ශ්‍රි‍ ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පවතින සමාජීය අපේක්ෂාවන්ට අනුගත නොවන සංක්‍රාන්ති පුද්ගලයන් සහ අන් අය විෂම සැලකීම් හා අපයෝජනයට ලක් වන බව හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch ) ආයතනය විසින් අද නිකුත් කළ වාර්තාවක සදහන් වේ.

පසැගිලි සියල්ල ඒකාකාර නැත: ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ විෂම සැලකීම” නම් වූ පිටු XX කින් සමන්විත වාර්තාව මගින්, ස්ත්‍රී පුරුෂභාවී ප්‍රතිමානයන්ට අනුගත නොවන පුද්ගලයන් අත්තනෝමතික රදවාගැනීම, අයුතු ලෙස සැලකීම සහ රැකියා, ගේ දොර සහ සෞඛ්‍යය පහසුකම් සදහා ප්‍රවේශ වීමේදී විෂම සැලකීමට මුහුණ දෙන බව සොයා ගෙන ඇත. රජය විසින් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සහ සමාන විෂම සැලකීමට මුහුණ දෙන අන් අයගේ අයිතීන් ආරක්ෂා කළ යුතුය.

“සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවය හෝ ලිංගික දිශානතිය නොසලකා සියළුම ශ්‍රී ලංකිකයන්ට විෂම සැලකීමෙන් සහ අපයෝජනයෙන් තොරව සිය අයිතිවාසකම් භුක්ති විදීමට අවස්ථාව තිබිය යුතුය” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි සම ලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබද වැඩසටහනේ ගූර්බර් ශිෂ්‍යත්වධාරියකුවන (Gruber fellow) වන මෙම අධ්‍යයන වාර්තාවේ කර්තෘ යුවරාජ් ජෝෂි පවසයි. “රජය මෙම ගැටළු ආමන්ත්‍රණය කිරීම ආරම්භ කර ඇති අතර, සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස් කොට සලකන නීති සහ භාවිතයන් ඉවත් කිරීමට නොපමාව කටයුතු කළ යුතුය”.

මෙම අධ්‍යයනය සදහා ශ්‍රී ලංකාවේ නගර හතරක සිටින සම ලිංගික ස්ත්‍රීන් සහ පිරිමින්, ද්වී ලිංගික, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයන් 61 දෙනෙකු සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඇත. තමන් පොලීසියේ ලිංගික සහ ශාරීරික අපයෝජනයන්ට ලක් වී ඇති බව ඒ අතරින් දහසය දෙනෙක් ප්‍රකාශ කළහ. එම දහසය දෙනොගෙන් වැඩි ප්‍රමාණයක් සංක්‍රාන්ති පුද්ගලයන් හෝ පිරිමින් සමග ලිංගිකව හැසිරෙන පිරිමින්ය. පොලීසිය විසින් හේතුවක් නොමැතිව තමන්ව එක් වතාවක් හෝ රඳවාගෙන ඇති බව මෙම කණ්ඩායමෙන් අඩකට වඩා ප්‍රකාශ කළහ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති මගින් කැමැත්තෙන් සිදු වන සම ලිංගික හැසිරීම් තහනම් කර ඇත. සමාජීය ස්ත්‍රී පුරුෂභාවී ප්‍රතිමානයන්ට අනුගත නොවන පුද්ගලයන් සහ සමලිංගික, ද්වී ලිංගික, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා නොපැහැඳිලි ලෙස ලියා ඇති අයාලේ යාමේ පනත සහ “අනෙකකු ලෙස පෙනී සිටීම මගින් රැවටීමට එරෙහි නිතිය” ඇතුළු සෙසු නීති යොදා ගනී. අත්තනෝමතික රදවා ගැනීම සහ අයුතු ලෙස සැලකීම ඇතුළු තමන් මුහුණ දෙන නිරන්තර පොලීස් හිරිහැර හේතුවෙන්, රජයේ ආයතන පිළිබද විශ්වාසය සෝදා පාළුවට ලක් වී ඇති බවත් එමනිසා අපරාධයක් වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඇතැම් සංක්‍රාන්ති කාන්තාවන් සහ පිරිමි සමග ලිංගිකව හැසිරෙන පිරිමි කියා සිටියහ.

