Friday, May 3, 2024

හෙළිදරව්ව: 2007 මාරුවීම්වලට දැන් රජ පාසල් ඉල්ලන දොස්තර ‘ජරාහිතලා

පින්තූරය: ජනෙල් විව‍‍ාත කළ ශාලාවකදි විජලනය හැදිම! තවත් දොස්තර විජ්ජාවකි)

(අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවෙහිදී කළ කරුණු සහිතව රජයේ වෛද්‍ය සංගමය නිරුවත් කළ කතාව)

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා.

එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ අතර, පුද්ගලිකව මාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් විවිධ මඩ පෝස්ටර් සහ අවලාද සිදුකරන අයුරු මාධ්‍ය හරහා ද අනාවරණය වුණා. පසුගිය බදාදා මහජන දිනය දා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් රාජකාරී කාලයෙන් පසුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමට උත්සාහ දැරුවා. එමෙන් ම ඔවුන්ගේ දරුවන්ට කිසිදු පාසලක් හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැතැයි පවසමින් ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණ එකක් ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට කටයුතු කිරීමට ඔවුහු උත්සාහ දරනවා.

විෂය භාර අමාත්‍යවරයා ලෙසත්, සමාජ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව අගය කරන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙසත් පසුගිය දා සිදු වූ සියලු සිදුවීම් සම්බන්ධයෙනුත්, විශේෂයෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙනුත් පැහැදිලි පිළිතුරක් රටේ ජනතාව ඉදිරියේ තැබීම මාගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ අනුව, තම පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සිදුකරන ඉල්ලීම් සහ චෝදනා පිළිබඳ ජනතා පරමාධිපත්‍යයේ මුදුන්මල්කඩ වන පාර්ලිමේන්තුව තුළ සිටිමින් අනාවරණය කිරීමට මා කටයුතු කරනවා.

ගරු කථානායක තුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ බලහත්කාරයෙන් බදාදා දින රාත්‍රියෙහි රැඳී සිටි ඔවුන් සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවයේ කටයුතු ද කඩාකප්පල් කර දැමුවේ තම දරුවන්ගේ පමණක් අයිතිවාසිකම් වෙනුවෙන් අනෙක් දරුවන්ගේ අයිතීන් උදුරා ගන්නා බව තවදුරටත් පසක් කරමින්. එදින රාත්‍රිය සම්පූර්ණයෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය ඇතුළු පරිශ්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය භාරයට ගෙන තිබුණා. රාජකාරී කටයුතු අවසන් බැවින් අමාත්‍යාංශ සේවකයින් ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි කොට නිවෙස් බලා ගොස් තිබුණා. මොවුන් බලහත්කාර‍යෙන් රැඳී සිටියේ එවැනි පසුබිමකයි. එහිදී අමාත්‍යාංශයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ට ද තර්ජනය කරමින්, පහරදීම් සිදුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් ද සොයිසා, නලින්ද හේරත් ඇතුළු පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි අප සතුව තිබෙනවා. මාධ්‍ය හරහා ද මේ කරුණු අනාවරණය කෙරුණා.

දොස්තර සංගමයේ ගිලන් රථ අවභාවිතය!
දොස්තර සංගමයේ ගිලන් රථ අවභාවිතය!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  කොළඹ ජාතික රෝහලට අයත් LW 0752 දරන ගිලන් රථය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ‍බලහත්කාරයෙන් ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා. මෙම ගිලන් රථය පැමිණියේ රෝගියෙකු ගෙනයාමට බව පැවසුවත් එම ගිලන්රථය ගෙන ඒමේ සැබෑ අරමුණ රාත්‍රියේ බලහත්කාරයෙන් රැඳී සිටි පිරිසට කෑම බීම රැගෙන ඒම බව මාධ්‍ය හරහා නිකුත් වූ මෙම ඡායාරූප සාක්ෂි දරනවා. (ඇමුණුම 01)

එමෙන්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරය තුළ දී වාතාශ්‍රය නොමැතිවීම හේතුවෙන් එක් තැනැත්තියක් පමණක් විජලනයට ලක් වූ බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිස අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ ඇති විශාල ජනෙල් විවෘත කොට සුව පහසුවෙන් රැය පහන් කරන ආකාරයේ ඡායාරූප ද මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා.

