Thursday, May 2, 2024

දොන් ජුවන් ආපසු හැරවීම – සුනිල් ජයසේකර

2015 ජනවාරි 8 වනදා ශ‍්‍රී ලංකාවේ අතිමහත් ජනතාව විසින් ලබාගත් දැවැන්තම ජයග‍්‍රහණය කුමක්විය හැකිද? එය අප අපගෙන්ම අසාගත යුතු වැදගත් ප‍්‍රශ්නයකි. නිසැක වශයෙන්ම එය එක් එක් අයට එක් එක් ආකාරයෙන් විග‍්‍රහ කළ හැකිය. ඒකාධිපති ගමනක ආපසු හැරවුමක් ලෙස, ශ‍්‍රී ලංකාව නැවතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වීමක් ලෙස, දේශපාලන නිදහස අහිමිවීම තුළ බියෙන් හා සැකයෙන් යුතුව ගෙවූ යුගයක අවසානයක් ලෙස, පවුල් පාලනයට නිමාවක් ලෙස යනාදි වශයෙන් එය බොහෝ දෙනෙකු විසින් එක් එක් ආකාරයට අර්ථ දක්වනු ඇත. ඒ සියලූ කරුණු අතරෙහි රටක් ලෙස අප ලබාගත් දැවැන්තම ජයග‍්‍රහණය අද පවා බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවීම එක් අතකින් කණගාටුදායකය.

සත්‍යවශයෙන්ම 2015 ජනවාරි 8 වනදා ශ‍්‍රී ලංකාවේ දැවැන්ත දේශපාලන පරිවර්තනය තුළ සිදුවූ ප‍්‍රමුඛතම වැදගත් කාර්යය වන්නේ ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරිභාවයට සිදු කිරීමට ගිය දැවැන්තම හානිය එමගින් ආපසු හැරවීමය. ඉතා පැහැදිළි ලෙස කියන්නේ නම් දොන් ජුවන් ධර්මපාල රජුගෙන් පසුව ශ‍්‍රී ලංකා භූමියේ කොටසක් විදේශ ආධිපත්‍යයකට කළ පවරා දීම අවලංගු කරගැනීමය. එනම් පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරය තුළ ශ‍්‍රී ලංකාවේ භූමි කලාපයට අයත් නොවන බිම් කොටසක් නිර්මාණය වීම වැළැක්වීමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරය තුළින් සැලසුම් කරන ලද්දේ දැවැන්ත ව්‍යාපෘතියක් බව සැබෑවකි. අති දැවැන්ත මුදල් කන්දරාවක් ඒ හරහා හුවමාරු වන්නට ඇති බවද සත්‍යයකි. ලෝකයේ ඉදිරියට එන බලවත්ම රාජ්‍ය සමග දැවැන්ත ආර්ථික හා දේශපාලනික බැදීමක් ඒ තුළ ගැට ගැසී පැවති බවද ඇත්තකි. එහෙත් එහි ඇති තිත්තම තිත්ත ඇත්ත වන්නේ පෝට් සිටි හෙවත් වරාය නගරයේ ඉදිවීමට නියමිතව තිබූ අක්කර හයසිය හැත්තෑ දෙකක් තරම් දැවැන්ත භූමි භාගයක් සදාකාලිකවම ශ‍්‍රී ලංකාවට අහිමි කිරීමට ඒ තුළ එකඟත්වයක් ඇතිකරගෙන තිබීමය. ජනවාරි 8 වෙනස සිදුනොවන්නට එය එසේම සිදුවන්නට ඉඩතිබූ අතර එය එසේ වූයේ නම් ශ‍්‍රී ලංකාවට අයිති නැති දැවැන්ත භූමි භාගයක් ශ‍්‍රී ලංකා ධරණී තලයට යාවී පවතින්නට ඉඩ තිබුණි.

එම දැවැන්ත අනතුර තුරන් වූයේ යහපාලනය උදෙසා පෙනීසිටි ජනතා බලවේග පසුගිය ජනාධිපතිවරණයට පෙර දැඩි ලෙස අවධාරණය කළ පරිද්දෙන්ම කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම සංශෝධනයට ලක්කිරීම මගිනි. ඒ අනුව කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට අදාළව චීන සමාගමට කිසිදු ඉඩමක් සින්නක්කර පදනම යටතේ ලබා නොදීමට රජය තීරණය කර ඇත. එමෙන්ම වරාය නගරයට අවශ්‍ය වන ඉඩම් ප‍්‍රමාණය නීත්‍යානුකූල ලෙස බදු පදනම යටතේ පමණක් ලබා දීමට ද තීරණය කර තිබේ.

කැබිනට් ප‍්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ මාධ්‍යට දැනුම් දෙන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කර ඇති පරිදි මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කළ ආකාරයට මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූයේ නම් එය ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරීභාවයට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාවට පවා තර්ජනයක් වීමට ඉඩකඩ නිර්මාණය කිරීමක් විය හැකිව තිබිණි. මුල් ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය රජයේ බලවත් විරෝධය පළවීමට හේතුව වූයේ ද එයයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කළ පරිදි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අවසන් වූයේ නම් වරාය නගරය ඉදිකරන භූමිය ශ‍්‍රී ලංකාවට අයත් නැති භූමි භාගයක් වනු ඇත. එම භූමි භාගය ලංකාවේ සිතියමට අයත් නැති භූමි භාගයක් ද වනු ඇත. නියත වශයෙන්ම ඒ මත ලෙළ දීමට නියමිතව තිබුණේ වෙනත් රටක ජාතික කොඩියකි. මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමෙන් චීන ජනාධිපතිතුමා අතින් වරාය නගරයට මුල්ගල තබන උත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ජාතික කොඩිය එසවීමට ඉඩ නොදීම ඒ සඳහා දැක්විය හැකි බලවත් සාක්ෂියකි.

එහෙත් වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිමය තීරණයක් අනුව පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළ ගිවිසුම සංශෝධනය කිරීමට චීන රජය මෙන්ම අදාළ චීන සමාගම එකඟත්වය පළකිරීම ශ‍්‍රී ලංකාවට අදාළව සැලකීමේදී ඉතා වැදගත් පියවරකි. පෙර ගිවිසුමෙහි අන්තර්ගතව තිබූ කොන්දේසි වල බරපතළකම අනුව ද අති දැවැන්ත චීන ආයෝජනයන් මත මෙම ව්‍යාපෘතිය නිර්මාණය වී තිබීම ද, ලෝක දේශපාලනය තුළ ආර්ථික හා දේශපාලනික වශයෙන් චීනය අත්පත් කරගෙන සිටින දැවැන්ත භාවය අනුව ද ශ‍්‍රී ලංකාවට අවාසිදායක තත්වයක පැවති පෝට් සිටි මුල් ගිවිසුම කිසිදු සංශෝධනයකට හෝ ලක්නොවනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබිණ. එහෙත් වර්තමාන ශ‍්‍රී ලංකාවේ මැදිහත් විදේශ පිළිවෙත සහ අවංක මෙන්ම සාධාරණ අභිලාෂයන් තුළ එය බලවත් පරිවර්තනයකට යොමු කරන්නට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව බලන කල එය සැලකිය හැක්කේ ජනවාරි 8 ජනතා බලවේග මෙන්ම රටක් ලෙස අප ලබාගත් දැවැන්තම ජයග‍්‍රහණයක් ලෙසය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news