Monday, May 20, 2024

නෑසී ගිය හඬ: ‘‘එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට‘‘ – ප්‍රියත් ලියනගේ

(එල්මෝ ප්‍රනාන්ද්‍ර)

සංදේශය යනු එල්මෝ ප්‍රනාන්දු යි, එල්මෝ ප්‍රනාන්දු යනු සංදේශයයි! බී බී සී ලෝක සේවයට සවන් දුන් ලක්ෂ සංඛ්‍යාත අසන්නන් පිරිසකට ‘බී බී සී ලෝක සේවයේ සංදේශය’ සමග නිරායාසයෙන් මුවඟ රැඳුනු අනෙක් පාඨය ‘එල්මෝ ප්රනාන්දු කොළඹ සිට’ යන්නයි.

එතෙක් බ්‍රිතාන්‍යය  ස්වදේශිකයන් ට සීමාවී තිබු සිංහල සේවයේ අධිපති පදවියට, මින් විසි පස් වසරකට පෙර දී මා පත් වූ අවස්තාවේදී සිට මා හා සේවය කරමින් වරෙක මගේ සගයා, මිතුරා, මඟ පෙන්වන්නා, සොහොයුරා මෙන්ම තවත් වරෙක පියෙකු මෙන් මා රකින්නට, දිරිමත් කරන්නට ඉදිරිපත් වූයේ එල්මෝ ප්‍රනාන්දුයි. සියලු දෙන පිටුපා හුදෙකළාව සිටි අතිශය දුෂ්කර මොහොතක පවා නොපැකිළ විශ්වාශයෙන් හා ලෙන්ගතු බවෙන් මා හා ගමන් කල එල්මෝ තම වෘත්තීය ගෞරවය කිසි දිනෙක පාවා නොදුන් දුර්ලභ වර්ගයේ අවංක පුද්ගලයෙකි.

කිසි දිනෙක මුදලට බලයට හිස නොනැමූ එල්මෝ මාධ්‍ය හමුවක අවසන පැවැත්වෙන තේ පැන් සංග්‍රහයට වුව සහභාගී නොවුනේ ඔහු සතුව තිබු සුවිශේෂ ආචාර ධර්ම පද්ධතියකට අනුකුල වෙමිනි. එල්මෝ ගේ ආචාර ධර්ම පැවතියේ බී බී සියට වඩා ඉහලිනි. කිසි විටෙක කිසිවෙකුගෙන් උපකාරයක් වරප්‍රසාදයක්  නොඉල්ලූ ඔහු, තම ආත්ම ගරුත්වයත් වෘත්තීය ගරුත්වයත් රැකගත් හිතුවක්කාර ආඩම්බර කාරයෙකි. ආයතන, අමාත්‍යංශ  වලින් ලබාදුන් භෝජන සංග්‍රහ, මධු පැන් සාද වලට සහභාගී නොවූ එල්මෝ දිවා භෝජනයට ගෙදෙර ගියේ, කිසිවකුට ණය ගැති නොවී තම රාජකාරිය කිරීමේ දැඩි ප්‍රතිපත්තිය අනුගමණය කරමිනි.

බලයට, මුදලට, හිතවත්කමට මෙන්ම තර්ජනයට යට නොවූ එල්මෝ ප්‍රනාන්දු  අභීත මාධ්‍යවේදියෙකි. නිසලව ජන මෙහෙවරේ යෙදුනු ඔහු, පුවතක සැර බාල කරන්නට හෝ වාර්තාවක් ප්‍රචාරය නොකරන්නට යොමුවූ එකම හේතුව එම පුවතින්  තවත් අයෙකුට ජීවිත අනතුරක් එල්ලවීමේ අවදානමක් ඇතිවීමයි. මරණ තර්ජන, ඝාතන තැත්, සමහර විටෙක පහර දීම් වලට පවා  මුහුණ  දෙමින්, නොසැලී සමබරව පුවත් ගෙන ඒමට එල්මෝ සතුව ඇති සංයමය දුර්ලබ ගුණාංගයකි. බලවත් දේශපාලන නායකයින් පැවැත්වූ මාධ්‍ය හමුවලදී අනෙක් මාධ්‍යවේදීන් බලා සිටින්නේ තමන්ට ඇසිය නොහැකි හරස් ප්‍රශ්නයක් එල්මෝ ඉදිරිපත් කරන තුරුයි.