එබැවින් මෙය සම්පූර්ණ නාට්‍ය ජවනිකාවක් බව පැහැදිලි යි. ‍යම් පුද්ගලයෙකු රෝගී වූ විට ගිලන් රථයක් රැගෙන ආ යුත්තේ එම සිද්ධියට ආසන්නතම රෝහලෙනි. ඒ අනුව ආසන්නතම රෝහල් වන්නේ ජයවර්ධනපුර රෝහල සහ තලංගම රෝහලයි. නමුත් කොළඹ ජාතික රෝහලෙන් ‍ක්ලාන්තය හැදුණු රෝගියෙකු රැගෙන යාමට ගිලන් රථයක් ගෙන ඒම සම්බන්ධයනේ අප අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධියේ දී මාධ්‍ය ඉදිරියේ, තමන් ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂවරයෙකු බව පවසමින් හැසිරුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාද් රණවීර නමැති පුද්ගලයා පිළිබඳව ද අප සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා කොට තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සිටින්නේ අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පමණයි. ව්‍යාජ තනතුරු ඉදිරිපත් කරමින් මාධ්‍ය නොමග යැවීම සහ රජයේ ආයතනයක කීර්ති නාමය තම වාසියට යොදාගැනීම පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පට සහ එම කරුණු සනාථ කරමින් ඔවුන් පළ කරන අදහස්වලට අදාළ හඩපටද අප සතුව තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට වෙන් වූ රථගාල තුළට තම රථ ඇතුළු කරගත් ඔවුන් එම රථවල හුළං ඇර දැමීමට යම් පිරිසක් කටයුතු කර ඇති බව පවසමින් මාධ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. හැකිනම් ඒ සඳහා පිළිත හැකි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද මා ඔවුන්ට අභියෝග කරන්නට කැමතියි. රටේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී තම පටු පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කෑගසන මොවුන්ගේ සැබෑ නිරුවත සමාජය ඉදිරියේ අනාවරණය කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මා විසින් සිදුකළ යුතු ජාතික වැදගත්කමින් යුත් කාර්යයක් ලෙස මම සලකනවා. සියලු ජනතාවට සමාන අයිතීන් ලබාදීම යහපාලන රජයේ වගකීම සහ යුතුකම බව මා නැවත වතාවක් මේ ගරු සභාවට අවධාරණය කිරීමට කැමතියි.

ගරු කථානායකතුමනි, හෝමාගම සිට මහරගමට මාරු වූ යම් වෛද්‍යවරයෙකු ඉල්ලා සිටිය යුත්තේ මහරගම නගරයේ පාසලක් වුවත් එවැනි වෛද්‍යවරයෙකු කොළඹ ආනන්ද විද්‍යාලය ඉල්ලා සිටියහොත් එය සාධාරණ දැයි මම මේ උත්තරීතර සභාවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. ගම්පහ සිට බෙම්මුල්ලට මාරුවී කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය ඉල්ලුම් කිරීම සාධාරණ ද ? කොටපොළ සිට මොරවකට මාරුවී කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය ඉල්ලීම් කෙතරම් දුරට සාධාරණ ද? මව හෝ පියා මාරුවීමක් ලැබූ විට සේවයට යන ස්ථානයේ පාසලක් දරුවාට ලබාදීම සිදුකළ යුතු වුවත්, ඔවුන් දිවයිනේ කවර හෝ ප්‍රදේශයක රෝහලකට මාරුවීමක් ලැබූ විට කොළඹ හෝ ප්‍රධාන නගරවල ඇති ජනප්‍රියතම ජාතික පාසල් 12කටත් වඩා අඩු සංඛ්‍යාවක් සඳහා තම දරුවන් ඇතුළත් කරගැනීම සඳහා උත්සාහ කිරීම කෙතරම් යුක්ති සහගත ද?

ගරු කථානායකතුමනි, මාධ්‍ය ඉදිරියේ ඔවුන් පවසන්නේ තමන්ගේ දරුවන්ට මාස 9 ක් ගතවී ඇතත් කිසිදු පාසලක් ‍හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්වී ඇති බවයි. එබැවින් එහි සත්‍ය තොරතුරු සමාජය ඉදිරියේ අනාවරණය කිරීම වෙනුවෙන් දිවයිනේ අතිජනප්‍රිය පාසල් තම දරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින් ද හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා වූ ලේඛනය මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. (ඇමුණුම 02 -මේ පුවතට පහතින් ඇති ඉමේජ බලන්න)