“මං වගේ කෙනෙක්ව ඒ ගොල්ලෝ ආරක්ෂා කරන්නේ නෑ”, යනුවෙන් කොළඹ සිටින 25 වියැති සංක්‍රාන්ති සමාජභාවයක් සහිත කාන්තාවක් වන “ෆාතිමා” කියා සිටියේය. 2012 වසරේදී මැරයන් විසින් ඇයට පහර දීමෙන් පසු ඇය පොලීසියට ගියේ නැත.

සෞඛ්‍යය සේවා ලබා ගැනීමේදී ද සංක්‍රාන්ති පුද්ගලයන් වෙනස්කොට සැලකීම් වලට මුහුණ දේ. මානසික රෝගීන් ලෙස ලේබල් කිරීම, අමතර ප්‍රශ්න ඇසීම හා වෛද්‍ය කාර්ය මණ්ඩල විසින් පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම, සහ ඇතැම් වෛද්‍යකාර්ය මණ්ඩල සංක්‍රාන්ති පුද්ගලයන්ට සාත්තු කිරීමට පසුබට වීම ආදිය ඒවා අතර වේ. තමන්ගෙන් අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්න ඇසූ රජයේ රෝහල් සහ සායනවල කාර්ය මණ්ඩලය පිළිබද සිහිපත් කරමින් “එයාලගේ වචන ඉදිකටු වලටත් වඩා තියුණුයි.” යනුවෙන් සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුරුෂයෙක්, පැවසුවේය.

මෙම නින්දා අපහාස සිදු වන්නේ පුළුල් නෛතික රාමුවක් තුළය. එනම්, හිරිහැරකාරී තත්වයන්ගෙන් තොරව සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුද්ගලයන්ගේ සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවය පිළිගැනීමට අපොහොසත්; කැමැත්ත මත සිදු වන සම ලිංගික හැසිරීම් දණ්ඩනීය වරදක් බවට පත් කරන; සහ රජයේ නිලධාරීන්ට සහ තනි පුද්ගලයින්ට සම ලිංගික, ද්වී ලිංගික, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික පුද්ගලයන් විවිධ ආකාරයෙන් අපයෝජනයට ලක් කිරීමට ඉඩ සලසන නෛතික රාමුවක් තුළය.

“සම ලිංගික ද්වී ලිංගික, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික ප්‍රජාවට අවශ්‍ය වන්නේ අපව ආරක්ෂා කරන නීති මිස අපට හානි කරන නීති නොවේ.” ක්‍රියාකාරිනියක් සහ සම ලිංගික ද්වී ලිංගික, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිවාචනය කරන ශ්‍රී ලාංකීය ක්‍රියාකාරිනියක් සහ කොළඹ-පිහිටි සමූහයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ ආරම්භක රොසෑනා ෆ්ලේම කල්දේරා කියා සිටියාය. “විෂම ලෙස සලකන නීති ඉවත් කොට අපගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇතැයි නව රජයෙන් අප බලාපොරොත්තු වෙනවා. අප සමග විවෘත සාකච්ඡාවක නිරත වන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතියෙහි, නීතිමය ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සදහා පැහැදිලි මාර්ගයක් නැති බව හියුමන් රයිට්ස් වොච් පැවසීය. සංක්‍රාන්ති පුද්ගලයන්ට සිය කැමැත්ත පරිදි ස්වකිය නම සහ සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් ජාතික හැදුනුම්පතක් හෝ සෙසු රාජකාරි ලියකියවිලි ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. එබැවින් ඔවුන් නිරන්තර අවමානයට මුහුණ දෙන පරීක්ෂාවන්ට ලක්වෙයි.

