Tuesday, May 7, 2024

දඩල්ලගේ මහත්මයාණෙනි, එන්න නටන්න!

දුෂිතයින් 42 ක් රකිනු වෙනුවට බඩු බෙදීම වැළැක්වීම නිසා/ කටවුට් පෝස්ටර් ගැලවීම නිසා තර්ජනයට, ගර්ජනයට, ස්ථානමාරුකිරීම්වලට, පහරදීම්වලට, ලක් වූ ග්‍රාම නිළධාරීන්, මැතිවරණ නිළධාරීන්/සහකාර තේරීම් භාර නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු මැතිවරණ නීති ආරක්ෂා කිරීමට කැපවූ අවංක රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් ඔබගේ පරම යුතුකම ඉටුකරන්න.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා සිය ස්ථාන මාරුව පිළිබඳ ඊයේ (ජුලි 7) පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත. අභියාචනයකට මුවාවී සිය තනතුර රැක ගැනීම සඳහා උත්සහ දරන ඒ දඩල්ලගේ මහතා ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නගා ගැනීමට උත්සහ දරයි.

“රාජ්‍ය නිළධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මට චෝදනා නගමින් ඔවුන් ආරක්ෂා කරන බවට සමාජ ජාල වෙබ් අඩවි හරහා පැතිර ගිය ආරංචිය………..” ක් ගැන ඔහු පවසයි.

පරිපාලන නිළධාරීන්ගේ වැඩ තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කළ, දුෂිතයන් රකින බවට දඩල්ලගේ මහතා ට චෝදනා එල්ල කළේ කැෆේ සංවිධානය යි. අප එය සිදු කළේ සමාජ වෙබ් අඩවි හරහා නොව ලේකම්වරයා වෙත ලිපි අටක් යොමු කරමින් සෘජුවය. දින 16 ක් කැෆේ සංවිධානයට පිළිතුරු නොලියූ ඔහු තම නඩුව ජනමාධ්‍ය වෙත රැගෙන ගියේය. අප ඔහුට තේරෙන ඔහුගේ භාෂාවෙන්ම ඔහුට පිළිතුරු ලියූ නමුත් ඒවා තවමත් ජනමාධ්‍ය වෙත නිකුත් කළේ නැත.

දඩල්ලගේ මහතා තම ලිපිය මඟින් තවදුරටත් පවසන්නේ,

‘‘……විශේෂයෙන් අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරියෙකු වශයෙන් මා සෙවනේ සිටින කනිෂ්ඨ නිළධාරින් රැකගැනීම, මා සතු පරම යුතුකමක් බව මම අදහමි.”ලෙසිනි.
අප පරිපාලන සේවයේ දඩල්ලගේ මහතා ට තරම් අත්දැකීම් නැත. නමුත් පසුගිය මැතිවරණයේ දී ජීවිතය පරදුවට තබා බඩු බෙදීම වළක්වන්නට, පෝස්ටර් කටවුට් ගලවන්නට, ඉදිරිපත් වූ රාජ්‍ය සේවයේ කනිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ගැන හැගීමක්, ආදරයක්, ගෞරවයක්, වගවීමක් ඇත.

ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ලේ ලොග්ගල් ඔය නිති විරෝධී පෙළපාලි වැළැක්වූ, නාමල් තලංගම මහතාට මැරයින්ට මුහුණ දීමට සිදුවිය. ඔහු පොලිස් පැමිණිල්ලක් දමන්නට බදුල්ලට ආවේ කැලෑ පාරකිනි. පිළියන්දල දී බඩු බෙදීම වැළැක්වූ දයානන්ද මහතා ට පහරදීමට උත්සහ දැරීය. මොණරාගල දී ප්‍රාදේශීය පළාත් පාලනයට සම්බන්ධ මැරයින් මැතිවරණ නිළධාරීන්ගේ හා සහකාර තේරීම් භාර නිළධාරීන්ගේ නිවෙස්වලට පැමිණ පවුලේ සාමාජිකයින් ඇතුළුව සියලු දෙනා ඝාතනය කරන බවට තර්ජනය කර නිවෙසකට අලාභ කරන ලදී. ත්‍රිකුණාමලයේ දී ද මැරයින් මැතිවරණ නිළධාරීන්ට, රාජ්‍ය නිළධාරින්ට පහර දුන්නේය. මහව හා නිට්ටඹුවේ දී නිළධාරීන් බලහත්කාරයෙන් රදවා ගන්නා ලදී.