මෙහි ඇති හාස්‍යයට කරුණ වන්නේ ඔවුන් විසින් පාසල් 3ක් ඔවුන්ගේ කැමති අනුපිළිවෙළ යටතේ ඉදිරිපත් කර තිබීමයි. කොළඹ රාජකීය විද්‍යාලය තම දරුවාට ලබාදෙන ලෙස ඉල්ලුවේ නැති බව පුන පුනා කියන රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන්ගේ සැබෑ තත්ත්වය මෙම ලේඛන හරහා හොඳින් හෙළිවෙයි. මෙම ලේඛනයට අනුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අරගල කරන නිලධාරීන් 21 දෙනෙකු‍ අයදුම් කර තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන්ගෙන් 16 දෙනෙකුගේ දෙවැනි කැමැත්ත කොළඹ ආනන්ද විද්‍යාලයයි. කාන්තා පාසල් ගතහොත්,  15 දෙනෙකු ඉල්ලා සිටින්නේ කොළඹ විශාකා විද්‍යාලයයි. 12 දෙනෙකු ඉල්ලන්නේ කොළඹ සිරිමාවෝ විද්‍යාලයයි. ගරු කථානායකතුමනි මේ පළමුවැනි ශ්‍රේණිය පමණයි.

කොළඹ රාජකීය, ආනන්ද, විශාකා, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව පිරිමි, කුරුණෑගල මලියදේව බාලිකා, ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල මහින්ද, මාතර සුජාතා, වගේ පාසල් විතරයි ඔවුන් බලා‍පොරොත්තු වෙන්නේ. මේ සියලු තොරතුරු මා සභාගත කරන්න කැමතියි. ‍මෙතන දරුවන් 112 දෙනෙකුට අදාළ තොරතුරු තියෙනවා. (ඇමුණුම 03)

මේ ගරු කථානායකතුමනි පළමු ශ්‍රේණිය පමණයි. ඊළඟ සෙල්ලම තියෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමෙදියි.
මම ඒ තොරතුරුත් සභාගත කරනවා. (ඇමුණුම 04)

ගරු කථානායකතුමනි, අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේ දී පහ සහ 6 ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ හැකියාවක් අපට නැහැ. නමුත් ඔවුන් ඒ සඳහාත් ඉල්ලීම් සිදුකර තිබෙනවා. අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළු කිරීමේ දී සිදුකරන දූෂණ අක්‍රමිකතා පිළිබඳ මම කරුණු හෙළි කරන්න සූදානම්. කොළඹ රාජකීය විද්‍යාලයට ඉල්ලුම් කළේ නැහැ කිව්වට ඔවුන් ලබාදුන්නු ලේඛනයට අනුව, 2016 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයට සිසුන් ‍12 දෙනෙකු ඇතුළත් කරගන්නා ලෙස ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

ආනන්ද විද්‍යාලයට ළමුන් 4 දෙනෙක්, විශාකා විද්‍යාලයට ළමුන් 8 දෙනෙක් ආදී වශයෙන් ජනප්‍රියතම පාසල් 17ක් සඳහා දරුවන් 51 දෙනෙක් ඇතුළත් කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා තිබෙනවා.

ගරු කථානායක තුමනි, සාධාරණ ඉල්ලීමක් කර තිබේනම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි ආකාරයෙන් පිළියම් ලබාදීම අපගේ යුතුකමක්. නමුත් පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කරන්නට 2016 අගෝස්තු මස 18 වැනි දින වනවිටත් ර‍ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපොහො‍සත් වූ බව මා මේ උත්තරීතර සභාවට දන්වන්නට කැමතියි.

ගරු කථානායකතුමනි, මේ තිබෙන්නේ, ‍පසුගිය අගෝස්තු මස 18 වැනි බ්‍රහස්පතින්දා දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ වෙනස් කරන ලද ඔවුන්ගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක්.   (ඇමුණුම 05)

