Friday, May 17, 2024

හමුදා භාරයේදී අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙත්සම් දාහතරක්

( ජායාරූපය -අමන්තා පොර්රා)

යුද හමුදාවට භාර වීමෙන් පසුව අතුරුදහන් වී ඇති පුද්ගලයන් පිරිසක් සම්බන්ධයෙන් 14 වෙනිදා යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු විසින් මුලතිවු අධිකරණයට ඉදිරිපත් කරන ලද නාම ලේඛනය පිළිගත නොහැකි බව මුලතිවු දිසා විනිසුරු එස්. සම්සුදීන් තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ යුද්ධයෙන් අනතුරුව අතුරුදහන් වුවන් පිරිසක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු හබයාස්කෝපුස් පෙත්සම් දාහතරක් සැළකිල්ලට ගත් අවස්ථාවේදීයි.

යුද්ධයේ අවසන් දින හතර ඇතුළත දී ජීවිත ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා දෙමළ වැසියන් විශාල පිරිසක් ඔවුන්ගේ ඥාතීන් විසින් යුද හමුදාවට භාර දී ඇති අතර යුද හමුදාව යටතේ සිටියදී ඔවුන් අතුරුදහන් වී ඇති බවයි මෙම පෙත්සම් මගින් පැවසෙන්නේ.

මෙහිදී යුද හමුදාව පුනරුත්තාපනය කෙරුණු පුද්ගල ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප කළ අධිකරණය කියා සිටියේ පෙත්සම් වලට අදාළ පුද්ගලයන්ගේ නාම ලේඛනයක් මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසයි.

මෙම පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්.රත්නවේල් පැවසුවේ මේ නඩු විභාගය පැවති අවස්ථාවේ දී හමුදා නිලධාරියා ඉදිරිපත් කොට ඇත්තේ වෙනත් නාම ලේඛනයක් බව අධිකරණයට තහවුරු වූ බවයි.

අතුරුදහන් වූවන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන බවට යුද හමුදාව කළ දැනුම්දීමක් මත ඥාතීන් විසින් ඔවුන් හමුදාවට බාර කොට ඇත්තේ සාක්ෂි සහිතව බවද නීතිඥවරයා පැවසීය

– බීබීසී සිංහල

Archive

Latest news

Related news