රැකියාවක් සදහා සම්මුඛ සාකච්ඡාවකදී පළමුවෙන්ම අසන්නේ ඔහුගේ සුදුසුකම් පිළිබදව නොව ස්ත්‍රී පුරුෂභාවය පිළිබදව බව කොළඹ සිටින 40 වියැති සංක්‍රාන්ති සමාජභාවයක් සහිත පුරුෂයෙකු වන “ක්‍රිෂාන්” ප්‍රකාශ කළේය.

සෞඛ්‍යය අමාත්‍යංශය, ජාතික මානව හිමිකම් කොමිසම සමග එක්ව, සංක්‍රාන්ති පුද්ගලයන්ට ඔවුන්ගේ ලේඛණවල ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගැනීමට පහසුකම් සලසන ක්‍රියා පටිපාටියක් යෝජනා කර ඇත. ඒ සඳහා මානසික සෞඛ්‍යය වෘත්තිකයෙකු ගේ රෝග විනිශ්චයක් අවශ්‍ය වේ. මෙය ඉදිරිගාමී පියවරක් ලෙස සැලකිය හැකි වුවත්, මනෝ චිකිත්සක රෝග විනිශ්චයකින් හෝ වෛද්‍ය ප්‍රතිකාර හෝ ක්‍රියාපටියකින් තොරව ඔවුන්ට සියළු ලේඛනවල සමාජීය ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කර ගැනීමට අදාල ආයතන විසින් අවස්ථාව සැලසිය යුතු බව හියුමන් රයිට්ස් වොච් පවසයි.

සමාජීය ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවය හෝ ලිංගික දිශානතිය නොසලකා සියළුම ශ්‍රී ලංකිකයන්ට විෂම සැලකීමෙන් සහ අපයෝජනයෙන් තොරව සිය අයිතිවාසකම් භුක්ති විදීමට අවස්ථාව තිබිය යුතුය. – Yuvraj Joshi

රාජ්‍ය නොවන අයගෙන් ද රජයේ නිලධාරීන් සහ නියෝජිතයින්ගෙන් ද යන දෙපාර්ශවයෙන්ම වන ප්‍රචණ්ඩත්වයෙන්ගෙන්, විෂම සැලකීමෙන් සහ වෙනත් ආකාරයේ අපයෝජන වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමට බැඳුනු අන්තර් ජාතික මානව හිමිකම් ගිවිසුම් ශ්‍රී ලංකාව අපරානුමත කර තිබේ.

සිය රාජකාරි ලියවිලි වල සමාජීය ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කර ගැනීම සදහා පහසුකම් සලසන සරල සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රියා පටිපාටියක් හදුන්වා දීමට රාජ්‍ය අපොහොසත් වීම ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවට ඉහළ යන පිළිගැනිමක් තිබේ. “නින්දා සහගත පටිපාටියකින් තොරව සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂභාවී අනන්‍යතාවයට නෛතික පිළිගැනීමක් ලබා දීම” සහතික කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ්හි සිට ලෝක ආහාර වැඩසටහන දක්වා වූ ආයතන 12ක් විසින් 2015 දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී.

“තමන්ගේ අනන්‍යතාවයට නොගැලපෙන ලිංගිකත්වයක් හෝ ස්ත්‍රී පුරුෂ භාවයක් සහිත ලියකියවිලි රැගෙන යන සෑම පියවරකදීම අප බාධක වලට මුහුණ දෙනවා.” කොළඹ සිටින සංක්‍රාන්ති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරිනියක් වන භූමි හරේන්ද්‍රන් කියා සිටියාය. “වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස අපට පවසන්නේ නැතිව අපේ අනන්‍යතාවය පෙන්නුම් කරන ලියකියවිලි නිකුත් කිරීමට ශ්‍රී ලාංකික අධිකාරීන් ආරම්භ කරන්නේ නම් එම ලියකියවිලි කිහිපය අපේ ජීවිතය ඉතා ගැඹුරින් වෙනස් කරාවි.”

– HRW