මා තවත් වැදගත් අනාවරණයක් නිකුත් කරන්නට සූදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ සාමාජිකයන්වත් නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටු කරගන්නා බවට පැහැදිලි සාක්ෂි අප සතුව තිබෙනවා. ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ පාසල්වල ඇති පුරප්පාඩු පිළිබඳ ඔවුන්ට දැනුම්දෙන ලෙසයි. ඔවුන්ගේ සාමාජිකයන් සිය කැමැත්ත මත පාසල් අයදුම් කර තිබූව ද, ඉහළ නිලධාරීන්ගේ කැමැත්ත මත අමාත්‍යාංශය විසින් ලබාදෙන පාසල් වෛද්‍යවරුන් අතර බෙදාදීමට හැකි බව ඔවුන් පවසනවා. මේ කවර වෘත්තීය සමිතියක් ද? මේ පිළිබඳ තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නලින්ද හේරත් මහත්තයා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පුද්ගලික කරුණක් මත මෑතක දී කඩුවෙල ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා. අද වෛද්‍යවරුන්ගේ දරුවන්ට රාජකාරී ස්ථාන මාරුවීම් මත පාසල් හිමිවිය යුතු බවට කෑගසන නලින්ද හේරත්  තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාල‍යට ඇතුළත් කර ගන්නේ හුදෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ධූරය දැරීම උපයෝගී කරගෙනයි.

ඒ එම සංගමයේ සාමාජිකයෙකුට ලැබුණු තවත් අවස්ථාවක් අනිසි ලෙස යොදාගනිමින් බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔන්න ඕකයි ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇත්තම තත්ත්වය.

රජයේ වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් පමණක් ජනප්‍රියතම ජාතික පාසල්වලට ඇතුළත් කරගැනීමේ උත්සාහයේ දී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන සමයේ දී, එනම් 2005 වසරේ දී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ලබාදුන් කැබිනට් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ කරුණු ඉදිරිපත් කරනවා.

එම කැබිනට් පත්‍රිකාව මා මේ මොහොතේ සභාගත කරන අතර, එහි කිසිදු තැනක ජනප්‍රියතම ජාතික පාසල් වෛද්‍යවරුන්ගේ දරුවන් වෙත ලබාදිය යුතුයැයි අනිවාර්ය කොට දක්වා නැහැ. (ඇමුණුම 06)
එහි දැක්වෙන්නේ,

*       වෛද්‍ය නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු බලධාරියා විසින් නම් කරන ලද පළාතකට ස්ථාන මාරු ලබා තිබීම

*       ඉල්ලුම් කරන ලද ජාතික පාසල සහ වෛද්‍ය නිලධාරියා සේවය කරනු ලබන වෛද්‍ය ආයතනය එකම පරිපාලන පළාත තුළ පිහිටා තිබීම

ආදී කරුණු මත වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා පාසල් ඉල්ලා සිටීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි.

මීට අමතරව, දරුවන් ඇතුළත් කිරීම සඳහා ඒ වනවිට නිකුත් කර තිබූ 23/2003 නමැති 23/05/2003 දිනැති චක්‍රලේඛය අබිභවා යාමක් සිදු නොකරන ලෙස ද එහි දක්වා තිබෙනවා.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද එම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇති අතර, වෛද්‍යවරුන්ට මෙන් ම ස්ථාන මාරුවීම් සහ විදෙස් ගතවී පැමිණීම් මත පාසල් පිළිබඳ ගැටළුව සියලු රාජ්‍ය සේවයේ නිලධා‍රීන්ට පොදුවේ බලපැවැත්වෙන්නක් බවයි.

එමෙන්ම කිසිදු පාසලක පළමු ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණි ළමුන්ගෙන් පිරී පවතින අතර අතරමැදි ශ්‍රේණි සඳහා 40 සීමාව නොඉක්මවා සිසුන් ඇතුළත් නොකළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.

එහි දක්වා ඇති අතිශයින් ම වැදගත් කරුණ වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ජනවාරි මස මුල දී අවසන් කර එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන්නේ නම්, ජනප්‍රිය පාසල්වල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින්නේ නම් ඒ පිළිබඳ ප්‍රමුඛතා අනුපිළිවෙළ මත කටයුතු කළ හැකි බවයි.

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ දරුවන් ව්‍යාජ සහ ආත්මාර්ථකාමී වුවමනාවන් පදනම් කරගනිමින් පාසල්වලට ඇතුළත් කරගැනීම සඳහා එම කැබිනට් පත්‍රිකාවෙන් කිසිදු අවකාශයක් සලසා නොමැති බවයි. එබැවින් 2005 වසරේ දී ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පදනම් කරගනිමින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තම වාසි ප්‍රයෝජන සඳහා කරුණු විකෘති කිරීම්වල යෙදෙන අයුරු පැහැදිලි යි.

