Sunday, November 24, 2024

පාර්ලිමේන්තුවට ගෙන එන තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත: අත්‍යවශ්‍ය සංශෝධන තුනක්- විජයානන්ද ජයවීර

කලක් තිස්සේ මහත් බලාපොරොත්තු ඇති කළ තොරතුරු අයිතිය පිළිබඳ පණත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කළ සංශෝධන සහිත ව අවසානයේ දී එන සතියේ පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක් කිරීමට නියමිත බව වාර්තාවේ.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඇතැම් සංශෝධන ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට ආරංචි පැතිරෙන නමත් ඒ සංශෝධන මොනවාදැයි මේ ලපියි ලියන තෙක් දැන ගැනීමට හැකි වී නැත. කෙටුම්පතක් වශයෙන් ගත් විට යෝජිත පනත මින් පෙර පැවති පනත් කෙටුම් පත් වලට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින නමත් එහි ප‍්‍රායෝගික උපයෝගිතාවය අවම කිරීමට තුඩු දිය හැකි ප‍්‍රධාන දුර්වලකම් තුනක් දැකිය හැකිය.

ඒ සඳහා යෙදිය හැකි පිළියම් සාකච්ඡාවට ලක් කිරීම මේ ලපියේ අරමුණයි.

බෙලහීන තොරතුරු කොමිසම

යෝජිත තොරතුරු අයිතිය පළිබඳ පණත් කෙටුම් පතේ ඇති ඉතාමත් ම දුර්වල ලක්ෂණය පණත ක‍්‍රියාත්මක කිරීමේ දී කේනද‍්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම පණිිස පිහිට වනු ලබන තොරතුරු කොමිසම බෙලහීන ආයතනයක් වීමයි. මේ බෙලහීන කම වඩාත් විශද ලෙස නරීික්ෂණය කර ඇත්තේ උතුරු පළාත් සභාව විසින් ්පණත් කෙටුම්පත සම්බන්ධයෙන් කළ ව්‍යවස්ථානකූල සමාලෝචනයේ දී ය.

තොරතුරු අයිතිය පළිබඳ කෙටුම්පත ගැන සිය අදහස පල කිරීමට පළාත් සභාවලට යොමු කල විට වඩාත් ම ඵලදායී විචාරය ඉදිරිපත් කළේ උතුරු පළාත් සභාවෙන් යැයි කිව හැකිය. උතුරු පළාත් සභාවේ වචන වලින්ම කිව්වොත් යෝජිත තොරතුරු කොමිසම ”බෙලහීන(impotence)” ආයතනයකි. අපේ අසල්වැසි රටවල තොරතුරු කොමිසම්වලට ඇති දණ්ඩනීය බලතල මේ තොරතුරු කොමිසමට නොමැත. ඒ නිසාම එමගින් දෙන තීරණ තීන්දු උසාවියක මැදිහත් වීමකින් තොරව තොරතුරු සැපයිය යුතු ආයතන විසින් බරපතළ ලෙස සැලකිල්ලට ගනු ලැබේ යැයි සිතීම උගහටය.

යෝජිත නීතියේ 38 වැනි වගන්තියට අනුව ආයතනයක තොරතුරු සපයන නිළධාරියෙක් සිතාමතාම යම් පුරවැසියකුගේ තොරතුරු ලබා ගැනීම සඳහා වූ ඉල්ලීමක්, ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවක දී; පනතේ විධිවිධාන වලට අනකූලව ඉල්ලීමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන අවස්ථාවක දී; හෝ තොරතුරු සපයන නිලධාරියෙකුගේ තීරණයට එරෙහිව අභියාචනා විමසීමට ආයතනය විසින් නම් කර ඇති නලිධරයකු විසින් සිතා මතාම පණතේ විධිවිධාන වලට පටහැනිව අභියාචනයක් ප‍්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී; හෝ නිශ්චිතව දක්වා ඇති කාලසීමාව ඇතුළත සිදුකරන ලද අභියාචනයක් පළිබඳ තීරණයක් ලබා දීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හැරීම සිදුකරනු ලබන අවස්ථාවක දී තොරතුරු කොමිෂන ්සභාවට කරහැකි වන්නේ එම කරුණ පිළබඳ එකී නිලධාරියා සම්බන්ධයෙන් කටයුතු කරන විනය අධිකාරියේ දැන ගැනිම සඳහා එම කරුණ ඉදිරිපත් කිරීමයි.

