බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය – ලියෝ ටෝල්ස්ටෝයි ( අනා කැරලිනා )
බළලා මල්ලෙන් එළියට පැන්නේය. ඒ නැගෙනගිර මහා ඇමතිවරයාට ලබා දුන් දිවා භෝජන සංග්‍රහයක් අරඹයාය. එය මෙවළමක් ලෙස තබාගෙන ඊට දින කිහිපයකට පෙර නැගෙනහිර නාවික ආඥාපති ලෙස පත් කරනු ලැබූ රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතාට එරෙහිව මඩ ප්‍රහාර රාශියක් එල්ල වෙමින් තිබේ. එසේම ඇතැම් විවේචන වඩාත් සුක්‍ෂමව චිත්‍රණය කොට ඇත. අදාළ දිවා භෝජන සංග්‍රහය, දේශපාලනික නියෝගයක් මත ක්‍රියාත්මක වූ එකක් වන අතර නාවික හමුදාවට එය ප්‍රතික්ෂේප කොට නැති ප්‍රශ්ණයක් ඇති කිරීමට නොහැකිය. එවැනි අනවශ්‍යය ගැටුමක් ඇති වූයේනම්, මේ මොහොතේ මෙරට දේශපාලන තත්වය හාත්පසින්ම වෙනස්වීමට ඉඩ තිබුණි. සැබවින්ම මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රට තල්ලු කිරීමට මාන බලන්නේ එම දිශාවට විය හැකිය.විශේෂයෙන්, ආරක්ෂක අංශ තුළ මතුකරන අභ්‍යන්තර අරගලයකින් හෝ ගැටුමකින් යළිත් දේශපාලන බලය තමන් අතට ගැනීම සඳහා රාජපපක්ෂ මහත්වරුන් දැඩි උත්සාහයක නිරතවෙන සැටියෙකි.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ ඇති කාරණා කිහිපයක් හඳුනා ගැනීම වැදගත් වේ. ත්‍රිවිධ හමුදාව විසින් නැගෙනහිර මහඇමතිවරයාට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය ජනාධිපතිවරයා වහාම මෙහි පැමිණි පසු අවලංගු කළේය. දේශපාලනික ව්‍යුහය තේරුම් ගැනීමේදී එය වඩාත් ප්‍රඥාගෝචර සිදුවීමක් වන අතර එහිදී පැන නගින මූලික සදාචාර සම්පන්න ගැටලු කිහිපයක් ඇතිබව නොඅනුමානය. මෙය දේශපාලනික වශයෙන් තම පටු වාසි ලබා ගැනීම සඳහා යොදා ගැනීම ඇතැමුන්ගෙන් දක්නට ලැබීම අතිශය කණගාටුදායක කාරණයකි.
අද දින ( ජුනි 5 , 2016 ) මුද්‍රණය කළ “සන්ඩේ අයිලන්ඩ්” පුවපතේ දේශපාලන තීරු ලිපිය මඟින් රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතා සම්බන්ධයෙන් විශාල හෑල්ලක් ඉතා සුක්‍ෂම ආකාරයෙන් ලියා ඇත. ඊට යොදා තිබූ මාතෘකාව මඟින්ම, අදාළ ලේඛකයා හෝ එම ලේඛකයාගේ ලිපියට මාතෘකාව ලැබූ කතුවරයා පාඨකයා තුළ සැකයක් මතු කිරීමට උත්සහ කරනු ලබයි. එහි මුඛ්‍ය අරමුණ, අදාළ පළාතේ ආඥාපති ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ඉන් ඉවත් කිරීම අයහපත් කාරණයක් බව පෙන්වීමය. නැගෙනහිර ආඥාපතිවරයා කොළඹට මැරූ කොට ඔහු නාවික හමුදාවේ ස්වේච්ඡා බලකායේ අණදෙන නිලධාරියා කිරීම , නැගෙනහිර මහඇමති වරයා සහ නාවික හමුදා නිලධාරියෙකු අතර සිදු වූ සිද්ධියට අදාළ නැති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. රොසයිරෝ මහතා, මෙලෙස මාරූකිරීම වූ කලී නාවික හමුදාපතිවරයාගේ තීරණයක් වූ අතර ඊට ප්‍රභල පරිපාලනමය හේතු තිබූ බව පැහැදිළි කාරණයකි.