යම් රාජ්‍ය නිලධාරියෙකු රාජකාරී අවශ්‍යතා මත විධිමත් ස්ථාන මාරුවීමක් ලැබූ විට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සුදුසු පාසලක් ලබාදීම ඔවුන්ගේ රාජකාරී පහසුව සහ කාර්යක්ෂමභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකෙරෙන්නක්. අමාත්‍යවරයා වශයෙන් ඒ සම්බන්ධයෙන් මම එයට කිසිසේත් විරුද්ධ වන්නේ නැහැ. නමුත් මෙහිදී මා විසින් ප්‍රකාශ කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර පෙන්වන ස්ථාන මාරුවීම්වලට අදාළ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලයිස්තුව ද අතිශයින් ම ප්‍රශ්නකාරී සහ පදනම් විරහිත ලයිස්තුවක් බවට තහවුරු වී තිබෙනවා.

ගරු කථානායකතුමනි, 2016 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී රජයේ සේවයේ ස්ථාන මාරුවීම් ලබා එන නිලධාරීන් සඳහා සියයට 4ක් ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. එමෙන්ම රාජකාරී අවශ්‍යතා මත විදේශගතවී පැමිණෙන නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් ද සියයට එකක ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. මීට අමතරව ආදි ශිෂ්‍ය පදනම මත හෝ සහෝදර පදනම මත ද වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් සඳහා ඉල්ලුම් කළ හැකියි. නමුත් දැන් මොවුන් මට බලකරන්නේ ළමුන් ඇතුළත් කිරීමේ චකුලේඛයේ ඉල්ලීම් අභිබවමින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන ලෙසයි.

2016 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් 112 දෙනෙක් ඇතුළග් කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලා තිබුණා. ගරු කථානායකතුමනි, ඉන් 26 දෙනෙකු පමණයි 2014, 2015, 2016 යන වර්ෂවලට අදාළ ස්ථාන මාරුවීම් සහ විදේශගතව පැමිණීම් සිදුව තිබුණේ. සෙසු සියලු ඉල්ලීම් 2007 වසරේ සිට 2013 වසරට අයත් ඉල්ලීම්.

ගරු කථානායකතුමනි, 2007 වසරේ දී කොහේ හෝ තැනකින් තවත් තැනකට මාරුවුණ වෛද්‍යවරයෙකුගේ දරුවෙකුට අපි පාසලක් ලබාදෙන්නේ මොන පදනමක් යටතේ ද?

ගරු කථානායකතුමනි, පහුගිය කාලෙ කොන්ද පණ නැතුව තම තමන්ට ඕන විදියට දේශපාලන බලය ආරක්ෂා කරගන්න සමාජ බලපැම් කණ්ඩායම් කියාගන්නා මේ වගේ ආත්මාර්ථකාමී පිරිස් තමන්ට නම්මගන්න ඇතැම් දේශපාලනඥයො කරපු තකතිරු ක්‍රියාවල ප්‍රතිඵල තමයි මොවුන් අද පූර්වාදර්ශ කරගෙන තියෙන්නේ.

2016 අවුරුද්දෙ අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් 168 දෙනෙක් ඇතුළත් කරගන්න කියල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට බලකරනවා. මා කියන්න කැමතියි 2014, 15 වසර තුළ ඔවුන්ගෙනුත් ස්ථාන මාරු ලබා පැමිණි වෛද්‍යවරුන් සංඛ්‍යාව 27ක් විතරයි. ඉතුරු 141ක ම 2007 ඉදන් 2013 වසර දක්වා මාරුවීම් හෝ විදේශගතව පැමිණීම් සිදුකළ අය.

ගරු කථානායකතුමනි, අපට සලකා බලන්න පුළුවන් වසර තුනක ස්ථාන මාරුවීම් පමණයි. මේ අයට ඕන ඕන විදියට නටන්න මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න මම සූදානම් නැහැ.

ගරු කථානායකතුමනි, මොන දේ වුණත් සාධාරණ ඉල්ලීමක් කර තිබෙනවා නම් එම ඉල්ලීම් සලකා බලල හැකි පාසල් ලබාදෙන්න අපි කටයුතු කළා. රාජකීය, ආනන්ද, විශාකා, ඩී එස්, ධර්මරාජ, කිංස්වුඩ්, කුරුණෑගල මලියදේව බාලක- බාලිකා පාසල් නැතිවුණත් මහානාම, සිරිමාවෝ,පන්නිපිටිය ධර්මපාල ඉසිපතන, ගාල්ල ධර්මාශෝක, ගාල්ල දේවානන්ද, හොරණ තක්ෂිලා වගේ පුරප්පාඩු තිබෙන පාසල් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍යවරුන් 110 දෙනෙකුගේ දරුවන්ට පාසල් ලබාදීමට අපි කටයුතු කළා.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට ලබාදුන් පාසල් භාර නොගනිමින් දිගින් දිගටම ජනප්‍රියතම ජාතික පාසල් ටික ඉල්ලුම් කරමින් ඉන්නවා. මම ඔවුන්ට ලබාදුන් පාසල් පිළිබඳ ලේඛනයත් සභාගත කරනවා, ගරු කථානායකතුමනි. (ඇමුණුම 07)