ඒ සම්බන්ධයෙන් එම විනය අධිකාරිය විසින් ගන්නා ලද ක‍්‍රියා මාර්ගය තොරතුරු කොමිසමට දන්වා සිටිය යුතු බව පනතේ සඳහන් වන නමුත් එසේ දනවා සිටීම පිණිස නශ්චිත කාල පරාසයක් පවා පනත මගින් නියම කර නැත.

එහෙත් කලාපයේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය වැනි රටවල බලාත්මක තොරතුරු අයිතිය පළිබඳ නීති වලට අනවු එවැනි පැහැර හැරීම් වල දී නිසි විභාගයකට පසු අදාළ ආයතනයට එරෙහිව දඩ ගැසීමට තොරතුරු කොමිසමට බලය ලබා දී ඇත.

උදාහරණයක් වශයෙන් ගත් විට ඉන්දීය නතීියට අනවු අභියාචනයක දී තොරතුරු ඉල්ලූම් කරුට පක්ෂ ව තීනදු්වක් දුන් විට තොරතුරු ඉල්ලීම ඉටු නොකළ ආයතනයට එකී තොරතුර ලබා දෙන තෙක් පමා වෙන සෑම දිනක් පාසා ඉන්දියානු රුපියල් දෙසිය පනහ බැගින් දඩ නියම කළ හැකි බලතල තොරතුරු කොමිසම සතු ව පවතී. ඒ අදාළ තොරතුරු සැපයීම පැවරී ඇති නිලධාරියාට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමට අතිරේක ව ය.

යෝජිත තොරතුරු කොමිසමට දණ්ඩණිය බලතල නො දීම සම්බන්ධව ඉදිරිපත් වූ එක් තර්කයක් වූයේ බොහෝ රජයේ නිලධාරීන්ගේ විනය කටයුතු රාජ්‍ය සේවා කොමිසමේ විෂය පථයට අයත් වන බැවින් වෙනත් කොමිසමක් මගින් එය නො කළ යුතු බවය. එසේ තර්ක කළ අය අමතක කළ එක් වැදගත් කරුණක් නම් යෝජිත තොරතුරු පනත යටතට ගැනෙන ආයතන විශාල සංඛ්‍යාවක් රාජ්‍ය සේවා කොමිසමට යටතට අයත් එවා නොවන බවයි. ඒ අතරට සංස්ථා, රජයේ සමාගම්, රාජ්‍ය නොවන ආයතන, විශ්ව විද්‍යාල ආදී අධ්‍යපනික ආයතන, අධිකරණ සේවා, රජයේ බලපත් හා කොන්ත‍්‍රාත්තු මත මහජන සේවා සපයන පෞද්ගලික ආයතන ආදී ආයතන විශාල සංඛ්‍යාවක් අයත් වේ. බොහෝ අවස්ථාවල දී මෙකී ආයතන වල විනය අධිකාරිය වශයෙන් සැලකෙනේන් එම ආයතන වල ප‍්‍රධානීන් ය. අපට උපකලප්නය කල හැකි අන්දමට තොරතුරු සැපයීම භාර නිලධාරියෙකු අවසාන වශයෙන් සිය ආයතන ප‍්‍රධානියාගේ අනු දැනුමකින් තොරව තොරතුරු සැපයීම ප‍්‍රතික්ෂේප කරන්නේයැ’යි සිතීම අසීරු ය. මන්ද
එවැනි ප‍්‍රතික්ෂේප කිරීම් වලට බොහෝ විට හේතු වන්නේ එකී ආයතනය සම්බන්ධ දුරාචාර පළිබඳ තොරතුරු වසන් කිරීමට අවශ්‍ය වූ අවස්ථාවල දී වන බැවිනි. ඒ අනුව තමන් අනුදත් අන්දමට තොරතුරු වසන් කිරීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක‍්‍රියාමාර්ග ගැනීම එවැනිි ආයතන වල ප‍්‍රධානීන්ට ම පැවරීම හොරාගේ අම්මාගෙන් පෙන් ඇසීම වැනි විය හැකිය. එවැනි අවස්ථාවල දී ආයතනික විනය පරීක්ෂණ පවත්වා අදාළ නිළධාරියා නිදොස් කිරීමට පවා ආයතන ප‍්‍රධානියා කටයුතු කළොත් පදුුම විය යුතු නැත. ආයතන ප‍්‍රධානියා විසින් කළ යුතු එක ම දෙය තමන් ආයතනික මට්ටමෙන් විනය පරීක්ෂණයක් කළ බවත් එහි දී කොමිසමේ නිගමනය සනාථ නො වූ බවත් කොමිසමට දැනම් දීමයි. අඩුම තරමින් එවැනි විනය කටයුතු වලදී කොමිසමේ නිගමනය අනුව චූදිතයා වරදකරු වශයෙන් සලකා විනයානුකූලව ක‍්‍රියා කල යුතු බව වත් පනතේ විශද ව සඳහන් නොවේ.

