ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාව මේ වනවිටත් ඇරඹී තිබේ. පාද යාත‍්‍රා පිළිබඳව ලෝක ඉතිහාසය තුළ ද ශ‍්‍රී ලංකාව තුළ ද ඇත්තේ ගරු කටයුතු පූජනීය මතක සටහන්ය. 1930 වසරේදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මහත්මා ගාන්ධි මෙහෙයවූ ලූණු පාගමන, ඓතිහාසික චීන මහා විප්ලවයට මුල පුරමින් මා ඕ සේතුන්ගේ නායකත්වය යටතේ සිදුවූ සැතපුම් 6000 ක මහා පාද යාත‍්‍රාව ඒ සඳහා දැක්විය හැකි අනුස්මරණීය ජාත්‍යන්තර නිදසුනක්ය. ලංකාවේ නම් 1993 වසරේදී එවකට හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් කොළඹ කතරගම පාද යාත‍්‍රාව ස`දහන් කළහැකිය.
පෙර සඳහන් කළ ගාන්ධිගේ මහා පාගමන අද පවා භාරත ජනතාව පූජනීයත්වයෙන් යුතුව අනුස්මරණය කරන්නේ එය අධිරාජ්‍යවාදයට එරෙහිව ද භාරතයේ නිදහස උදෙසාද සිදුකළ දැවැන්ත අවිහිංසාවාදී අරගලයක් ලෙසිනි. මා ඕ සේතුන්ගේ දීර්ඝ පාගමන ද 1912 වසරේදී අවසන් කළ චීන රාජාණ්ඩු යුගයෙන් අනතුරුව බිහිව පැවති පරගැති, දූෂිත රාජ්‍ය පාලනයකට එරෙහිව සිදුකළ දැවැන්ත මහජන ක‍්‍රියාන්විතයක් විය. එවැනි දැවැන්ත ක‍්‍රියාන්විතයන්ට සාපේක්ෂව 1993 වසරේදී පැවති කොළඹ කතරගම පාද යාත‍්‍රාව පුංචි උත්සාහයක් වුවද ලංකාවට අදාළව සලකා බැලීමේදී එය යුක්ති සහගත දේශපාලන අරගලයක් ලෙස සැලකිය හැකිය.
1993 කොළඹ කතරගම පාද යාත‍්‍රාව මෙහෙයවනු ලැබුවේ එවකට පැවති රජයට වසර 16ක කාලයක් ඉඩකඩ ලබාදීමෙන් අනතුරුවය. එදා ජනාධිපති ධුරයේ කටයුතු කළ ආර්.පේ‍්‍රමදාස මහතාට ඔහු ලද ජනවරම වසර හතරක්ම භාවිතයට ගැනීමට ඉඩකඩ ලබාදීමෙන් අනතුරුවය. එපමණක් ද නොව අදහස් පළකිරීමේ නිදහසක් නැති පරිසරයක විවියන් ගුණවර්ධන මහත්මියට කළ පහරදීම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට කාණු පල්ලක දමා සිදුකළ මිලේච්ඡ ප‍්‍රහාරය, ජූලි වැඩ වර්ජනය හමුවේ දහස් සංඛ්‍යාත කම්කරුවන් පිරිසක් මහමඟට ඇද දමා පැවති යුගයකදී මෙන්ම වෘත්තීය සමිති කි‍්‍රයාධරයෙකු වූ සෝමපාල සහෝදරයා ඝාතනය කරමින් මේ රටේ වැඩකරන ජනතාව භීතියට පත්කර සිටි යුගයකදී ය. මෙවර පාද යාත‍්‍රාවට එක්වන බව කියන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නාරහේන්පිට අභයාරාමයේදී සරසවි සිසු ජීවිත දෙකක් එවකට පැවති ආණ්ඩුව බිලිගෙන සිටි පසුබිමකය. 88 – 89 යුගයේදී දස දහස් ගණනක තරුණ ජීවිත අමුඅමුවේ ඝාතනය වී ඇති හෝ අතුරුදන්ව සිටි යුගයක ය. එමෙන්ම එදා පාද යාත‍්‍රාව මගින් සමාජ විරෝධයක් ගොඩනැගීමට දැවැන්ත සටන්පාඨ කිහිපයක් ද විය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, මානව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් සඳහා බලකිරීම හා උතුරට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනීසිටීම වැනි දේශපාලන අභිලාෂයන් ද ඒ තුළ ඉස්මතු විය.