අදාළ පුවත්පතේ තීරු ලිපිය ලියූ ලේඛකයා/ කතුවරයා, මෙම ලිපියට එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව යැයි තම මාතෘකාව යොදා තිබේ. ඉන් පසු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හිටපු සේවකයෙකු නැගෙනහිර නාවික ආඥාපති වූ බව උප සිරස්තලයකින් කියන්නේය. මේ මේ ආකාරයටම අතීතයට ගෙනගොස් රටේ ඇතැම් සිදුවීම් ගැන මෙසේ සටහන් කළොත් ඔබට මතුවන හැඟීම කුමක්ද? ඒ සඳහා මෙවැනි උදාහරණ කිහිපයක් සඳහන් කර බළමු.
එක්සත් ජනපදයේ පුරවැසියෙකු ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ධූරයට; එක්සත් ජනපදයේ පුරවැසියෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපති ධූරයට; රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් මෙහෙවනු ලැබූ “ප්‍රා” නමැති කල්ලියක සිටි ඔලුබක්කෙක් ජාතික පුවත්පතක ප්‍රධාන දේශපාලන තුරුලිපි කතුවරයා වෙයි; හමුදාවෙන් පළාගිය එක්තරා මේජර් ජනරාල් වරයෙක් එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණය ලැබීමෙන් පසු යළි මෙරටට පැමිණ පකිස්ථානයේ මහකොමසාරිස් ධූරයට; ආදී මාතෘකා කියවනවිට කුතුහලය සමඟ මතුවන මූලික මනෝභාවය කුමක්ද? ජනමාධ්‍යවේදය නමැති උතුම් විෂය වර්තමානයේදී මුහුණ දී සිටින අවුල මේවායෙන් විද්‍යාමාන නොවන්නේද? ඇමෙරිකාවේ පුරවැසියෙකු වූ පමණින්, ආරක්ෂක ලෙකම්වරයා හෝ යුධ හමුදාපතිවරයා එම රටේ ඒජන්තයෙකු ලෙස හැඳින්වීම හාස්‍යය ජනක විහිළුවක් බව අපි දැන් දන්නෙමු. මන්ද අදාළ මාතෘකාව අපට මේ මොහොතේ කියවීමට ලැබෙනේ, සැලකිය යුතු කාලයක් ගත වීමෙන් පසුය.
මේ හා සමානව ට්‍රැවිශ් සම්බන්ධයෙන් අදාළ ලේඛකයා ගෙතීමට හදන කතාව විමසීම සහ එහි පෙලී අතර ඇති සැබෑ වුවමනාව හඳුනා ගැනීම වැදගත් වේ. එසේම අදාළ ලිපියේ මතුකර ඇතැම් කාරණා විශේෂ අවදානයක් යොමුකළ යුතු කරනා වේ. ඇතැම් කරුණු අමුලික බොරු වන අතර ඇතැම් දෑ පාඨකයාව මුලාවේ හෙළීමට ලියූ දෑ වේ. මේ නිසා ට්‍රැවිශ් සම්බන්ධයෙන් සිදු වූ කාරණය ඉතාම කෙටියෙන් හෝ පැහැදිළි කිරීම ඉතා වැදගත් මෙන්ම කාලෝචිත යැයි සිතේ. ඔහුගේ ජීවිතය ඉතා දීර්ඝ එකක් වන අතර එය මෙරට ජනතාවට ලැබුණු දායාදයකි.