ඔබගේ සමීපතම රාජ්‍ය නිළධාරීන් වූ දිසාපතිවරුන් ගණනාවක් බඩු බෙදීම වළක්වන්නට උත්සාහ දැරූ බව ඔබ දනී. සමෘද්ධි බඩු බෙදීම වළක්වන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය දේශපාලන බලවතුන් සමඟ ගැටුණි.
දඩල්ලගේ මහතා අද පෙනී සිටින්නේ මැතිවරණ කොමසාරිස්වරයා මොනවා කියූවත් මේ සමෘද්ධි බඩු කෙසේ හෝ බෙදිය යුතු යැයි කියූ රාජ්‍ය නිළධාරියා වු ආර්.ඒ.ඒ.කේ.රණවක ආරක්ෂා කිරීම සඳහා ය.

දඩල්ලගේ මහතා පීඩාවට පත් වූ ඒ නිළධාරීන්ට සහන සැලසීමට ක්‍රියා නොකලාට කමක් නැත. නමුත් අද ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටිය දී තමන් ලැබුණු 2014 ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී හා 2015 ජනධිපතිවරණයේ දී රාජ්‍ය දේපල අයුතු පරිහරණයට අදාළ පැමිණිලිවලට කළේ මොනවාදැයි සගවන්නට ඔහුට කිසිදු අයිතියක් නැත.

මෙම පැමිණිලි විභාග කරන ලෙස ලක්ෂ 62 කට අධික මහ ජනතාව වෙනුවෙන් සිවිල් සංවිධාන නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් පමණක් නොව රාජ්‍ය නළධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති ද, වෘත්තික සංවිධාන ද 2015 ජනවාරි මස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, ගරු කරු ජයසූරිය මැතිතුමා ‘රනුග්ගේ කමිටුව‘ පත් කර එහි සම්බන්ධීකරණ කටයුතු දඩල්ලගේ මහතා ට පවරන ලදී. කමිටුවේ කාර්ය පටිපාටිය හෙවත් TOR සකස් කරන ලද්දේ අප ද ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා දඩල්ලගේ මහතා එක්වය.

අප යුක්තිය ඉල්ලන්නේ මහජන දේපල අයථා පරිහරණය කළ නිළධාරීන් පිළිබඳ විමර්ශන කරන්නට කියන්නේ මේ ගෞරවනීය රාජ්‍ය නිළධාරීන්ට පමණක් නොව මහජන දේපල අයුතු පරිහරණයට එරෙහිව ස්වකීය ඡන්දය භාවිත කළ නිහඩ පුරවැසියන්ට ද යුක්තිය ඉටු කරන්නටය. ඔවුන් ජීවිත තර්ජන හමුවේ සිදු කළ කටයුත්තට ඇගයීමක් ලබා දෙන්නටය.

දඩල්ලගේ මහතා රැකගන්නට හදන්නේ 42 ක් වූ දුෂිතයින් පිරිසකි. අප ඉල්ලන්නේ ඒ වෙනුවට ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය නිළධාරීන් බහුතරයක ගෞරවය රකින ලෙසය.

මොණරාගල නියං සහනාධාර බෙදමින්, සාරි, සරම් බෙදමින්, නිවාස අරමුදල් බෙදමින්, ක්‍රීඩා භාණ්ඩ බෙදමින් සිදු කළ ‘බඩු බෙදිලි දේශපාලනය‘ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වන වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාට අමතක විය නොහැකිය. ඇඹිලිපිටියේ අන්තයක සිට තණමල්විල දක්වා ජ.වි.පෙ. කාර්යාලවලට පහරදුන් රජයේ වාහන පෙළපාලි අපට අමතක නැත.