ඒ අනුව එදා මහින්ද රාජපක්ෂ ජනතා බලමුළු පාරට ගෙනාවේ යුක්ති සහගත අරමුණක් පෙරදැරි කරගෙනය. ඒ සඳ ජනතාව ද පෙරමුණ ගත්තේ ස්වෙච්ඡුාවෙනි. තම අතින් වියදම් කරගත් මුදලින් එකිනෙකා තුළ වූ උනන්දුව මත ඒ සඳහා ඇදී ආවා මිසක දූෂිත පාදඩ දේශපාලකයන්ගේ අනුග‍්‍රහයක් හෝ කලු සල්ලි ජාවාරම්කරුවන්ගේ පෙළඹවීම මත ඊට කිසිවෙකු සහභාගී වූයේ නැත. එහෙත් අද මේ එන පාද යාත‍්‍රාවට ඒ ස`දහා දැක්විය හැකි යුක්ති සහගත හේතු සාධක හෝ පවිත‍්‍ර දේශපාලන අරමුණක් පවතින්නේද යන්න සමාජයක් ලෙස අප ගැඹුරින් සලකා බැලිය යුතුව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා අද තම අනුගාමිකයන් මෙහෙයවන්නේ මෙයට වසර එකහමාරකට පෙර ලක්ෂ හැට දෙකක ජනවරමකින් බලයට පත්කරනු ලැබූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවය. තවමත් වසරක් සම්පූර්ණ වී නැති ආණ්ඩුවකට එරෙහිවය. මේ රටේ ජනතාව ලක්ෂ හැට දෙකක් අපේක්ෂා කළ අරමුණු පරාජයට පත්කරන්නට පෙළගැසී ඇති මෙම කණ්ඩායම අද ඉටුකරවා ගන්නට මාන බලන්නේ ජනවාරි 8 ජනතා අපේක්ෂාවන් මත සමස්ත රටවාසී ජනතාවට ලැබී ඇති යම් නිදහසක් වේ නම් ඒ මතින් ගමන්කර ඊට සපුරා ප‍්‍රතිවිරුද්ධ අරමුණක් සාක්ෂාත් කරගන්නටය.
තම දුක්ගැනවිලි වලට සාධාරණ විසඳුමක් පතා පාරට ආ කටුනායක කම්කරුවන්ට, හලාවත ධීවරයින්ට, රතුපස්වල ජනතාවට වෙඩි උණ්ඩ මුදාහළ, මේ රටේ ජනමාධ්‍යවේදීන් අමුඅමුවේ ඝාතනය කළ, අතුරුදන් කළ බලවේගයක් අද යහපාලනයේ නිදහස තුළ ඉල්ලා සිටින්නේ තමන්ගේ අතීතයට නැවත යාමට තමන්ට ඉඩදෙන ලෙසය. ඒ අනුව නුවර සිට කොළඹට එන මේ පාද යාත‍්‍රාව තුළින් ප‍්‍රදර්ශනය කරන්නේ ගාන්ධිගේ මහා පාගමන, මා ඕ සේතුන්ගේ දීර්ඝ පාගමන හා මහින්ද රාජපක්ෂගේම කොළඹ කතරගම පාද යාත‍්‍රාව මෙන් යහපත් අරමුණු නොවේ. අනෙක් අතට මෙහිදී මෙම උත්සාහය සමාජයේ අවධානයට ලක්විය යුතුව ඇත්තේ මෙම පිරිසගේ අරමුණ අන්ත දූෂිත වීම නිසා හෝ අයථා ලෙස මහජනතාවගෙන්ම කොල්ල කා සඟවා ඇති මුදලින් සොච්චමක් වැයකර දූෂිත කල්ලියක් විසින් සංවිධානය කරන පාගමනක් නිසාමද නොවේ. මේ රටේ ලක්ෂ 62 ක් වූ අති බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට එල්ල කරන අභියෝගාත්මක තර්ජනය පිළිබ`දව සලකා බැලීමේදීය. නිසැක වශයෙන්ම ඒ අනුව මෙම පාද යාත‍්‍රාව සලකා බැලිය යුත්තේ පවුල් වාදය මුල්කරගත් දූෂිත බල අධිකාරියක් තහවුරු කරගැනීම ස`දහා සිදුකරන සමාජ තෙරපුමක් ලෙසිනි.
නිදහස යනු වන මෘගයන්ට නිදහස් සාමකාමි ජන සමාජයකට කඩාවැදීමට ඇති අයිතියක් හෝ හිමිකමක් නොවේ. හිට්ලර්ට ද පොල්පොට් වෙත ද ඉඩිඅමීන්ට ද අනුගාමිකයෝ සිටියහ. එය ලෝකයට වැදගත් වූයේ නැත. වැදගත් වූයේ මානව නිදහස හා සමාජ යුක්තියයි. ඒ අනුව ලෙයින් කඳුළින් හා ජීවිත පූජාවන්ගෙන් පසු ලක්ෂ හැට දෙකක් වූ ජනතාවකගේ මැදිහත් වීමෙන් දිනාගත් ජයග‍්‍රහණය ආරක්ෂා කරගැනීම සඳහා ද යුක්ති සහගත හා පූජනීය අයිතියක් ඔවුන් සතුව ඇති බවද කිසිවෙකු අමතක නොකළ යුතුය. එහිදී කිසිවෙක් ඇසට ඇස හෝ ලෙයට ලෙය සොයා යායුතු නැත. එහෙත් තහවුරු කළයුතු ජනතා ජයග‍්‍රහණයක් හා ඒ තුළ වූ සමාජ අපේක්ෂාවක් රට හමුවේ පවති. එයට අභියෝග කළ හැක්කේ ඒ සඳහා යුක්ති සහගත කාල සීමාවක් ලබාදීමකින් අනතුරුවය. ඉන් මෙපිට සිදුවිය හැක්කේ තර්ජන හා කුමන්ත‍්‍රණ පමණකි.
අතීතයේදී මෙන්ම මෙවරද කුමන්ත‍්‍රණ හා තර්ජන පරාජය කළ යුතුව තිබේ .
සුනිල් ජයසේකර