Thursday, May 2, 2024

දැන් පෙන්වනවා: සෙල්ලං ගෙදර ඇමැති මණ්ඩළය – සුනිල් ජයසේකර

ජූලි 7 වන දින නොව 8 වන දින පළවූ ඇතැම් පුවත්පත් වල ප‍්‍රධාන සිරස්තලය යටතේ ද තවත් බොහෝ ජනමාධ්‍යයවල ප‍්‍රමුඛ පුවතක් ලෙසින් ද පළකර තිබුණේ ඒකාබද්ධ විපක්ෂය විකල්ප කැබිනට් මණ්ඩලයක් නම් කර තිබීම ගැනය. එය එක්තරා වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ  ‘‘සෙල්ලං ගෙදර අගමැති මං” යන සිරස්තලය යටතේය.

රටක දේශපාලන ව්‍යාපාරයක් හෝ සමාජ බලවේගයක් ලෙස මතුවීමට උත්සාහයක් දරණ කණ්ඩායමක් තම අනාගත පාලනයට අදාළව සැලසුම් සකස් කිරීම සෙල්ලං වැඩක් ව්ය නොහැකිය. විශේෂයෙන්ම තමන් විසින් අනාගතයේ ගොඩනගන්නේ යැයි සිතන රජයක කැබිනට් මණ්ඩලය සැලසුම් කිරීම එදවස එම රටේ ජනතාවට ඇතිවිය හැකි ගුණ අගුණ තේරුම් ගැනීමට ඇති හොඳ කැඩපතකි. එහෙත් මෙහිදී මතුවන පළමු ප‍්‍රශ්නය වන්නේ ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මේ පිරිස තම අනාගත රජයේ අමාත්‍ය තනතුරු මේ ආකාරයට සැලසුම් කර ඇත්තේ සිහි බුද්ධියෙන් යුතුව ද යන්නය.

එසේ විමසීමට හේතු වන කාරණය වන්නේ ඔවුන්ගේ කැබිනට් මණ්ඩලය පනස් දෙනෙකුගෙන් පමණ සමන්විත වීම නිසාය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය මේ ගොඩනගන්නට යන්නේ ජාතික ආණ්ඩුවක් විය යුතුය. එහිදී ඇතිවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ ඒකාබද්ධ විපක්ෂය ජාතික ආණ්ඩුවක් ඇතිකර ගැනීමට යන්නේ එක්සත් ජාතික පක්ෂය සමග ද නැතහොත් ද්‍රවිඩ සන්ධානය සමග ද යන්නය. මන්ද අද පාර්ලිමේනතුවේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ කිසිඳු මන්ත‍්‍රිවරයෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ගැන නොදැන සිටීමට නොහැකි නිසාය.

ඒකාබද්ධ විපක්ෂයේ අති බහුතරයක් මන්ත‍්‍රීවරුන් ද අත උස්සා සම්මත කර ගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව තනි පක්ෂයක් බලයට පත්ව පිහිටවනු ලබන ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකුට සීමා විය යුතුය. ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ තම සාමාජිකයන් පනස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය ජාතික ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් විය යුතුවම තිබේ. එහෙත් ඔවුන් එවැන්නක් පැහැදිලි කර නොතිබීම නම් බලවත් අඩුපාඩුවකි.

අනෙක් වැදගත් කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආරක්ෂක අමාත්‍ය යන තනතුරු ද වෙන් කර තිබීමය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ මේ ආණ්ඩුව පිහිටුවීමට සිහින දකින්නේ 2020 වසරට පෙර ද පසුව ද යන්න ප‍්‍රශ්නයකි. නිකමට මෙන් එය 2020 වසරට පෙරදී යැයි සිතා බලන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාට හිතෙන හිතෙන පරිදි හෝ අනෙක් හතලිස් නව දෙනොට ද හිතෙන හිතෙන පරිදි ඇමතිකම් බෙදා වෙන්කර ගත නොහැකි බව ද අවබෝධකර ගත යුතුය. මන්ද ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය තනතුරු ප‍්‍රදානය කරන්නේ විධායක ජනාධිපතිවරයා විසින් වීම නිසාය. ඒ අනුව අන් සියල්ලටම පෙර මෙවැනි තනතුරු බෙදා දීමකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් ද යන්න ඒකාබද්ධ විපක්ෂය විසින් තහවුරු කරගෙන තිබීම හෝ ඒ සඳහා පුර්ව අනුමැතියක් ලබා තිබීම ද අත්‍යවශ්‍යය. වර්තමාන දේශපාලන සන්දර්භය තුළ එවැන්නකට කිසි`දු ඉඩක් නැති අතර අනාගතයේදී ද එවැන්නක් වීමට ඇති සම්භාවිතාවය ද ඉතාමත් විරලය. යම් හෙයකින් අනාගතයේ දී එවැන්නක් සිදුවිය හැකි යැයි යමෙක් උපකල්පනය කළ ද ආරක්ෂක අමාත්‍ය ධූරය රටේ ජනාධිපතිවරයාගෙන් බැහැර කරලීමට කටයුතු කරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය. මන්ද අප රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍යයේ නායකයා ද ආණ්ඩුවේ නායකයා ද සන්නද්ධ සේවාවන්හි ප‍්‍රධානියා ද ජනාධිපති වන හෙයිනි.

ඒ අනුව එක්තරා වෙබ් අඩවියක් මේ පුවත පළ කිරීමේදී හදුන්වාදී තිබූ ආකාරයට මෙය නම් සෙල්ලම් ගෙදරක සෙල්ලම් වැඩක්ම විය හැකිය. එම නිසා මේ රටේ සබුද්ධික ජනතාව මේ පිළිබඳව කිසිසේත්ම බැරූරුම් ලෙස කල්පනා කළ යුතු නැත.

එහෙත් මේ විකල්ප කැබිනට් මණ්ඩලය පිළිබඳව සැලකීමේදී ගැඹුරින් අවධානය යොමු කළ යුතු කරුණක් ද තිබේ. ඒ, අනාගතයේ හදන්නට යන මේ ආණ්ඩුවේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා වන විට ප‍්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යවරයා වන්නේ චමල් රාජපක්ෂ මහතාය. වෙන්ඩ විදේශ ඇමති වන්නට සිටින්නේ නාමල්ය. බැසිල් හා ගෝඨාභයට දෙනෙ ද් ගැන මෙතනදී නම් සඳහන් වී නොමැත. එහෙත් ඒ ගැන ද සිතිය යුතුව තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ගන්නා මේ උත්සාහය තුළ ද වලිකන්නේ නැවත මේ රට පවුල් පාලනයකට කොටු කරන්නටය. ඉහත සඳහන් කළ සියලූ දේ සෙල්ලමකට ගත්ත ද මෙය නම් සෙල්ලමකට බාරගත යුතු දෙයක් නොවේ.

 

Archive

Latest news

Related news