Thursday, November 21, 2024

අධ්‍යාපනය කොයිබටද? – සමල් විමුක්ති හේමචන්ද්‍ර

( ජායාරූපය: colombo.diplo.de)

ගත වූ වසරක කාලය ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනාත්මක වර්ධනයක් පෙන්වූ කාලපරිච්ෙඡ්දයක් ලෙස දැක්විය හැක. එනම් ජනවාරී 8 දින ජයග‍්‍රහණය කරනු ලැබූ ප‍්‍රතිපත්තිමය පොරොන්දු එක්තරා ප‍්‍රමාණයකින් ඉෂ්ට කිරිමට වර්තමාන රජය මැදිහත් වීම මෙම කාලය තුළ දක්නට ලැබුණි. කෙසේ නමුත් රාජපක්ස රජයේ නිශේධාත්මක අංගයන් ද වර්තමාන රජයේ කි‍්‍රයාකාරකම් තුළින් යම් ආකාරයකට දක්නට ලැබීමද සැළකිය යුතුය. මෙම ලිපියේ මූලික අරමුණවන්නේ 2015 අගෝස්තු 17 සිට 2016 අගෝසතු 17 දක්වා වූ වසරක කාලය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ සිදුවීම් පිළිබ`ද විමර්ශනයක් කිරිමය.

මෙම වසර තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු වූ ධනාත්මකම සිදුවීමවන්නේ 2016 අයවැය යෝජනා මගින් අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් ප‍්‍රමාණය වැඩි කිරීමය. අයවැය පාර්ලිමේනතුවේදි ඉදිරිපත් කරන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ මෙවර අයවැය තුළින් අධ්‍යාපනයට 5.4% ක් වෙන් කර ඇති බවයි. නමුත් අධ්‍යපනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් මෙම අයවැය යෝජනා විශ්ලේෂණය කරමින් දක්වා සිටියේ මෙවර අයවැයේ දී පාසල් ඉඩම් සහ ගොඩනැගිලි වටිනාකම් (ක්‍්චසඒක ක්‍්රරහසබට ක්‍දිඑ* ද අන්තර්ගත කර ඇති බවයි. කෙසේ නමුත් ඔවුන් දක්වා සිටියේ මෙම වටිනාකම් ඉවත් කිරිමෙන් පසුවද එය 2.72%ක අගයක් ගන්නා අතර එය පෙර වසරේ වෙන් කරන ලද ප‍්‍රතිශතය වන 2.07% ට  සාපේක්ෂව වැඩි වීමකි . කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ වර්තමාන රජය ප‍්‍රතිපත්තියක් ලෙසට අධ්‍යාපනයට දළ දේශිය නිශ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමේ යෝජනාව පිළිගෙන තිබෙන බවයි. එසේම මෙම අයවැයේ අධ්‍යාපන යෝජනා තුළින් වැඩි අවදානය යොමු කර ඇත්තේ පාසල්වල සහ විශ්ව විද්‍යාලවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටය. රජයේ අධ්‍යාපන ආයතනවල පවතින භෞතික දුශ්කරතාවයන් සැලකීමේදි මෙය ඉදිරිගාමි පියවරක් ලෙස සැලකිය හැක. නමුත් මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයකු මා හට දන්වා සිටියේ මෙම යෝජනා කි‍්‍රයාත්මකවන්නේ ඉතාම පසුගාමී ආකාරයකින් බවයි. උදාරණයක් දක්වනවා නම් ශි‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව නේවාසිකාගාරයක් ඉදි කිරීමට අනුමැතිය ලැබි තිබුණත් තවම ඒ පිළිබ`ද කිසිදු පියවරක් ගෙන නොමැතිබවත්ය. එසේම මෙවර අයවැය යෝජනාවලින් නැවත වතාවක් මහපොළ දීමනාව රුපියල් 5000ක් කර තිබීම මුල්‍ය දුශ්කරතා සහිත ශිෂ්‍යයිනට විශාල සහනයක් වී තිබිම පැසසිය යුතුය.