ට්‍රැවිශ් ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ වූයේ 1982 නොවැම්බර් 15 වැනි දිනය. ඔහු බලෙන් විශ්‍රාම ගන්වනු ලැබුවේ 2011 ජූලි 02 වැනි දිනය. මෙහිදී එනම් “සන්ඩේ අයිලන්ඩ්” පුවත්පත වක්‍රව නගන චෝදනාව වූ කලී, හෙතම දේශපාලන පළිගැනීමකට ලක් වූවෙකු නොව, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැකියාව නිසා හෙතම එහි ගිය බවය. ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කළ බව සත්‍යයකි. නමුත් එය සිදු වූයේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ බලපෑමට සහ ඔහුවෙත ඒ වන විටත් නාවික හමුදාවේ ඉහළින් ට්‍රැවිශ්ට එරෙහිව ලැබී තිබුණු ඕපාදූප නිසාය.
ඒ සිදුවීම සිදුවන්නේ චලෙහි හී පිහිටි නාවික හමුදා අණුකණ්ඩයේ සේවය කළ නාවික හමුදාවේ සෙබළුන් සහ නිලධාරීන් පිරිසක් අතුරුදන් වීමේ සිදුවීමකට අදාලවය. එකල නාවික හමුදාව තුළ පක්ෂ දේශපාලනය විශාල ලෙස ක්‍රියාත්මක වූ අවදියක් විය. එය නාවික හමුදා ඉතිහාසය තුළ වඩාත් වැඩියෙන්ම ක්ෂණිකව කේන්ති ගන්නා නිලධාරියෙකු නාවික හමුදාපති වීම සඳහා විශාල යටි කූට්ටු කටයුතු කරන කාලයක් විය.එහි මල් නෙලීමට ඔහුට 2011 ජනවාරි 15 දින සිට 2012 සැප්තැම්බර් 26 වැනි දින දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස කටයුතු කිරීමෙන් උදාවේ.
මේ අතර, 2010 මාර්තු 20 වැනිදා ජෙට්ලයිනර් නෞකාවේ පැවත් වූ නාවිකා හමුදා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සාදයේදී සිදු වූ සිදුවීම ගැන අපි සියල්ලෝම දනිමු. එකල තිබුණු වඩාත් අප්‍රසන්න සහ කණගාටුදාක කාරණය වූ කලී, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ආයතනයේ ගැටලු සහ තම පෞද්ගලික අවශ්‍යතාවයන් ගැන කතාකිරීමට හැකි වාතාවරණයක් ඔහුට හිතැති අයවලුන්ට තිබීමයි. මේ නිසා, තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට පරිපාලන ක්‍රමවේදය අනුගමනය කිරීමට වඩා වැදගත්වන්නේ දේශපාලන ආවතේවකරුවෙකු වීම බව බොහෝ දෙනෙකු දැන ගත්තා පමණක් නොව, එහි ප්‍රතිඵලද ලබා ගත්හ.
චලෙහි හී පිහිටි චුන්ඩිකුලම් සිදුවීම සුදුවන්නේ මෙම වටපිටාව තුළය. අදාළ සිදුවීම ආරක්ෂක ලේකම්වරයාට දැනගැනීමට ලැබෙන්නේ දින කිහිපයකට පසුය. එය නාවික හමුදා මූලස්ථානයේ සිදුවූ වැරද්දක් නිසා මිස අදාළ ප්‍රදේශය භාර නිලධාරියා නිසා සිදු වූ දෙයක් නොවේ. නමුත් එය, ප්‍රදේශය භාර නිලධාරියා වූ විශ්‍රාමික වයිස් අද්මිරාල් සුසිත් වීරසේකර මහතා මත පැටවීමට ඇතැමුන් ප්‍රභල උත්සහයක් ගත්හ. ඊට හේතුව වීරසේකර මහතා දේශපාලන ගැතිකම් නොකිරීම සහ, එසේ නොකරන නිසා මෙය මෙවලමක් ලෙස තබා වීරසේකර මහතාගෙන් පළිගැනීමය. එසේම සේවයේ ඉතා දක්‍ෂ සහ ගුණගරුක නිලධාරියෙකු වූ ඔහු නාවික හමුදාපති ධූරයට පැමිණීම වැළක්වීමය. වීරසේකර මහතාට එරෙහිව සාක්ෂි දීම සඳහා ට්‍රැවිෂ් සින්නයියා මහතා බිලිබෑ ගැනීමට උත්සහ කරන්නේ මේ අතර තුරේදීය. එය ඔහු ප්‍රතික්ෂේප කළ විට ආරක්ෂක ලේකම් ඔහුට දැඩිව බැනවැදුණු බව සැලයි. බැන වැදීම් සියල්ල සාවදානව අසා සිටි හෙතම, අවසානයේ තමන්ට කතා කිරීම අවස්ථාවදෙන ලෙස ඉල්ලා, සිදුවීමේ ඇත්ත තත්වය පැහැදිළි කරනු ලැබීය. ඉන් පසු සිදු වූ දේ ඉතිහාසයට අදාළ කාරණයකි.