කොමිසමට දන්ඩණීය බලතල නො දීම සම්බන්ධයෙන ඉදිරිපත් වන අනෙක් තර්කය වන්නේ එවැනි වරදක් සම්බන්ධයෙන් කොමිසමේ කරුණු දැක්වීම මත මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියේ නඩු විභාගයක් පවත්වා වඩා දැඩි දඩුවම් පැමිණ විය හැකි බවයි. මෙහි දී මූලීක අරමුණ විය යුත්තේ තොරතුරු සැපයීමට එරෙහිව කටයුතු කරන අයට දඩුවම් කිරීමට වඩා තොරතුරු සැපයීම සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට ඇති අධිකාරී බලයට ගරු කිරීමට සියළු ආයතන පොලඹවා ගැනීමයි. එය කළ හැක්කේ තොරතුරු කොමිසම බෙලහීන කිරීමෙන් නොව බලවත් කිරීමෙනි අනෙක් අතට ප‍්‍රධාන කාරණය වන්නේ තොරතුර ඉල්ලා සිටි පුරවැසියාගේ අවශ්‍යතාව ඉටු කර දීමට කටයුතු කරීම මිස ඔහු හෝ ඇය උසාවි නඩු වාරවල සාක්ෂි දීමට කැඳවා තොරතුරු අයිතිය එපා කරවීම නොවේ.

ඒ අනුව පණත් කෙටුම් පතේ ඇති තිස් අටවැනි වගන්තියට අවසානයට පහත සඳහන් සංශෝධනය හෝ ඒ හා සමාන වගන්ති එක් කිරීමෙන් දැනට බෙලහීන ව ඇති තොරතුරු කොමිසම කිසියම් දුරකට සවි බල ගැනවිය හැකිය.

ඒ නිසා 38 වන වගනත්යේ අවසානයට ඇති ‘‘කොමිෂන් සභාව විසින් එම කරුණ පිළබඳ උචිත විනය අධිකාරියේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය” යන බෙලහීන වගන්තිය වෙනුවට පහත සඳහන් පාඨ ඇතුලත් කළ යුතුය.

‘‘කොමිෂන් සභාවේ නිගමනයට අනුව විනයානු කූලව කටයුතු කොට කොමිෂන් සභාවේ නිගමනය ලැබී දෙසතියක් ඇතුළත ඒ අනුව පනවන ලද දඩුවම ගැන කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දිය යුතුය.