ශ්‍රී ලංකාව පුරා විහිද සිටින සංදේශයේ වාර්තාකරුවන් බලා කියාගනිමින් දුක සැප සොයා බැලූ  එල්මෝ, ඔවුනගේ දුක් ගැනවිලි, අවශ්‍යතා ලන්ඩන් කාර්යාලයට ඉදිරිපත් කිරීමේ කටයුත්තේ නිරත වුනේ දැඩි උද්යෝගයෙනි. සංදේශය පවුලේ සාමාජිකයන් වූ ඔවුනගේ උපකරණ, ආරක්ෂාව, ගෙවීම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් බල කර මින් කරදර කිරීම නොපැකිලිව සිදු කිරීම ඔහුගේ සිරිතයි. ඔවුනට උපදෙස් ගුරු හරු කම් දෙමින් පියෙක්, ගුරුවරයෙක්, සොහොයුරෙක් මිතුරෙක් ලෙස අත හිත දුන්නේ  එල්මෝයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක පරිපාලනය සමයේ උතුරේ දේශපාලන නායකත්වයේ අණ පරිදි සංදේශයේ  නිමලරාජන් ඝාතනය කල අවස්තාවේදී, මරණ තර්ජනයට මුහුණදී සිටි නිමලරාජන් පවුලේ දෙමාපිය දූ දරු සියලු දෙන ආරක්ෂා කිරීමට එල්මෝ ඉදිරිපත් වුනේ තමනට එල්ලවූ මරණ තර්ජන අනතුරු නොතකමිනි. මෙවැනි  තැනෙක එල්මෝ නිර්භීතව කටයුතු කලේ ආයතනයේ හෝ තම තනතුරේ සීමා ඉක්මවමිනි.

වරින් වර ශ්‍රී ලංකාවට පත්වී ආ විදේශීය මාධ්‍ය වේදීන් රැකබලා ගනිමින් ඔවුන්ගේ මාර්ගෝපදේශකයා වූ එල්මෝ, ඔවුන් කරදරයක පැටලුනු සැමවිට පිහිට වුයේ කිසිදු පැකිලීමකින් තොරවයි. සෑම අඟහරුවාදාවක ශාන්ත අන්තෝනි මුනිඳුන් වන්දනාවට පල්ලි ගිය එල්මෝ භක්තිමත් කතෝලිකයෙකි. කොළඹ බී බී සී වාර්තාකරු ජෝර්ජ් ආර්නි බෞද්ධ විහාරස්ථානයක බුදු රුවකට අපහාස කිරීමේ චෝදනාවට ලක්වූ අවස්ථාවේ ඔහු වෙත උපේක්ෂා සහගතව කටයුතු කිරීමට විහාරාධිපති හිමියෝ නම්යශීලී වූයේ එල්මෝ පිළිබඳ එහිමි තුල තිබූ විශ්වාශය හේතුවෙනි.

එල්මෝ ප්‍රනාන්දු පිළිබඳ සටහනක සඳහන් විය යුතු දෑ අපමණය. විකට නම් පටබැදීමේ ශූරයෙකු වූ ඔහු, විහිළුවට උගුල් ඇටවීමේ කප්පිත්තෙකි. කොතැනදීත් ආදරයටත් ගෞරවයටත් ලක්වන එල්මෝ වරක් මුණගැසුණු අයෙකුට අමතක නොවන අපූරු චරිතයෙකි. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වරයා හිමිදිරි යේ එල්මෝ අපහාසයට ලක් කිරීම අරඹන විට තම රැකියාවට එළඹිය හැකි අනතුරු නොතකමින් ඒ පිළිබඳ එල්මෝ වෙත දැනුම් දුන්නෙත් එම වසුරු පටිගත කර එල්මෝ වෙත ලබා දුන්නෙත් සංස්ථාවේ සේවය කල ඔහුට ආදරය කල පිරිස් විසිනි.

එල්මෝ ගේ චරිතාංග තුල මා අපහසුවට පත් කල සුවිශේෂී ගුණය ඔහුගේ හිතුවක්කාර කමයි. නව තාක්ෂණයට මෙන්ම පෙරළිකාර අදහස් වෙතට එල්මෝ කැඳවාගෙන යාම අරගලයක් වූ අවස්ථා අපමණය. යම් අදහසකට හෝ පියවරකට අකැමැති නම් නිහඬ වීම එල්මෝ භාවිතා කල ප්‍රභල අවියකි. නව පියවර වෙත පරෙස්සමින් පිවිසෙන ඔහු, සුළු කාලයක් තුල තරුණ පිරිසට වැඩි ජවයකින් එම කටයුත්තේ නියැලෙන අයුරු නිසැකව සිදුවන්නකි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිලිබඳ වාර්තාකරණයේ සමබර බව රැකීමේ සංවාදයට ප්‍රභල හඬක් එක්කළ ඔහු, කුළ භේදය, ජාතිවාදය, දුෂණය, භීෂණය, සඟ සසුනේ අර්බුධ මෙන්ම ක්‍රිස්තියානි පල්ලියේ අපචාර අළලා අප සකස් කළ පෙරළිකාර වැඩ සටහන් සියල්ලේ කොටස්කරුවෙක් වූයේ තරුණ ජවයක්, උද්යෝගයක් ඇති පුරෝගාමී මාධ්යවේදියෙකු ගේ සියලු ලක්ෂණ ව්දහා පාමින්ය.