මේ අතර තුරේදී ආරක්ෂක ලේකම්වරයාට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් ලැබෙන අතර, අදාළ තනතුර පුරප්පාඩු වී ඇති බව දන්වා තිබේ. ඊට මේජර් ජනරාල් සමරසිංහ මහතාගේ නම පළමුව හෙතම යෝජනා කළේද? ඉන් පසු තානාපති කාර්යාලය විසින් ට්‍රැවිෂ් සින්නයියා මහතාගේ නම යෝජනා කළේද? යන්න දන්නේ අදාළ කාරණයට ඍජු සම්බන්ධයක් ඇති ඉතා සුළුපිරිසක් පමණි.
මෙහිදී වැදගත් වන්නේ, ට්‍රැවිෂ් සින්නයියා මහතා තමන්ට විශ්‍රම ගැනීමට නොහැකි බවත් නාවික හමුදාවේ සේවය කිරීමට කැමති බවත්, ආරක්ෂක ලේකම්වරයාට යළි යලිත් දැනුම් දීමයි. එය ගෝඨාබය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කිරීමයි. එසේම මෙහිදී සඳහන් කළයුතු අනෙක් වැදගත් කාරණය වූ කලී, එකල ජනාධිපති ලෙස සේවය කළ මහින්ද රාජපක්ෂ මහතා, ට්‍රැවිෂ් සින්නයියා මහතාට විශ්‍රම නොගන්නා ලෙස ඉල්ලා සිටියේ අදාළ කාරණය ගෝඨාභය සමග තමන් බේරලා දෙන්නම් බව පවසමිනි. නමුත් අවසානයේ ආරක්ෂක ලේකම්වරයා විසින් සිව්වන වරට කළ බලපෑම කරනකොට ගෙන ට්‍රැවිෂ් සින්නයියා මහතාට බලෙන් විශ්‍රාම ගැනීමට සිදුවිය. එසේනම් ඇමෙරිකානුවන්ගේ සැබෑ නියෝජිතයා වී සිටියේ කවුරුන්ද යන්න අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා අතර වෙනම ඍජු සම්බන්ධයක් තිබීමට හේතුව ඔවුහු ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනගත් නිසා යැයි සන්ඩේ අයිලන්ඩ් සඳහන් කිරීම අමූලික බොරුවකි. රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේය. මෙවැනි කාරණයක් ගෙතීම සඳහා හේතු දෙකක් තිබේ. පළමුවැන්න, ඔහු මහින්දගේ මිනිහෙක් බව චිත්‍රණය කරමින් වත්මන් ආණ්ඩුව තුළ යාම සැකයක් ඇතිකොට ඔහුට මෙරටට සේවය කිරීම වැලක්වීමය. දෙවැන්න, ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක් නොවුවෙකු බව ඒත්තු ගැන්වීමය. තමන් දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක්වූ අකාරය ගැන ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලියූ පිටු හතරකින් සමන්විත ලිපිය යළි කියවීමට අවස්ථාවක් ඇත්තේ නම්, මෙම සිදුවීමේ ඇත්ත නැත්ත තේරුම් ගැනීමට හැකිවේ. එනම්, සන්ඩේ අයිලන්ඩ් දේශපාලන තීරු ලිපිය ලියන්නාගේ තඩි වුවමනාව තේරුම් ගැනීමට හැකි වනු ඇත.