ඒ හැර කොමිසම් සභාව නිගමනය කළ අන්දමට තොරතුරු අයදුම්කරුට අදාළ තොරතුර ලබාදෙන තෙක් ගතවන හැම දිනක් පාසා රුපියල් දහස බැගින්වන අධිභාරයක් කොමිසන් සභාවට ගෙවන මෙන් සහ තොරතුරු අයදුම්කරුට කොමිසම විසින් නිගමනය කරන පරිදි උචිත වන්දි මුදලක් ගෙවන මෙන් අදාල ආයතනයට නියම කිරීමටත් කොමිසන් සභාවට බලය ඇත්තේය.”

ඇටෝනිජනරාල් වරයා සම්බන්ධ අයුතු මුක්තිය

යෝජිත පනත් කෙටුම්පතේ 5.1 (ඊ) යටතේ ඇටෝනි ජනරාල් සහ ඔහුගේ සහ කරුවන්ට දී ඇති මුක්තිය සාධාරණීය කළ නො හැක්කක් වන අතර පනතේ හැඳින්වීමේ සඳහන් කර ඇති පොදු අධිකාරිවල විනිවිද භාවය සහ වගකීම පිළබඳ සංස්කෘතියක් පෝෂණය කිරීම සම්බන්ධ මුළධර්මයට මුළුමනින් ම පටහැනි ය.

පහත දැක්වෙන කලුකර ඇති කොටසෙන් දැක්වෙන්නේ ඇටෝනි ජනරාල් වරයාට ලබා දී ඇති ඒ අනුචිත මුක්තිය හා ඒ සම්බන්ධ අපේ සාකච්ඡාවට අදාළ වන ආනෂුංගික වගනත්ය.

5.1
(ඊ) ඔවුන් ගේ සේවා සැපයීමේ දී නීතිපතිවරයා හෝ නීතිපතිවරයාට සහාය දක්වන යම් නිළධරයකු සහ පොදු අධිකාරයන් අතර පවතින යම් සන්නිවේදනයක් ඇතුළුව, යම් ලිඛිත නීතියක් යටතේ හෙළිදරව් කිරීම සඳහා අවසර දී නොමැති වූල වෘත්තිකයන් සහ එම වෘත්තිකයන් විසින් සේවා සපයනු ලබන යම් පොදු අධිකාරියක් අතර පවතින යම් සන්නිවේදනයක සංයුක්ත වන්නා වූ තොරතුරක් වන අවස්ථාවක දී;

(උ) භාරකාර සම්බන්ධතාවයක් පැවතීම හේතුවෙන් එම තොරතුරු රහසිගතව තබා ගැනීම අවශ්‍ය වන අවස්ථාවක දී;
(ඌ) එම තොරතුරු හෙළදිරව් කිරීම මගින්
(i) යම් අපරාධයක් වැළැක්වීම හෝ ඒ පිළිබඳව සොයාගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝ
ඔවුන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් බලවත් අගතියක් සිදුවන අවස්ථාවක; හෝ
(ii) නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ‍්‍රයක
අනන්‍යතාවය හෙළිවන අවස්ථාවක දී;”

යම් අපරාධයක් සම්බන්ධයෙන් කර ගෙන යන විමර්ශනයකට හානියක් සිදු විය හැකි අවස්ථාවක දී හැරෙන්නට, ඇටොර්නි ජනරාල්වරයෙකු ට හා ඔහුගේ නිලධරයන්ට මෙවැනි පූර්ණ මුක්තියක් වෙනත් කිසිදු යහපත් තොරතුරු අයිතිය පිළිබඳ නීතියකින් ලබාගත නො හැක. අත්‍යවශ්‍ය අවස්ථා වලදී ඊළගට එන (උ) සහ (ඌ) යන වගන්ති දෙකෙන් ඇටෝර්නි ජනරාල්වරයාද ඇතුළුව නීතිය ක‍්‍රියාත්මක කරවන ආයතන වලට දී ඇති ආවරණය ඇති තරම් ප‍්‍රමාණවත් ය.

