රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබේ.

අනෙක් අතට නෙල්සන් මැන්ඩෙලා හා ඇඩොල්ෆ් හිට්ලර් අතර ඇති පරතරය ගැන ද ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇතත් ඒ පරතරය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් කර නැත. එහෙත් අලහප්පෙරුම මහතා කියා ඇති පරිදිම මෙම චරිත දෙක අතර දැවැන්ත පරතරයක් තිබේ. ඇඩොල්ෆ් හිට්ලර් සැලකෙනුයේ දේශපේ‍්‍රමියෙකු ලෙස පෙනී සිටිමින් ජන ඝාතකයෙකුගේ භූමිකාව රඟ දැක් වූ නායකයෙකු ලෙසය. ඔහු ජර්මනියේ පාලකයා බවට පත්ව ඇත්තේ අතිෂය ජනප‍්‍රිය පුද්ගල චරිතයක් ලෙසය. එහෙත් ඔහු සිය පාලනය පවත්වා ගෙන යනු ලැබුවේ මර්දනය ආයතන ගත කළ නායකයෙකු ලෙසිනි. ජර්මන් ජාතිය උත්කර්ෂයට නංවමින් ඒ මතින් බලය ලබා ගත් ඇඩොල්ෆ් හිට්ලර් සිය විරුද්ධ මතධාරීන් ඝාතනය කරමින් ආරම්භ කළ ජන සංහාරය අවසානයේ කෙළවර වූයේ මු‍‍‍‍‍‍‍ළු මහත් ජර්මනියට එරෙහිව මුළු ලෝකයම පෙළගැසෙන තැනකට ඇද දමමිනි. ලෝකයේ එවැනි අනිකුත් පාලකයන් මෙන්ම හිට්ලර්ගේ පාලන සමයේදී ජර්මන් ආර්ථිකයේ 70‍ ක්ම පාලනය කර ඇත්තේ නාසිවාදී පවුල් කිහිපයක් විසිනි. ඒ අනුව හිට්ලර්ට සමාන කළ හැකි චරිත පිළිබඳව නම් ඩලස් අලහප්පෙරුම මහතාට හොඳ අවබෝධයක් තිබිය හැකිය.

ඩලස් අලහප්පෙරුම මහතා නෙල්සන් මැන්ඩෙලා පිළිබඳව ද කතා කර තිබේ. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප‍්‍රිකාවේ අසහාය නායකයා වන්නේත් ලෝක පූජිත ගෞරවණීය චරිතයක් වන්නේත් ජාති, වර්ණ, ගෝත‍්‍ර ආදී වශයෙන් බෙදී එකිනෙකා ඇනකොටා ගනිමින් සිටි දකුණු අප‍්‍රිකාව සාමකාමී ලෙස එක්සත් කළ නායකයා ලෙසිනි. රටේ පැවැත්ම, රටේ අනාගතය උදෙසා ඔහු අත්වැල් බැඳ ගත්තේ තම පරම ප‍්‍රතිවාදියා සමගය. ඒ දකුණු අප‍්‍රිකාවේ හිටපු සු`ථ ජාතික ජනාධිපතිවරයෙකු වන ඞී ක්ලාර්ක් සමගය. දකුණු අප‍්‍රිකාවේ පැවති සුදු ක`ථ භේදය දකුණු ආසියාවේ පවත්නා ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ අතර ඇති භේද වලට වඩා බොහෝ සංකීර්ණය. එහෙත් අවසානයේ මැන්ඩෙලා තම වර්ගය නියෝජනය කළ කලු ජාතිකයන්ගේ පරම සතුරා ලෙස සැලකුණ සුදු ජාතිකයන් නියෝජනය කළ දේශපාලන පක්ෂය සමග ද අත්වැල් බැඳගනු ලැබීය. ඒ රටේ අනාගතය වෙනුවෙනි. මෙයට දශක දෙක තුනකට පෙර පැවති කාලකණ්ණි දකුණු අප‍්‍රිකාව වෙනුවට සාමකාමී සහජීවනයෙන් පිරි දකුණු අප‍්‍රිකාවක් අද වන විට නිර්මාණය වී ඇත්තේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.

ඩලස් අලහප්පෙරුම මහතා රටට පැහැදිලි කළ යුතුව ඇත්තේ එම පරතරය යි. ඒ සමගම එක් දෙයක් පමණක් අලහප්පෙරුම මහතාට පෙන්වා දීම ද වැගත්ය. එනම් ඇඩොල්ෆ් හිට්ලර් වැනි ඒකාධිපතියෙකු බිහිවීම කෙසේ වෙතත් හිට්ලර් කෙනෙකුගේ පැවැත්ම කෙරෙහි තවත් එක් චරිතයක බලපෑම බොහෝ සේ හේතු වූ බවය. ඒ ගොබෙල්ස්ය. පෝල්, ජෝෂප්, ගොබෙල්ස් ය. අමු බොරු, පට්ටපල් බොරු, ගල් පැලෙන බොරු සමාජය තුළ වපුරමින් හිට්ලර්ගේ පැවැත්ම වෙනුවෙන් ගොබෙල්ස් ගත් වෙහෙස ඉතිහාසගතය. එහෙත් ඒ වෙහෙස අවසන් වුණේ ඔහු සිය දරුවන්ට වස පොවා බිරිඳගේ හිසට වෙඩි තබා අවසානයේ තමන්ගේ හිසට ද වෙබි තබා ගනිමින් දිවි නසා ගනිමිනි. එය නූතන හිට්ලර්ලාට මෙන්ම වෙන්ඩ ගොබෙල්ස්ලා වීමට වළිකන උදවියට ලබාදුන් අනතුරු ඇඟවීමක් වැනිය.

– සුනිල් ජයසේකර ( පුවත් පසුබිම)

Archive

Latest news

Related news