මාධ්‍ය නිදහස ඇති රටක දරුණු සාගතයක් හේතුවෙන් මිනිසුන් මියයාමට කිසිදු ඉඩක් තිබිය නොහැකි යැයි කීවේ නොබෙල් ත්‍යාගලාභී අමත්‍යා සෙන් ය. ඔහු ඉන් අදහස් කළේ මාධ්‍ය නිදහස සහතික කර ඇති රටක දරුණු සාගතයක් ඇතිවීමට ඉඩක් නැති බව නොවේ. එවැනි සාගතයක් ඇති වුවද ඒ නිසා නිරාහාරව මිනිසුන් මියයාමට තරම් ඉඩක් නැති බවයි. හේතුව ඉතා පැහැදිළිය. එනම් ඒ පිළිබඳ සියලූ තොරතුරු බාහිර ලෝකයට සන්නිවේදනය කිරීමට ජනමාධ්‍ය කටයුතු කරන නිසාය. එම තොරතුරු මත ලෝකයේ බොහෝ රටවල අවධානය නිතැතින්ම විපතට පත් එම ජනතාව වෙත යොමුවන නිසාය. වෙනත් විදියකට තේරුම් ගන්නේ නම් ශ‍්‍රී ලංකාව වෙත සුනාමි විපත කඩා වැදුණු මොහොතේ ඒ පිළිබඳව දැනගත් ලෝකයේ බොහෝ රටවල් ශ‍්‍රී ලංකීය ජනතාවගේ පිහිටට පැමිණියාක් මෙන්ය. මාධ්‍ය නිදහසේ ඇති වැදගත්කම තේරුම් ගත හැකි එක් වැදගත් මානයකට එය මනා නිදසුනකි.
රටක, ජනසමාජයක පැවැත්ම, සුරක්ෂිතභාවය හා සංහි`දියාව උදෙසා මාධ්‍ය නිදහස වැදගත්වන තරමටම වැදගත් භාවිතයක් ජනමාධ්‍ය ප‍්‍රජාව තුළ තහවුරු වී තිබිය යුතුය. ඒ ජනමාධ්‍ය තුළ පැවතිය යුතු සමාජ වගකීම් පිළිබඳ පිළිගැනීමයි. ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී අද ජනමාධ්‍ය නිදහස පිළිබඳ බලවත් ගැටලූවක් නැතත් ජනමාධ්‍ය සතු සමාජ වගකීම පිළිබ`දව නම් බලවත් අවධානයක් යොමුකිරීමට කාලය පැමිණ ඇත. එහිදී පුරවැසි සමාජය තේරුම් ගතයුතු වැදගත්ම දේ වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබඳව රටේ මූලික ප‍්‍රතිපත්ති හා බැඳියාව වැදගත් වන නමුත් ජනමාධ්‍ය සතු සමාජ වගකීම පිළිබ`ද මූලික බැඳියාව තිබිය යුත්තේ ත් එය තම භාවිතය තුළින් ප‍්‍රදර්ශනය කළයුතුව ඇත්තේ ත් ජනමාධ්‍ය කර්මාන්තය විසින් වන බවය. එහිදී වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට ඇත්තේ අසම සම වගකීමකි. වෙනත් ආකාරයකට තේරුම් ගන්නේ නම් ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමේ වගකීම ඒ ඒ රටවල රජය හා ආණ්ඩු විසින් බාරගත යුතුව ඇතත් ජනමාධ්‍ය සතු සමාජ වගකීම් පිළිබ`ද පූර්ණ බැ`දියාව හා භාවිතය ජනමාධ්‍යවේදීන් ද ඇතුළත් ජනමාධ්‍ය සමාජය විසින් භාරගත යුතුව ඇති බවය.
අද දිනයේ මේ ගැන විශේෂ අවධානයක් යොමුකිරීම සඳහා නිමිත්ත සපයන ලද්දේ පසුගිය දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුව ඇති සිසු ගැටුමකි. ඒ ගැන විශේෂයෙන්ම දකුණේ ජනමාධ්‍ය ප‍්‍රදර්ශනය කර ඇති පිළිවෙත ඊට මාස දෙකකට පමණ පෙර යාපන විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිසු ගැටුමේදී ජනමාධ්‍ය අනුගමනය කළ පිළිවෙත හා සපුරා පරස්පර බැවිනි. වඩා පැහැදිළි ලෙස සඳහන් කළහොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුව ඇති මෙම ප‍්‍රහාරය හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ දෙමළ හා මුස්ලිම් සිසුන් කණ්ඩායමකි. විශ්වවිද්‍යාල බලධාරීන්ම පිළිගෙන ඇති ආකාරයට පහර දී ඇත්තේ සිංහල සිසු කණ්ඩායමකි.
විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ප‍්‍රජාව අතර ආකල්ප, අදහස් හා මතවාද විවිධාකාර වියහැකි අතර එය එසේම වියයුතු බවද අවිවාදිතය. ඒ අනුව ගැටුම් නිර්මාණය වීම ද ස්වභාවිකය. එහෙත් ශිෂ්ට සම්පන්න සමාජයක මෙන්ම විශේෂයෙන්ම දැනුම ගවේෂණය කරන විශ්වවිද්‍යාල පරිසරයකදී එම ගැටුම් නිර්මාණය විය යුත්තේ ශාරීරිකව නොව අදහස් මතය. එහෙත් ඇතැම් විට එවැනි පරිසරයක් ද නිර්මාණය වියහැකිය. ඒ ගැන කිසිවෙකු පුදුම වියයුතු නැතිවාක් මෙන්ම එවැනි ප‍්‍රවනතාවයන්ට අනුබල දියයුතුද නැත. ඒ අනුව මෙම සිසු ගැටුම පිළිබඳව දකුණේ ජනමාධ්‍ය ප‍්‍රමුඛතාවයක් හෝ ඉස්මතු කළ අවධානයක් යොමු නොකළේ එම ප‍්‍රතිපත්තිය මත නම් ඒ පිළිබඳව කිසිවෙකුට ප‍්‍රශ්න කළ නොහැකිය.
එහෙත් මෙයට මාස කිහිපයකට පමණ පෙර යාපනය විශ්වවිද්‍යාලය තුළදී සිංහල සිසුන් කණ්ඩායමකට එල්ල වූ ප‍්‍රහාරයේදී මෙකී බොහෝ ජනමාධ්‍ය ක‍්‍රියාකර ඇත්තේ මීට වඩා සපුරාම වෙනස් ආකාරයටය. එම දිනවල එම සිදුවීම මේ රටේ ඇතැම් ජනමාධ්‍ය මගින් ඉස්මතු කිරීමට උත්සාහ කරන ලද්දේ එය සිංහල ජනතාවට එරෙහිව දෙමළ ප‍්‍රජාව වෙතින් එල්ල වූ ප‍්‍රහාරයක් ලෙසිනි. ඇතැම් පුවත්පත් එම සීමාව ද ඉක්මවා යමින් එය එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත නැගී සිටීමට දරන ලද ප‍්‍රයත්නයක් ලෙස හැදින්වීමට තරම් ඉදිරියට ගියහ. දෙපාර්ශවය අතර නැවත යහපත් සබඳතා ගෙඩනැගී සිංහල සිසුන් යළි අධ්‍යයන කටයුතු සඳහා යාපනය විශ්වවිද්‍යාලය වෙත පැමිණි අවස්්ථාවේදී පවා එක් පුවත්පතක් සිංහල සමාජය තුළ සමාජගත කිරීමට උත්සාහ කළේ බියකරු පණිවුඩයකි. අද එම පුවත්පත් ද ඇතු`එ දකුණේ සිංහල පාඨක හා ශ‍්‍රාවක සමාජය ඉලක්ක කරගත් ජනමාධ්‍ය බොහොමයක්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුගැටුම් පිළිබඳව දක්වා ඇති ආකල්පය තුළ සමාජයක් ලෙස අප තේරුම්ගත යුතුව ඇත්තේ කුමක්ද. ඒ මගින් ලබාදී ඇති පණිවුඩය කුමක්ද. අද රටේ මාධ්‍ය නිදහස පිළිබඳ බලවත් ප‍්‍රශ්නයක් නැතත් ජනමාධ්‍යයෙහි සමාජ වගකීම් පිළිබඳව ප‍්‍රශ්නයක් නම් ඇති බවය.
සමාජ වගකීමකින් තොරව භාවිතා වන ජනමාධ්‍ය සංස්කෘතියක් තුළ ඇති කරන ප‍්‍රතිවිපාක මේ රටේ දැනුවත් සමාජය විසින් අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය වේ. සමාජ වගකීමකින් තොර ජනමාධ්‍ය හැසිරීමක් තුළ විනාශය කරාගිය සමාජයන් පිළිබඳ ලෝක මට්ටමේ උදාහරණ ඕනෑ තරම් ඇතත් ඒ සියල්ලම පරයන අන්දමේ දේශීය අත්දැකීම් ද ඕනෑවටත් වඩා අප සතුව තිබේ.
ජනජීවිතයේ නිදහස හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබ`දව රටක් ලෙස අප මුහුණ දුන් අභියෝගයවල දී මෙන්ම යුද ගැටුම් හා අභ්‍යන්තර කැරළි හේතුවෙන් විනාශයට පත් දේපළ හා ජීවිත පසුපස ඇති කටුක යතාර්ථය තේරුම් ගැනීමේදී ඒ බව පසක් කරගත හැකිය. ඒ අනුව ජනමාධ්‍ය නිදහස උදෙසා මේ රටේ ජනතාව සිදුකළ අරගලයට සමාන සංකීර්ණ අරගලයකට පවා සූදානම් වීමට දැනුවත් සමාජයට දැන් කාලය පැමිණ තිබේ. ඒ සමාජයට වගකීමක් ඇති ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙනි.
සුනිල් ජයසේකර
2016-08-25