මෙහිදී සඳහන් කළයුතු තවත් වැදගත් සිදුවීමක් වූ කලී, 2011 ජනවාරී මාසයේ 08 වැනි දින ජනරාල් සරත් ෆොන්සේකා මහතා කැලෑ නීතිය යටතේ අත්අඩංගුවට ගත් දින රාත්‍රියේම කිසිඳු පෙර දැනුම්දීමක් නොමැතිව රියර් අද්මිරාල් ( එකළ කොමදෝරු) ට්‍රැවිෂ් සින්නයියා මහතා දැරූ ධූරයෙන් ඉවත් කිරීමයි. ඉවත් කිරීමට බල පෑ එකම “ව්‍යාජ ඕපාදූපය” වූයේ ඔහු ෆොන්සේකාගේ අනුගාමිකයෙක් යැයි ලේබල් ගසා තිබීමයි. නමුත් සත්‍යය කාරණය වූ කලී, හෙතම නාවික හමුදාවේ ගරුත්වය සහ තම වෘත්තිය ගරුත්වය රැකගෙන රැකියාව නිවැරදිව කිරීමයි. වෙන නිලධාරීන් “නාවික හමුදාපති” වීම සඳහා රාජපක්‍ෂවන්දනය කරන විට රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා කරනු ලැබුවේ ශ්‍රී ලංකා මාතෘභූමිය සහ එහි සිටින නිරායුධ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කිරීමයි. හන්ටර් කිලර් නමැති ඛෙත නාමයෙන් හැඳින්වනු ලැබූ මෙහෙයුම් සියල්ලම පාහේ සාර්ථක වූයේ ඔහුගේ කෞශල්‍ය හේතුවෙනි.
ඇමෙරිකානු තානාපති කාර්යාලය රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතාගේ නම යෝජනා කළේනම් ඊට හේතුව, වොෂින්ටන් හී පිහිටි ජාතික ආරක්ෂක විශ්විද්‍යාලයේ පාඨමාලා හදාරන අවදියේදී දැක් වූ දක්ෂතාවයයි. හෙතම එහි කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කිරීමට සමත්විය. ඇතැම් හිටපු නාවික හමුදාපතිවරුන් අදාළ පාඨමාලාව සමත්වීම සඳහා තවමත් උත්සහ කරති.
මෙහි දැකිය හැකි වඩාත් කුහක කාරණය වූ කලී, රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා ඇමෙරිකානු නියෝජිතයෙකු බව කීමට හැකි උපරිම කරුණු දක්වමින්, ඔහු අදාළ රැකියාවෙන් ඉවත්වීමට හේතුව ඉදිරිපත් නොකිරීම සහ වඩාත් පිළිකුල්සහගත ලෙස, ඇමෙරිකානුවන් හමුවේ යුද්ධයේ සිදු වූ කරනා පාවාදී ඇතිබව වක්‍රාකාරව කිරීමට තැටමීමයි. අදාළ ලිපියේ මුඛ්‍ය අරමුණ නාභිගත වන්නේ එම කරණය මූලික කර ගනිමිනි. එය වඩාත් කෛරාටක ලෙස සුමට කොට ඇත්තේ ඔහු අදාළ රැකියාවෙන් ඉවත වී ඇමෙරිකාව නොව වෙනත් රටකට ගියේය, යනුවෙන් සඳහන් කරමිනි. රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා අදාළ රැකියාවෙන් පසු තම පවුල පිටින්ම ගිය ඔස්ට්‍රේලියාව්ටය.
ඕස්ට්‍රේලියාවේදී ඔහු, ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සම්බන්ධ වූ ආයතනයක වඩාත් භාරාදූර වගකීමක් ඇති රැකියාවක් කරනු ලැබීය.එය මෙම ලේඛකයා හිතා මතාම සඳහන් කොට නැත. ඊට හේතුව, එක්තරා “ලේඛකයෙකු” තම සගයින් වලපල්ලට තල්ලුකොට, තමන්ගේ ආරක්ෂාව සඳහා ඔස්ට්‍රේලියාවට පලාගොස් රටේ ජාතික පුවත්පතක දේශපාලන තීරු ලිපිය ලිවීමට අවශ්‍ය පසුබිම සකස් වන තෙක් එහි සැඟවී සිටිමින් අංචි ඇල්ලු ආකාරය සැඟවීමට දැයි නොදනිමි.