ගරු කථානායකතුමනි, සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ, ගොවියන්ගේ කම්කරුවන්ගේ අනික් වෘත්තීන්වල යෙදෙන මව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මා කැප වන එක වළක්වන්න කාටවත් බැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙවැනි අසාධාරණ ඉල්ලීම් සිදුකරමින් අමාත්‍යාංශ වටකළාට, මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා සමාජ ජාලාවලින් බැට කාලා කහල ගොඩට විසිවෙලා දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරුන‍්ගෙත් කීර්ති නාමය මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කෙළෙසන එකට මට කරන්න දෙයක් නැහැ ගරු කථානායකතුමනි.

තමන්ගේ සංගමයේ සාමාජිකයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එස්එම් එස් එකක් යවනවා, ගරු කථානායකතුමනි, ඒකෙ තියෙනවා, ඇමති අකිල අපේ ප්‍රතිරෑපය විනාශ කරන්න මේ පාසල් ප්‍රශ්නය උපකාරී කරගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යනවා , ඒකට විරුද්ධව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න කියලා. ගරු කථානායකතුමනි, මට මේ සඳහා කැම්පේන් එකක් කරලා පහර එල්ල කරන්න අවශ්‍යතාවක් නැහැ.
මේ ඇත්ත කරුණු දකින බුද්ධිමත් ජනතාව දන්නවා, ඔවුන් මේ අසාධාරණකම්වලට එරෙහිව තමන්ගේ මතය ඉදිරිපත් කරන එක සිදුකරනවාමයි. දූෂිත රාජපක්ෂ රෙජිමය ගෙදර ඇරියෙත් ඒ ජනතා මතයම බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

ගරු කථානායක තුමනි, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අපේ අංශුබෝධි මාරසිංහ මහතාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙනිය මහතා කියල තියෙනවා, “අපි අකිලට පාඩමක් උගන්වනවා, බලාගමුකො අපි ඉස්සරහට කරන දේ කියලා”.  මම ගරු අනුරුද්ධ පාදෙනිය මැතිතුමාට බොහොම ගෞරවයෙන් යුක්තව කියනවා තමන්ගෙ සංගමයේ සාමාජිකයන්ටත් ‍වංගු ගහලා ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තමන්ගේ දරුවන් සුපිරිම පාසල්වලට ඇතුළත් කරපු ආකාරය ගැන මම ඉදිරියෙදි හෙළි කරනවා, මොන පාඩම් උගන්වන්න ආවත් දූෂණ, අක්‍රමිකතා, කොමිස්, නැති අපේ සෘජු විනිවිද දේශපාලනය ඇතුළෙ ඔය පාඩම්වලට ඉඩක් නැති බවත් කියන්න ඕනේ.

ඒවගේම මතක තියාගන්න, ගරු පාදෙනිය මැතිතුමා මේ රටේ ජනතාවගේ විරෝධයෙන් ඔබතුමන්ලට ගැලවෙන්න බැරි බව.

හරිනම් විය යුත්තේ සැබෑ ලෙසම ස්ථාන මාරු ලබා ඇති වෛද්‍යවරුන්ගේ ලයිස්තුවක් ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කර ඉදිරිපත් කිරීමයි.

ඇයි, මේ ක්‍රමවේදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එකඟ වෙන්න බැරි. මම සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ ලේඛන නිසා ඊට සම්බන්ධ වුණ සාධාරණ හේතු සහිත වෛද්‍යවරුන්ටත් අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේක ඇත්තටම මාෆියාවක්.

මෙම ලැයිස්තුව සකස් කිරීමේ දී ‍බොහෝ අක්‍රමිකතා සිදුව ඇති බවට වෛද්‍ය වෘත්තීකයින්ම චෝදනා කිරීමෙන් එය හොඳින් තහවුරු වෙනවා.