ඒ අවනීතියට එදා එරෙහි වූයේ ද රාජ්‍ය නිළධාරීන් පිරිසකි. ග්‍රාම නිළධාරීන්ය. සහාකාර තේරීම් භාර නිළධාරීන්ය. ප්‍රාදේශීය ලේකම්වරුන්ය. දිසාපතිවරුන්ය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ය.
මැතිවරණ නීතිය, ආයතන සංග්‍ර‍හය, මුල්‍ය රෙගුලාසි රකින්නට අවශ්‍ය යැයි සිතු රාජ්‍ය නිළධාරීන්මය.

කැෆේ සංවිධානය සටන් කරන්නේ ඒ දුෂ්කර අවස්ථාවේ දී අප සමඟ සිටි ගෞරවණීය රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මිස ජනතාවගේ ඡන්දය ‘සිල් රෙද්දකට, පොල් පැලකයකට, රුපියල් 2500 කට පොකට් ගසන්නට සහාය දුන් රාජ්‍ය නිළධාරීන් 42 ක් වෙනුවෙන් නොවේ.

රාජ්‍ය ප්‍ර‍තිපත්ති මත දුගී දුප්පත්කම තුරන් කිරීමට දියත් කරන ලද ජනසවිය, සමෘද්ධිය වැනි ව්‍යාපෘති මෙන්ම දිගු කලක් තිස්සේ විශ්‍රාමිකයින් ඉල්ලා සිටි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම හා ඡන්දයක් ආසන්නයේ අපේකෂක ප්‍ර‍වර්ධනය සඳහාම ඉලක්ක කොට ගත් රාජ්‍ය මුදල් වැය කළ ‘සිල් රෙදි බෙදීම‘ එක හා සමානව වන්නේ කෙසේ දැයි ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරයෙකු වන දඩල්ලගේ මහතා ට තේරුම් ගත නොහැකි වූවාට අවංක නිළධාරීන්ට තේරුම් ගත හැකිය.

මැතිවරණ දුෂණ සිදු කළ රාජ්‍ය නිළධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට අත්‍යවශ්‍යය. එය නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා වන ඉතා වැදගත්, කුඩා ආයෝජනයක් වනු ඇත. නමුත් එහි ප්‍ර‍තිඑලය දුෂිත මැතිවරණ සංස්කෘතිය වෙනස් කිරීමට දැවැන්ත පිටුවහලක් වනු ඇත්තේය.

කැෆේ සංවිධානය මැතිවරණ සමයේ දී පමණක් අදුරට ශාප කරනු වෙනුවට එක් පහනක් හෝ දල්වන්නට තිර අදිටන් කර සිටිමු. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දුෂිතයන් රැකීමේ ව්‍යාපෘතිය විශ්‍රාම ගැන්වීම අනිවාර්ය වූ අවශ්‍යතාවයකි.

අවසන් වශයෙන් කිව යුත්තේ, දඩල්ලගේ මහතා ගේ පවසන එක් දෙයක් සත්‍ය බවයි. අප මැතිවරණ දුෂණය කරමින් බඩු බෙදීමේ ක්‍ර‍මවේදය වෙනස් කළ යුතුව ඇත. ඒ සඳහා මුලින්ම දුෂිතයින්ට දඩුවම් කළ යුතුය. ඒ සඳහා වන බුද්ධිමත් සංවාදය ඉන් පසුව ඇරඹිය හැකිය. ඉන් පසුව පමණක් මේ මැතිවරණ අල්ලස් ලබාදීමේ ක්‍ර‍මවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකිය. එන්න. දඩල්ලගේ මහත්මයාණෙනි ඒ සඳහා ඔබ ම පෙරමුණ ගන්න.

-කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Archive

Latest news

Related news