ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉතාම අවලස්සන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය අප්‍රසන්න ගඳ ගසන විෂයක් බවට පත් වී තිබේ. දේශපාලනඥයා තරම්, සාමාන්‍යය ජනතාවට කරුමයක් වූ පුදගලයෙක් තවත් නැති තරම්ය. මෙය, රටේ විශ්ව විද්‍යාලයකින් හෝ කිහිපයක් එකතු වී සාමන්‍යය ජනතාව අතර සමීක්ෂණයක් කිරීම සඳහා ඉතා වැදගත් මාතෘකාවකි.
සාමන්‍යය ජනතාව අතර “දේශපාලනඥයා” නමැති චරිතයට ඇති සැබෑ අදහස කෙබඳුද ? වත්මන් ආණ්ඩුව සිර වී සිටින්නේ මෙම මූලික සන්දර්භය තුළ යැයි සිතේ. පක්ෂය බේරා ගැනීම, පක්ෂයේ නාමයෙන් තම පැවැත්ම තහවුරු කරගත් හොරුන් එළවීමට නොහැකි වීම, මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම එකම ඉලක්කය වීම, ආදී කෙටි කාලීන නමුත් ඉතා බරපතළ කාරනා හමුවේ මූලික පාලන විධික්‍රමය වෙනස් වෙමින් තිබේ.
මේ අතර, එහෙන් මෙහෙන් සිදු කරන අත්අඩංගුවට ගැනීම්, එසේ අත්අඩංගුවට පත් වූ අයවලුන් “සිරගෙදර බත්” එපා කියා ගෙදරින් කෑම ඉල්ලා ගෙන කෑම, එමෙන්ම දින කිහිපයකින් ඇප ලබා ගැනීම ආදීය නාටකයේ මූලික සීමාවන් නිර්ණය කොට තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ සමබන්ධයෙන් ඇති විවේචනය මෙහිදී විමසා බැලීම වැදගත් වේ. ඔහුට අනුව, අදාල අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට දින කිහිපයකට පෙර ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනඥයින් අදාළ සිදුවීම් ගැන මාධ්‍යය ඔස්සේ සඳහන් කරනු ලබයි. ඉන්පසු මාධ්‍යය ඔස්සේ, තවත් පැය කිහිපයකින් අහවල් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරයි. අත්අඩංගුවට පත් වූ පසු, “ඕකනේ අපි කිව්වේ” න්‍යායට අනුව තම පෙර පුවත් ගැන උදම් අනනු ලබයි.
මෙම අසම්පූර්ණ විකට සිදුවීමෙන් රටේ යුක්තිය පසිඳලීමේ විධික්‍රමයට සිදුවන බරපතල අතවරය කුමක්ද? මෙවැනි “මාධ්‍යය ඔස්සේ සිදුකරන අධිකරණ” ක්‍රමවේදය රටට දීර්ඝකාලීන වාසියක් ගෙනදීමට සමත්වනු ඇත්ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “ දැන් සතුටුද? “ කියා ඇසීමට පසුබිම්වන මූලික වටපිටාව සකස්වන්නේ මේ අනුවය.
මෙය දකින ඕනෑම අයෙකුට සිතෙන මූලික කරණය වූ කලී, පළිගැනීමේ අදහස මිස නීතිය අකුරට ඉටුකිරීම මේවායෙහි අරමුණ නොවන බවය. මෙමඟින්, ඇති කරන්නේ දේශපාලනික වශයෙන් විසුරුණු ග්‍රාමීය වශයෙන් සංවිධානය වූ විවිධ කල්ලි නිර්මාණය වීමය. අත්අඩංගුවට ගැනීම සහ ඉන් පසු ඊට අදාළ ක්‍රමවේදය රාජ්‍යය පරිපාලන ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක විය යුතු විනයානූකූල කාරණයක් මිස, විවිධ දේශපාලන කණ්ඩායම්වල පෞද්ගලික අභිමතාර්ථයන් ඉටුකරන්නක් නොවිය යුතු වේ. මෙම කාරනයේදී යහපාලන ආණ්ඩුව වැටෙමින් ඇත්තේ ගොඩ ඒමට අපහසු තත්ත්වයකටය. මෙම තත්වය හමුවේ, රටේ සාමන්‍යය ජනතාව, ආණ්ඩු වෙනසක් ඇතිකිරීම සඳහා යොමුකිරීම ඉතාම පහසු වනු ඇත.
