Monday, May 6, 2024

දූෂණ චෝදනා ලද ගම්මන්පිල, අලි බබාලා සහ තොත්ත හොරු – සුනිල් ජයසේකර

(අලි බබා සහ හොරු 40)

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස සැලකෙන දිනේෂ් ගුණවර්ධන මහතා ඉතා වැදගත් ප‍්‍රකාශයක් සිදුකර ඇත. එය සමස්ත සමාජයේම අවධානයට ලක්විය යුතු තරමේ ප‍්‍රකාශයකි. ඔහු සඳහන් කර ඇත්තේ දේශපාලකයන් සිරගෙවල් වලට ගෙනගියාට ඔවුන්ගේ දේශපාලනය වෙනස්කළ නොහැකි බවය. අප රටට අදාළව පමණක් නොව ලොව ඕනෑම රටකට අදාළව සලකා බැලීමේදී ද එය පරම සත්‍යයකි. ඉන්දියාවේ නිදහස් සටනේ පෙරටුගාමී නායකයන් ලෙස සැලකෙන මොතිලාල් නේරු ගේ සිට මහත්මා ගාන්ධි දක්වා ද දකුණු අප‍්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා, නූතන මියන්මාරයේ හෙවත් අප බොහෝ දෙනෙකු දන්නා බුරුමයේ අවුන්සාන් සූකී වැනි ලෝක පූජිත චරිත විසින් ඒ බව මැනවින් තහවුරු කර තිබේ.

තමන් හදවතින්ම විශ්වාස කළ එම විශ්වාසය තුළ ඉලක්ක කරගත් අරමුණක් මත ස්වාර්ථය නොව පරාර්ථය උදෙසා තම ජීවිත කැපකළ ඔවූහූ ඒ උදෙසා සිරබත් කන ලද්දේ වරක් දෙවරක් නොවේ. ඒ තම තමන්ගේ මව් රටවල අනාගතය වෙනුවෙනි. අනාගත පරපුරේ නිදහස හා අභිමානය වෙනුවෙනි. ඒ කිසිවෙක් සිරබත රස වින්දේ රටේ මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑමේ චෝදනාවන්ට නොවේ. පොදු දේපල අයතා ලෙස භාවිතයට ගැනීමේ හේතුව නිසා ද නොවේ. තම ව්‍යාපාර සගයන් මුලා කරමින් ඔවුන්ගේ සේසත අත්පත් කරගත් නිසාද නොවේ. තම පරමාදර්ශි අරමුණ තුළ තම රටෙහි විමුක්තිය උදෙසා පෙනී සිටීම වෙනුවෙනි. එවන් උත්තම චරිත පිළිබ`දව සලකා බලනවිට දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කරඇති අදහසට මහත් වටිනාකමක් හිමිවේ.

එහෙත් අවාසනාව වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා එම ප‍්‍රකාශය කරඇත්තේ මූල්‍ය වංචා චෝදනාවකට රිමාන්ඞ් භාරයට පත්කර සිටින උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් විමසා ආපසු එමින් සිටියදී වීමය. එමගින් ඔහුද ඔහු සමග සිට ඇති අනෙක් උදවිය ද ප‍්‍රකාශ කරන්නට උත්සාහ කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ දේශපාලනය කිරීම නිසා වන බවක් වියහැකිය. උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් මේ ආකාරයට වැළපෙන බොහෝ දෙනෙක් විමල් වීරවංශ මහතාගේ සගයා වන මොහොමඞ් මුසම්ම්ල් මහතා වෙනුවෙන් මේ දක්වාම ඒ ආකාරයට පෙනී සිටීමක් සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත. එහෙත් වාර්තා වන පරිදි මොහොමඞ් මුසම්මිල් මහතා මෙන්ම උදය ගම්මන්පිල මහතා ද බන්ධනාගාර ගතව සිටින්නේ මූල්‍ය වංචා චෝදනාවන්ට ය. එහි ඇත්තේ එකම එක වෙනසක් පමණකි. එනම් මුසම්මිල් මහතාට රටේ මහජන මුදල් වංචා කිරීම පිළිබඳව චෝදනා එල්ල වනවිට ගම්මන්පිල මහතාට එල්ල වී ඇති චෝදනාව වන්නේ සිය ව්‍යාපාර සගයෙකුගේ රුපියල් කෝටි 70ක මුදලක් වංචනික ලෙස තමන් සන්තක කරගැනීම පිළිබඳවය.