මෙම කාරණාවලට අමතරව පෙන්වා දිය යුතු අනෙක් වැදගත්ම දෙය වන්නේ මහින්ද රාජපක්ෂ ආණඩුවේ තිබූ නිශේධාත්මක කි‍්‍රයාවන් මෙම ආණ්ඩුව විසින් තවත් ඉදිරියට ගෙන යාමක් පසුගිය වසරක කාලය තුළ දක්නට ලැබීමය. පාසල් අධ්‍යාපන වියදම් සම්බන්ධ උදාහරණයකින් පවසනවා නම් පාසල්වල වියදම් පියවීම ස`දහා පසුගිය රජය විසින් දිරිමත් කරන ලද අවිධිමත්ව දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ගැනීමේ කි‍්‍රයාවලියට මෙම රජය විසින් නෛතික ස්වරූපයක් ලබා දී තිබිමයි. මෙමගින් රජය බලාපොරොත්තු වන්නේ දෙමව්පියන්ට පාසල් නඩත්තුව පිළිබ`ද වගකීම් පවරා රාජ්‍යයේ මැදිහත් වීම අවම කිරීමයි. මෙම තත්වය හොදින් දැකිය හැක්කේ 2016 දි සම්මත කරගන්නා ලද පාසල් සංවර්ධන සභා පනත තුළය. මෙම පනත මගින් සිදුවූයේ පාසලේ සංවර්ධන කටයුතු තීරණය කිරීමට පාසල් සංවර්ධන සභාවලට බලය පැවරීමයි. පාසල් සංවර්ධන සභා යනු පාසල් සංවර්ධන සමිතියෙහි දිගුවකි. මේ අනුව මෙම සභාවලට පාසල් සංවර්ධන කටයුතු ස`දහා මුදල් සොයා ගැනීමේ බලය පැවරී ඇත. මෙහිදී දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම පමණක් නොව පාසල් දේපල කුලියට ලබා දීම හරහා ද මෙම සභාවලට පාසල් නඩත්තුව වෙනුවෙන් මුදල් උපයා ගත හැක. මෙහිදී සිදු වන්නේ පාසල මුදල් එකතු කිරීමේ ඒකකයක් බවට පත් වීමයි. මෙම කි‍්‍රයාවලිය දිගටම පැවතුනහොත් සිදුවිය හැකි ප‍්‍රධාන හානිය වන්නේ පොහොසත් දෙමව්පියන් සිටිනා පාසල් දියුණුවීමත් දුප්පත් දෙමව්පියන් සිටිනා පාසල් තව තවත් ආගාධයට යාමත් පමණි. මෙමගින් දැනටමත් සමාජය තුළ ඔඩු දුවා ඇති පාසල් අතර පවතින අසමානතාවය රජයේ මැදිහත් වීම අවම වීම තුළ තීව්ර විය හැක.

රාජපක්ෂ රජයට එල්ල වූ ප‍්‍රධාන විවේචනයක් වූයේ අධ්‍යාපනය දේශපාලනීකරණය වීමය. වර්තමාන ආණ්ඩුව බලයට පත් වන විට ඔවුන් ඉදිරිපත් කළ ප‍්‍රධාන සටන් පාඨයක් වූයේ අධ්‍යාපනය නිර්දේශපාලනීකරණය කිරිමයි. නමුත් මෙම පොරොන්දුව උල්ලංඝනය කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කැළණිය විශ්වවිද්‍යාලයේ පැවතුණු ආචාර්ය පුරප්පාඩු පිරවීමේදී තමාගේ දේශපාලන හිතවතෙකු පත් කරන ලෙසට ලිපියක් මගින් විශ්වවිද්‍යාල පරිපාලනයට දැනුම් දෙන ලදී. මෙම කරුණ සමාජ ජාල සහ මාධ්‍ය ම`ගින් එළිදරව් වීමෙන් පසුවද අමාත්‍යවරයා තම කි‍්‍රයාව සාධාරණිකරණය කිරීමට උත්සහ කිරිම සමාජය තුළ දැඩි ලෙස විවේචනයට බදුන් වූ කරුණකි .

වර්තමානයේදී ගෝලීය ආර්ථිකය තුළ අධ්‍යාපනය විකිණිය හැකි භාණ්ඩයක් වෙමින් පවතී. එනම් අධ්‍යාපනය වෙළදපල තර්කනයට යටත් කොට ලාභ ලැබිය හැකි ආයතනයක් බවට පත් කිරිම මෙහි මුඛ්‍ය අරමුණයි. මෙම ගෝලීය තත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපනයෙන් ලාභ ලැබීමේ අරමුණින් රාජපක්ස රජය මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව මාලඹේ කේන්ද්‍ර කොට ග සයිටම් පුද්ගලික වෙද විදුහල පිහිටුවන ලදී. ආරම්භයේ පටන්ම මෙයට දැඩි විරෝධයක් ශිෂ්‍යයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ පාසල් ගුරුවරුන් කේන්ද්‍රකරගත් සමාජ සංවිධානවලින් එල්ල වුණි. රාජපක්ස රජය පරාජයටද මෙම කරුණ කේන්ද්‍රීය බලපෑමක් කරන ලදී. කෙසේ නමුත් වර්තමාන රජය මෙම ආයතනය අහෝසි නොකර ඒ සම්බන්ධයෙන් මෘදු පිළිවෙතක් අනුගමනය කිරීම සමාජය විසින් දැඩි ලෙස විවේචනය කොට තිබේ. මෙම ලිපිය ලියන මොහොත වන විට විවිධ සංවිධාන සහ පුද්ගලයින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.