නමුත් වත්මන් ආණ්ඩුව පැත්තෙන් ඇති වාසිය වන්නේ, ආණ්ඩුවට එරෙහි ප්‍රජාවෙන් බහුතරයක් ගැන බහුතර ජනතාවට එතරම් සුජාත බවක් නොතිබීමය. දෙවැන්න, දේශපාලනික වශයෙන් මූලික ශක්තිමත් ගැම්මක් ගැනීමට අවශ්‍යය මොහොත සහ සිදුවීම ග්‍රහණය කර ගැනීමට විපක්ෂය ( ආණ්ඩුවට එරෙහි බලවේගය) අසමත් වීමය. මෙම මූලික කරුණු දෙක, වත්මන් ආණ්ඩුවේ වාසියට හේතු වී තිබෙන නමුත්, මෙම කාරනා දෙකින් එකකවත් වත්මන් ආණ්ඩුව දෙදරීමට හේතුවන්නේ නැත. එය දෙදරීමට ලක් වන මූලික හේතුව වනු ඇත්තේ අභ්‍යන්තර අරගලයකි. එවැනි මූලික සහ ගැඹුරු අරගලයක් ඇතිවීම සඳහා අවශ්‍යය මූලික සාධක සකස්වෙමින් තිබෙන සැටි නීරීක්ෂණය කිරීමට සිදුවීම සැබවින්ම කණගාටුදායක වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ට අහිමු වූ ශක්තිය යළි ලබාගැනීමේ මාවත සොයමින් තිබෙන අතර එක්සත් ජාතික පෙරමුණ හැකි උපරිමයෙන් මීළඟ මැතිවරණය සඳහා මූලික දේශපාලන ක්‍රමෝපායික වැඩපිළිවෙලක් රැගෙන යමින් තිබේ. ආණ්ඩුවේ සෑම පාර්ශවයකටම, ( ඇතැම් විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හැරෙනුකොට) ජාතික ආණ්ඩුව පවත්වාගෙන යායුතු මූලික මූලධර්ම අමතක වෙමින් ඇති සැටියෙකි. එක්සත් ජාතික පක්ෂයේ, උඩඟු දේශපාලන කල්ලිවාදයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියාරූ උපායන් හැරෙන්නට ජාතික ආණ්ඩුව නමැති මූලික දේශපාලන සහෝයෝගීතාවය පරිපාලන මූලධර්මයන්ගෙන් මගහැරෙමින් තිබෙන සැටියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මෙහිදී මඟහරිනු ලැබූ මූලික කාරණා කිහිපයක් තිබේ. පළමුවැන්න, මහින්ද රාජපක්ෂ බලවේගය නිවැරදිව කියවීමට සමත් වුවද පූර්වාරක්ෂක ( පූර්වඋපායන්) සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම. දෙවැන්න, එක්සත් ජාතික පක්ෂයේ මූලික දේශපාලන මෙන්ම ආර්ථික (ධනවාදී ) ප්‍රතිපත්ති හමුවේ තම ජාතිවාදී (ජාතිකවාදී ) නොබැඳි ප්‍රතිපත්ති අතිපිහිත කරන ආකාරය ගැන මනා අවබෝධයක් නොතිබීම. තෙවැන්න, රාජපක්ෂවරුන් ඩැහැගෙන සහ මොළ ශෝධනය කොට ඇති ග්‍රාමීය මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රජාව දේශපාලනික වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නොතිබීම. මෙම කාරණා තුන ඉටු කිරීම මනා පරිස්සමෙන් මෙන්ම කැපවීමෙන් කළ යුතු කාරනා වේ.
එසේම, මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භූමිකාව ශක්තිමත් කිරීම සඳහා අදාළ පක්ෂයට නිවැරදි වැඩපිළිවෙලක් තිබේද යන්න පැහැදිලි නොමැත. එය, 1994 සිදුකළ ආකාරයට වඩා, ශක්තිමත් මෙන්ම උපායමාර්ගික වශයෙන් සකස් කළයුතු වැඩපිළිවෙලකි. මන්ද දෙමළ ජාතික සන්ධානය පෙර නොවූ විරූ අකාරයෙන් මෙරට උපායමාර්ගික දේශපාලනයේ බරපතළ මෙහෙයුමක නිරත වී සිටින්නේය. දොරේඅප්පා ක්‍රීඩාංගනයෙන් ඔබ්බට ගමන් කිරීමේ දේශපාලන වැඩපිළිවෙලක් පක්ෂයට තිබිය යුතුවේ. එසේ සිදු වුවහොත්, එය, මීළඟ මැතිවරණවලදී පමණක් නොව රාජ්‍යය පරිපාලනයේදී ඉතා වැදගත් මෙහෙවරක් සිදුකරනු ඇත.
නාමල් රාජපක්ෂ හෝ වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීම, මෙහිදී මතුවන මූලීක සිදුවීම් පමණි. එවැනි සිදුවීම්, මෙරට අධිකරණ ක්‍රමය සහ ඊට අදාළ අනෙකුත් සංස්ථා ස්වාධීන සහ විනයගරුක බව ඔප්පුකිරීමට එම සංස්ථාවලට ඉඩ ලබා දි ඒවා මාර්ගයෙන් විසඳාගත යුතු කාරනා වේ. දේශපාලනික වශයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හදා බලමින් සිටින මෙම ඉතාම සංවේදී ජනක මොහොත ලිහා බැලිය යුත්තේ මෙම මූලික වටපිටාව ඔස්සේ යැයි සිතේ. එසේ නොවුන හොත්, විශාල මුදලක් යටකොට, ලිංගික ශ්‍රමිකයන් මිලදී ගන්නා ආකාරයෙන් මීළඟ මැතිවරණය දිනීම සඳහා “දේශපාලනඥයින්” මිළදී ගෙන, පැරණි ක්‍රමය යළිත් අළුත් කළ හැකිය. එවිට, හිංසනය මූලික කරගත් කණගාටුදායක ක්‍රමයට රට තල්ලු වනු ඇත. වළක්වා ගත යුත්තේ එයයි.
විදෙස් විනිසුරන් ගෙන්වීම හෝ මෙරට අධිකරණ ක්‍රමයට මැදිහත් වීම ගැන ඇති හුදු වචන වලට සීමා වූ විවේචනයෙන් පලක් වන්නේ නැත. වැදගත් වන්නේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වන බව පිටත ලෝකයට තේරුම් ගැනීමට අවශ්‍යය පසුබිම සකස්කිරීමය. එය කළ හැක්කේ වචන වලින් නොව, ක්‍රියාවෙනි.