මූල්‍ය වංචා, දූෂණ, අක‍්‍රමිකතා සහ මිනිස් ඝාතන වැනි චෝදනාවන්ට අදාළව පසුගිය කාලය පුරා තෝරාගත් පිරිසකට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවූ රටක දැන් යම් පමණකින් හෝ ඒ පිළිබඳ අවධානයක් යොමුවීම රටක් ලෙස සැලකීමේදී යහපත් දෙයකි. ඒ අනුව සදාකාලික ලෙස බලයේ සිටිය හැකියැයි කල්පනා කරමින් පවුල්වාදී ඒකාධිපතීත්වයකට ආවඩමින් සිටි පිරිසක් වෙතද දැන් දැන් ඉබි ගමනින් හෝ නීතියේ අත් දිගු වෙමින් පවතී. තම සගයන්ට අත්වන ඉරණමට අනුව ඊට වඩා බොහෝ දේ තමන් වෙත ද අත්විය හැකි බව දැනෙන සගයෝ ඊට දේශපාලනික අර්ථ නිරූපණ දෙන්නට කැමැත්තක් දක්වන්නේ එබැවිනි.

අපේ රටට අදාළව සලකා බැලීමේදි දූෂණයට එරෙහිව දැවැන්ත සමාජ බලයක් මේ වනතෙක් ගොඩනැගී නැතත් ඊට එරෙහිව පෙළගැසුණ සැලකිය යුතු මට්ටමේ සමාජ තෙරපීමක් පසුගිය කාලය තුළ ගොඩනැගෙමින් පැවතිණ. එහෙත් ශ‍්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ පමණක් නොව චීනයේ පවා දූෂණයට එරෙහිව දැවැන්ත ක‍්‍රියාන්විතයක් සිදුවෙමින් පවති. ඒ ලෝකයේ තවත් බොහෝ රටවල් වලට සමගාමීවය. අන්නා හසාරේ වැනි දැවැන්ත සිවිල් චරිත මූලික වෙමින් ඉන්දියාව තුළ දූෂණයට එරෙහිව සමාජ පෙළගැස්මක් ගොඩනගන විට චීනය තුළ එය ක‍්‍රියාත්මක වන්නේ රජයේ මූලිකත්වය තුළිනි. පසුගිය කාලය තුළ දූෂණ චෝදනාවන්ට ලක් වූ චීනයේ ප‍්‍රමුඛ පෙළේ දේශපාලන චරිත ගණනාවකට අත්වූයේ මරණ දඬුවමයි. ඒ අකාරයට ඒ සෑම රටක්ම ප‍්‍රදර්ශනය කර ඇත්තේ දූෂණයෙන් තොර රටක් ගොඩනැගීම ස`දහා වූ තමන්ගේ කැපකිරීමය. රාජ්‍ය දේපළ, මහජන මුදල් කොල්ල කෑමේ සිට දේශපාලන බලය උපයෝගි කරගනිමින් කටයුතු කරන දූෂිත දේශපාලකයන්ට චීනයේ මෙන් මරණ ද`ඩුවම දෙන ලෙස අප ඉල්ලා සිටින්නේ නැත.

එහෙත් රටක් ලෙස අප යහපත් අනාගතයක් අපේක්ෂා කරන්නේ නම් නීතිය රජයන දූෂණයට වැට බඳින, මහජන අයිතිවාසිකම් සුරකින සමාජ වටාපිටාවක් දැන් සිටම නිර්මාණය කරගත යුතුව තිබේ. එවන් අරමුණක් වෙනුවෙන් කටයුතු කර හිරගෙදර යන්නට සිදුවුවහොත් එය වීරත්වයට හේතු වන පරිත්‍යාගයක් වියහැකි නමුත් අනුන්ගේ දේපළ සොරකම් කළ සොරෙකුට හෝ චූදිතයෙකුට කවුරුන් කෙසේ කීවත් ඒ ගෞරවය කිසිදිනක ලැබිය නොහැකිය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news