ඇටොර්නි ජනරාලවරයා කටයුතු කරන ආකාරය සහ ඔහු විසින් දෙනු ලබන උපදෙස් නීතියට කිසිසේත් ම පටහැණි විය නො හැකිය. එ නිසා ම ඒ බව පුරවැසියන්ට විනිවිද දැකිය හැකි විය යුතුය. ඒ අනුව ඉහත කලුකර ඇති කොටස පනත් කෙටුම් පතින් ඉවත් නො කළ හොත් ඇටෝර්නි ජනරාල් හා ඔහුගේ සහකාරයන් විසින් දැක්විය යුතු විනිවිදභාවය පළිබඳ සමාජ වගකීම සහමුලින්ම නො සලකා හැරීමට ඉඩ ලැබේ. හැරත් මේ වගන්තිය නිසා ඇටොර්නි ජනරාල් වරයා කිසියම් චූදිතයෙකු අයුතු ලෙස මුදා හැරීමට උපදෙස් දී ඇතැයි හෝ දේශපාලනික හේතු නිසා පක්ෂග‍්‍රාහීව කටයුතු කර ඇතැයි සැක සිතෙන අවස්ථාවකදී පවා, එම සිදුවීම සෑහෙන කලකට පෙර සිදුවුවද, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම අවහිර කර ඇත. ලංකාවේ ඇතැම් ඇටෝනි ජනරාල්වරයෙක් කර ඇති අකටයුතුකම් වික්ටර් අයිවන් මහතා ලියූ ’’නොනිමි අරගලය’’ නමැති පොතෙන් කියවා දැනගත හැකිය.

අනෙක් අතට උසාවියක පවත්වා ගෙන යන නඩුවක දී කල්තියා තොරතුරු පිටවීම වැලැක්වීමට 5.1 (උ) යටතේ ඇටෝර්නි ජනරාල්වරයාට හා ඔහුගේ නීතිඥයනට අවශ්‍ය පමණට අවසර තිබේ. ඒ නිසා ඉහත ඉරි ඇඳි වගනත් කොටස යටතේ ඇටෝනි ජනරාල් වරයාට දී ඇති පූර්ණ මුක්තිය යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමයේ තිබිය යුතු පාරදෘෂ්‍ය භාවය හිතුවක්කාර ලෙස නොතකා හැරීමකි. එම වගන්ති කොටස යෝජිත තොරතුරු අයිතිය පිළබඳ නීතියෙන් සහමුලනිම ඉවත් කළ යුතුය.

දූෂණ වංචා හෙළි කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සේවකයන් ආරක්ෂා කිරීම

බොහෝ යහපත් තොරතුරු අයිතිය පිළිබඳ නීති අයුතු ක‍්‍රියා සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් තොරතුරු එළිදරව් කිරීම දිරි ගන්වන නමුත් ආයතන තුළ සිදු වන අකටයුතු කම් පිළිබඳ තොරතුරු ස්වේච්ඡාවෙන් එළිදරව් කිරීම යෝජිත කෙටුම්පත මගින් දිරි ගන්වා නැති වීම බලවත් අඩුවකි.

ආයතන මට්ටමේ යහපාලනය දිරි ගැනවීමට නම් අයහපත් පාලනය පිලිබඳ තොරතුරු වසන් කිරීමට ඇති ඉඩ අවුරා දැමිය යුතු ය. එය කල හැක්කේ ආයතන ගත දූෂණ, වංචා, නීති විරෝධී කටයුතු සද්භාවයෙන් එළිදරව් කිරීමට ඒ ආයතනවල සේවයේ නියුතු සේවකයන් දිරිගැනවීම හා එවැනි සේවකයනට අවශ්‍ය රැකියා ආරක්ෂණය සහතික කිරීමයි.

