Monday, May 20, 2024

එරාජ් සමාව ඉල්ලුවා, අපි සමාව දුන්නා, ආසන සංවිධායක කරාට මම විරුද්ධ නැහැ – ජයතිලක බණ්ඩාර

( එරාජ් ප්‍රනාන්දු පොලිස් අත් අඩංඟුවේදී)

2014 වසරේ දෙසැම්බර් 23 වැනි දින ජනාධිපතිවරණය ආසන්න සමයේදී මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා විදීයේ විරෝධය ගෙන ගිය වැඩසටහනක් හම්බන්තොට නගර මාධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබියදී එයට සහභාගී වීමට පැමිණි ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසකට එවකට හම්බන්තොට නගරාධිපතිව සිටි එරාජ් ප්‍රනාන්දු ප්‍රමුඛ පිරිසක් විසින් පහරදේ. එවන් වාතාවරණයක යහපාලන රජය විසින් එරාජ් ප්‍රනාන්දුට බෙලිඅත්ත ආසනයේ සංවිධායක ධූරය පිරි නමයි.

මේ පිළිබඳව ප්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් දක්වන්නේ කුමන අදහසක්දැයි සමබිම කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “එරාජ් ප්‍රනාන්දුට බෙලිඅත්ත ආසනයේ ප්‍රධාන ආසන සංවිධායක ධුරය පිරි නැමීමත් එක්කම බොහෝ දෙනා ඒ ගැන මගෙන් විමසන්න ගත්තා. නමුත් ඒ විමසීම් වලට මට තියෙන්නේ සරල කෙටි උත්තරයක් නෙවෙයි. 2014 න් පස්සේ මට හම්බන්තොට කියන නම ඇහෙද්දීත් මතක් වුණේ කැති පිහි, මිනීමරු රෞද්‍ර ඇස්. ඒ මිලේච්ඡ පහර දීමෙන් පස්සේ මහා කම්පනයක් මට තිබුණේ. මම හිතන්නේ එදා එරාජ් පහර දුන්නේ මට හෝ මගේ සඟයන්ට විතරක් නෙවෙයි සත්‍යයට, යුක්තියට, සාධාරණත්වයට සහ නිදහසට කරපු පහර දීමක් විදිහට මම එය දකින්නේ”.

“මේ සම්බන්ධ කටයුතුවලට අපි අධිකරණයට යද්දී එද්දී මේ පිරිස අපිට හමුවුනත් මම මුණ බැලුවේ නැහැ. ඒ බයකටම නෙවෙයි මගේ මනුස්සකම් තව ඉතිරිකරගන්න ඕන නිසා. අධිකරණ කටයුතු සිදුවන අතරවාරයේ ඒ පාර්ශවයෙන් අපිට සාම සාකච්ඡාවලට ඇරයුමක් ආවා. අපි සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන්කම තිබුණා මේ ප්‍රශ්නේ සල්ලි අරන් ගොඩින් බේරගන්න. ඒත් අපි ඒ වෙනුවට තෝරගත්තේ කෙනෙක්ට ගැනීමට අපහසු මාර්ගයක්. දිර්ඝ සාකච්ඡාවලින් අනතුරුව සංහිඳියාවක් වෙනුවෙන් ඔවුන් ඔසවපු දෑත් අල්ලගන්න අපිත් එකඟ වුණා”. ඒ අපි ලග තිබුණ මනුෂ්‍යත්වය නිසා.

මෙම පහර දීම සම්බන්ධයෙන් ජයතිලක බණ්ඩාර ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹි අතර මේ වන විට එහි තත්ත්වය කුමක්දැයි අපි ඇසු පැනයට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරගේ පිළිතුර එය විය.

අපිට අවශ්‍ය වුණේ නැවත මෙවැනි සිදුවීම්, සිදුනොවීම පිළිබඳ තහවුරුවක්. කළ වැරද්දක් පිළිබඳ සමාව ගැනීම වන්දි ලබාගැනීමකට වඩා වැදගත්. අධිකරණ පරිශ්‍රයේදී මේ නඩුවට සහභාගි වෙලා බ්‍රිටෝ ප්‍රනාන්දුත් මමත් කතා කරමින් හිටපු තැනට එරාජ් අවිල්ලා කියනවා බ්‍රිටෝ සහෝදරයා, ජයතිලක සහෝදරයා මට සමාවෙන්න කියල”. ඒකයි හැමදේටම වඩා වැදගත් වුණේ. අධිකරණය මාර්ගයෙන් ඔහුගේ පාර්ශවය අපි සමඟ සාම සාකච්ඡාවලට එළැඹිම හුදු යාන්ත්‍රික කටයුත්තක් විය හැකිව තිබුණත් අපිට අවංකව අපේ හදවත්වලින්ම ඔහුට සමාව දෙන්න පුළුවන් වුණේ ඒ සමාව ගැනීම සමඟ.

වැරැද්දක් පිළිගත්ත මිනිහෙක්ට වෛර කරන්න කිසිම මිනිහෙක්ට අයිතියක් නැහැ. එහෙම කරනවා නම් ඒක දුර්වල කමක් හැටියටයි මම දකින්නේ. ඔහුට ආසන සංවිධායකකමක් දුන්නා කියන එක ගැන මට කිසිම තරහක් නැහැ. සමාව ගත්ත මිනිහෙක්ට සහ සමාව ලබපු මනුස්සයෙක් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වුනත් මට ඒ ගැන තරහක් නැහැ. එයට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඉදිරියේදී ඔහු යම් වැරැද්දක් කළොත් එතනදී අපි නැවතත් ඔහුට එරෙහි වෙනවා. නමුත් එතෙක් ඔහුට සමාව ලබපු මනුස්සයෙක් ලෙස නිවැරදි වෙන්න කාලයක් තියෙනවා. ඒක අහුරන්න අපිට බැහැ.

– සමබිම

Archive

Latest news

Related news