අප විසින් නැගිය යුතු ප්‍රශ්නය වන්නේ, මෙවැනි විනිවිදභාවයකින් තොර නිවැරදි කරුණු මත පදනම් නොවූ ලයිස්තුවක් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බලය කුමක් ද යන්නයි. නිවැරදි, විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් මත පදනම් වෙමින් පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකැමැති ඇයි? එවැනි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඔවුන් පැකිළෙන්නේ ඇයි?

මා මෙරට සිටින යහපත්, අවංක වෛද්‍ය වෘත්තීකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, මෙවැනි දෙබිඩි පිළිවෙතකින් යුත් නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියකට ඔබගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ අයිතිවාසිකම යටපත් කිරීමට ඉඩ නොදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගන්නා නිවැරදි තොරතුරු මත පදනම් වූ සැබෑ ස්ථාන මාරුවීම් ලද ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කරගැනීම වෙනුවෙන් ඉදිරියට එන ලෙස මා ඔවුන්ට දැනුම් දෙනවා.

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමේ ක්‍රමවේදය හැකිතාක් පාරදෘශ්‍ය ආකාරයෙන් සිදු කිරීමට මමත් මගේ නිලධාරීනුත් මේ දක්වා ක්‍රියා කර තිබෙනවා. එහි යම් දුර්වලතාවක් තිබේනම්, එය සංවාදයට විවෘතයි. සුහද ලෙස ගැටළු සාකච්ඡා කර විසඳීම මාගේ රාජකාරී පිළිවෙත බව ‍යහපත් අවංක වෛද්‍ය වෘත්තීකයින්ට මම ප්‍රකාශ කරන්න කැමතියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අන්දගෙන බිත්තිවලට හිරකරගෙන, ඔවුන්ගේ වංචාවන් සාධාරණීකරණ කරගන්න. කලින් ආණ්ඩුව කාලෙ ඒව කළාට මේ ආණ්ඩුව යටතේ ඒව කරන්න බැරි බව මම අවධාරණය කරන්න කැමතියි. දේශපාලනඥයින් මෝඩයින් යැයි සිතන බවක් ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා. මා මෙම පිළිතුර දෙන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන, මෙම උඩඟු ප්‍රකාශ කරන පුද්ගලයන්ට මිස සමස්ත වෛද්‍ය ප්‍රජාවට නොවේ.

මෙහි ඇතැම් වෛද්‍යවරුන්ට මනුෂ්‍ය ශරීරය නමැති ස්වභාවික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් මිස සමාජ විද්‍යාවන් හෝ දේශපාලන විද්‍යාවන් ගැන අවබෝධයක් නැහැ. මේ පිළිබඳ ඕනෑතරම් උදාහරණ අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කට අරින වාරයක් වාරයක් පාසා තහවුරු වෙනවා. මොහු මේ ප්‍රකාශ සිදුකරන්නේ  ස්වභාවික විද්‍යා මූලධර්ම සමාජ විද්‍යාවන්ටත් අදාළ වේ යැයි සිතා විය යුතුයි.

තමන්ගේ දරුවන්ට පමණක් සුපිරිතම ජනප්‍රිය පාසල් ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අසමානතා මූලධර්ම පදනම් කරගනිමින් මෙම පිරිස අ‍පගේ රජයට මඩගසමින් සිටිනවා.

අවසාන වශයෙන් මට කිව හැක්කේ, වෛද්‍ය වෘත්තීකයින් යනු කුලයක් නොවෙයි. මේ අය හැසිරෙන්නේ කුලවාදී මානසිකත්වයකින් මිස වෘත්තීය ආචාරධර්මවලට ගැළපෙන ‍මානසිකත්වයකින් නොවෙයි. මේ පවතින්නේ වැඩවසම් හෝ ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයක් ද නොවෙයි. නැතිනම් ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලන ක්‍රමයක් ද නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන් බවට පත් වූ ‍මේ ‘කුලය’ සමාජ වරප්‍රසාද නමැති කඩතුරාවෙන් හිස වසාගෙන ෆැසිස්‍ට් නියෝග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරමින් සිටීම සමස්ත වෛද්‍ය වෘත්තීකයින්ගේ ගෞරවය ද කෙළෙසා දැමීමක්. මොවුන්ගේ ෆැසිස්ට් වාදයට ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන මම කිසි‍දා යටත් වන්නේ නැහැ.“

Archive

Latest news

Related news