එබැවින් පහත දැක්වෙන අමතර වගන්ති අවසාන කෙටුම්පතේ 30 වැනි වගන්තියට අනතුරුව එක් කළ යුතුය.

(30 ආ. ”වැරදි ක‍්‍රියාවක් යැයි සැලකිය හැකි සිදුවීමක් සම්බන්ධයෙන් හෝ මහජන සෞඛ්‍යයට, ජීවිතාරක්ෂාවට හා පරිසරයට හානිදායක කටයුත්තක් සම්බන්ධයෙන් සද්භාවයෙන් යුක්තව සහ ප‍්‍රමාණවත් සාක්ෂි සහිත ව ස්වේච්ඡාවෙන් තොරතුරු එළදිරව් කරන පුද්ගලයෙකුට එරෙහිව, ඒ තැනැත්තාගේ සේවා කොන්දේසිවල කුමක් සඳහන් වුවද, නීතිමය, පරිපාලනමය හෝ රැකියා නියුක්තිය සම්බන්ධව දඬුවමක් පැනවිය නොහැක්කේය.

මෙහිදී වැරදි ක‍්‍රියාවක් යන්නට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධයක් යැයි සැලකෙන ක‍්‍රියාවක් කිරීම, නීතියානුකූල ව කටයුතු නො කිරීම, යුක්තිය නිසි ලෙස ඉටු නොවීම, වංචා කිරීම හා වංක ලෙස කටයුතු කිරීම හා කිසියම් මහජන අධිකාරියක් බරපතළ ලෙස දුර්පාලනයට ලක් කිරීම අයත් වේ.”

කෙතරම් යහපත් නීති කෙටුම්පත් තිබුණ ද එකී නීති ක‍්‍රියාත්මක කිරීමේ දී කේන්ද්‍රීය වන ආයතන වලට නිසි බලතල දී නොමැති විට පණත මගින් බලාපොරොත්තු වන අභිප‍්‍රාය ඉටු නොවේ. ඒ නිසා තොරතුරු කොමිසමේ ඇති බෙලහීන බව නැති කොට එය ගෞරවාන්විත ආයතනයක් බවට පත් කළ යුතුය. තොරතුරු පනතක ආදර්ශ පාඨය විය යුත්තේ උපරිම අනාවරණය මිස යම් යම් රාජ්‍ය නිලධාරීන්ට අභිමත පරිදි ඔවුන්ගේ ගනුදෙනු විනිවිද භාවයට ලක් කිරීමෙන් වැලැක්වීම නොවේ. ඒ නිසා පස් වැනි වගන්තිය යටතේ පනවා ඇති සීමා තුල දී වුව ද ඇටෝර්නි ජනරාලවරයා සහ අධිකරණයද ඇතුලත් ව රාජ්‍ය ආයතන අතර සිදුවන ගණුදෙනු අවශ්‍ය පමණට විනිවිද පෙනෙන සුළුවිය යුතුය. මේ නිසා පස්වැනි වගන්තිය යටතේ ඇටෝනි ජනරාල් වරයාට දී ඇති මුක්තිය ඉවත් කළ යුතුය. හැරත් පොදු අධිකාරිවල, විනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමට නම් එම ආයතන වල යහපාලනය දිරි ගන්වමින් දුෂණ වංචා හෙළදිරව් කිරීමට කැප වන සේවකයන් ආරක්ෂා කළ යුතුය. ඒ සඳහා සද්භාවයෙන් යුතුව කරුණු සහිත ව දුෂණ වංචා හෙළදිරව් කිරීමට ඉදිරිපත් වන අය එකී ආයතන වල ඉහළ නලිධාරීන්ගේ පළිගැනීම් වලින් ආරක්ෂා කිරීමේ විධි විධාන මේ පනත මගින් හඳුනවා දිය යුතු ය.

– උපුටා ගැනීම විකල්ප අඩවියෙනි


Archive

Latest news

Related news