රජයේ කි‍්‍රයාකාරකම්වලට අමතරව සමාජ අවධානය දිනා ගත් වැදගත් කරුණක් වූයේ විශ්ව විද්‍යාල තුළ පවතින නවකවදය සහ යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ දෙමල සිංහල ගැටුමයි. නවකවදය සම්බන්ධයෙන් කතා කිරීමේදි සමාජයේ පිළිගත් පොදු මතයවන්නේ නවකවදය විශ්ව විද්‍යාලවලින් තුරන් කල යුතුය යන්නයි. සෑම වසරකම නවක සිසුන් බදවා ගන්නා කාලයට ඉස්මතුවන මෙම විරෝධය මෙම වසරේදී ඉස්මතු වූයේ කැළණීය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ශාරීරික සහ මානසික හිංසනයකට ලක් කිරිම හේතු කොට ගෙන පොලිසියට පැමිණිලි කිරීමේ සිද්ධියයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යශිෂ්‍යාවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය උල්ලංඝණය කරන මෙම කි‍්‍රයවලිය නැවැත්වීමට වර්තමාන රජය ද පෙර රජයන් මෙන් ධනාත්මක ප‍්‍රවේශයකට යනවා වෙනුවට කරනුයේ නවකවදය පිටින් දමා ආණ්ඩුවට විරුද්ධ ශිෂ්‍ය නායකයින් මර්දනය කිරීමයි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ සිදු වූ දෙමළ සිංහල ගැටුම සමාජයේ පවතින ප‍්‍රතිවිරුද්ධතා තවම සමනය වී නොමැති බවට කියාපාන සිදුවීමකි. ගැටුමට හේතුව වූයේ නවකයින් පිළිගන්නා උත්සවයකදී සිංහල සිසුන් සිදු කළ උඩරට නර්තනයකට දෙමළ සිසුන් පිරිසක් විසින් පහර දීමයි. විශ්වවිද්‍යාල යනු ප‍්‍රතිවිරුද්ධ අදහස් ඝට්ටනය වන තැනක්ය යන පරමාදර්ශී අදහසට ප‍්‍රතිවිරුද්ධව යමින් මෙම අදහස්මය ගැටුමක් නොව ශාරීරික ගැටුමක් වීම වර්තමාන ශී‍්‍ර ලාංකික අධ්‍යාපනයේ ඛේදවාචකය මනාව පෙන්වයි. මෙහිදි මෙවැනි ගැටුම්කාරී තත්වයන් වලක්වා විශ්වවිද්‍යාල විවිධ අදහස් නිදහසේ සංසරණය වීමට අවශ්‍ය පසුබිම සැකසීමට කි‍්‍රයාකාරී විය යුතුය.

අවසන් වශයෙන් කිව යුතුවන්නේ රාජපක්ෂ රජයට සාපේක්ෂව අධ්‍යාපනය සම්බන්ධ ධනාත්මකබාවයක් මෙම කාලය තුළ දැකිය හැකි වුවත් අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් ඉහළ නැංවීමට තවත් බොහෝ දෑ මෙම රජයට සිදු කිරීමට ඉතිරි වී තිබෙන බවයි. මෙහිදී වඩා වැදගත්වන්නේ තම දේශපාලන න්‍යායපත‍්‍ර පසෙකින් තබා අධ්‍යපනයේ ගුණාත්මකබාවය වෙනුවෙන් කටයුතු කළ හැකි පාලන තන්ත‍්‍රයක් හා ප‍්‍රතිපත්ති මාලාවක් රජය විසින් ඉදිරිපත් කළ යුතු වීමයි. නමුත් පෙනෙන්න තිබෙන ආකාරයට සමාජය විසින් විශාල පීඩනයක් එල්ල නොකලහොත් මෙම රජය ද රාජපක්ස රජය මෙන් අනාගතයේ කි‍්‍රයාකරනු නොඅනුමානය.

( ඉන්ෆෝම් අනුග්‍රහයෙනි)

Archive

Latest news

Related news