තවත් කෙනකුගේ ආදායමට හෝ තනතුරකට පහර වදින බවට යම් තරමක හෝ සැකයක් ඇති වුවහොත් අදාළ කාර්යය ඉටු කිරීම මඟ හැර සිටීම එල්මෝ ගෙන් ඉදිරිපත් කෙරුණු අනෙක් කරදරයයි. බී බී සී යට කොළඹ සිට ඉංග්‍රීසි බසින් වාර්තා කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේ තවත් කෙනෙකු සොයා ගන්නා ඩොලර් කීපයට එයින් පහර වදින බව ප්‍රකාශ කරමිනි. අනෙකාගේ බඩට නොගැසීමේ හිතුවක්කාර ප්‍රතිපත්තිය හේතුවෙන් එල්මෝ වෙත ලැබුණු අවස්ථා ගිලිහී ගිය අන්දම දැක කළබල නොවීම ඔහු සතු උතුම් ගුණයකි. වෘත්තීය කටයුතු මෙන්ම පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් එල්මෝ ගේ උපකාර ලැබුවෝ බොහෝය.

එල්මෝ ප්‍රනාන්දු  සේවය කල සංදේශය තරම් රට හෙල්ලූ විදේශීය වැඩ සටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ තවත් ඇත්තේ නැත. සංදේශය ට රටේ ජනගහනයෙන් සියයට විස්සකට ආසන්න පිරිසක් මෙන්ම විදේශගත සුවහසක් සවන් දෙද්දී ඔවුන් වෙත මව් බිමේ උණුසුම් පුවත් රැගෙන ආ රණ හඬ ඔහුය. යුද්ධය උත්සන්න දිනෙක සංදේශය ප්‍රවෘත්ති අඩ පැයක වෙඩි මුරයකි. එම ප්‍රහාරයේ ප්‍රධාන වෙඩික්කාරයා එල්මෝ ප්‍රනාන්දුය.

ගගන තලය සිසාරා එල්මෝ ගේ හඬ ගලා ආයේ තත්පරයට වෙඩි සියයක් පිට කල මැෂින් තුවක්කුවක් මෙනි.

තවත් විටෙක ඒ හඬ ලයාන්විතව ඔබ වෙත ඉදිරිපත් වන්නේ සොඳුරු රස පිරි කලාත්මක විශේෂාංගයක් ගෙන එමිනි.

එල්මෝ ගේ පිලේ නායකත්වය ඉසිලීමට ලත් අවස්තාව මා ලත් භාග්‍යයයෙකි. සංදේශයේ සංස්කාරක තනතුර මා සතුව පැවැතියත් සංදේශය එල්මෝ ප්‍රනාන්දුගේ ගේ වැඩ සටහනයි. දකුණේ භීෂණයත් උතුරේ යුද්ධයත් වාර්තා කරමින් නිතිපතා දිවි පරදුවට තැබූ එල්මෝ හා සේවය කිරීමට ඉඩ ලැබීම වාසනාවකි.

බී බී සී සංදේශයේ එක් යුගයක් නිමා කරමින් එල්මෝත්, මමත් එයින් සමුගනිමු. අපි හොඳ වැඩක් කළෙමු. ඒ හොඳ වැඩය කරගෙන යද්දී සැම දිනෙක මා කාර්යාලයට පැමිණ ප්‍රථම  දුරකථන ඇමතුම දුන්නේ එල්මෝ ප්‍රනාන්දුටය. වැඩ සටහන  නිමාවී සවස ඔහු අමතන්නේ ගුණ දොස් විචාරීම සඳහායි. අවංකව විචාරයේ යෙදෙන එල්මෝ කිසිවක් නොබැන නිහඬ වන්නේ අපි වැඩේ වරද්දා ගත් දිනෙකදී පමණි.

එල්මෝ නිහඬ වී සිටීම වඩා ප්‍රබල වන්නේ එහෙයිනි. නිහඬ බව බිඳිමින් එල්මෝ පොතක් ලියා ඇත. එය ඉතා හොඳ වැඩකි. වචන කිහිපයකින් හෝ එයට දායක වීමට ඉඩ ලැබීම මා ලද භාග්‍යයකි.

එල්මෝ, අපි ඉදිරියේදීත් තව හොඳ වැඩ කරමු!

– LNW

Archive

Latest news

Related news