කෙසේ වෙතත් මෙම සිදුවීම තුළින් මතුවන මූලික කාරණයක් තිබේ. එනම්, රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නියාලු සහ කෛරාටක විවේචකයින්ගේ පහරදීමට ලක්වීම ආරම්භ වූවා පමණි. මෙය නාවික හමුදාව තුළ ආරම්භ වූයේ ඔහු යළි සේවයේ පිහිටුවීමට ලබාදුන් තීරණයත් සමඟිනි. ඔහුගේ පැමිණීම තමන්ට නාවික හමුදාපති ධූරයට පත්වීමට තිබූ අවස්ථාව අහිමිවීමක් බව දැනගත් ඇතැමුන් ඔහුගේ ගමන වැලැක්වීමට උපරිම වෙහෙස ගත්තේය. නමුත් වියිස් අදිමිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා වඩාත් බුද්ධිමත් සහ වැදගත් තීරනයක් ගනිමින් නාවික හමුදාවේ ගෞරවය ස්ථාපිත කිරීමට සමත් විය. ඔහු සේවයේ පිහිට වූ පසු නාවික හමුදා මූලස්ථානයේ ඔහු ඉල්ලා සිටි තනතුර ඔහුට නොලැබුණේ , නාවික හමුදාව තුළ මතු වූ අභ්‍යන්තර අරගලය තුළිනි. නමුත්, මේ වනවිට නැගෙනහිර නාවික ආඥාපතිධූරයට පත්කිරීම ඉතා යහපත් තීරණයකි. මේ නිසා ඔහුට නාවික හමුදාවේ පරිපාලනමය කටයුතු වලට ඍජු දායකත්වයක් ලබා දීමට හැකිය.
ඉන් පසු නව ආකාරයක උගුල් ඇටවීමට සිහින බොඳ වූ අයවලුන් කටයුතු කමින් සිටිති. මෙය මොවුහු විලිලැජ්ජා විය යුතු කාරණයකි. මෙය මීට පෙරද සිදුවිය, එක්කෝ තම බිරින්දෑවරුන් මාර්ගයෙන් පන්සල් වල හාමුදුරුවන් අල්ලාගෙන තම සිහිනයට යන පාරේ රෝසමල් එලන ලෙස ඇරයුම් කළෝය. නැතහොත්, කතෝලික පල්ලියේ ඉහළපෙළේ අයවලුන් අභිමුඛව වැටී තම කැමැත්ත දේවයන් වහන්සේගේ කැමැත්ත බවට හරවා දෙන ලෙස ඉල්ලුහ. අදත් සිදුවෙමින් පවතින්නේ එම නටකයේම දිගුවක් යැයි කිසිවෙකුට ඔප්පු වුවහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.
බොරු කරමින් , සමාජය භීතියට පත් කරමින් සිටි පරිපාලනයක් ජනතාව හමුවේ පරාජයට පත් වූ විට, සෑම විටම මාන බලන්නේ යළි බලය කෙසේ හෝ ලබා ගැනීමට මිස නිවසට වී විශ්‍රාම සුවයෙන් සිටීමට නොවේ. ඒ සඳහා ඇති එකම මාර්ගය, ජනතාව සහ තීරණ ගන්නා අයවලුන් මුලාවේ හෙළීමය. රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා මූලික කොට ගනිමින් ලියා මුද්‍රණය කොට ඇති ලිපියේ අරමුණද ඊට දෙවැනි නොවේ.
නමුත් වැදගත් වන්නේ මෙවැනි දේශපාලන ඕපාදූප මූලික කොට ගනිමින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා මහතා පරෙස්සමින් ශක්තිමත් කරමින් සිටින නාවික හමුදාවේ පරිපාලන කොන්ද කඩා දැමීම නොවේ. එවැනි ඛේදවාචක නොකළ යුතුවා මෙන්ම, දක්ෂයාට හිමි තැන දීමට බලධාරීන් මනා සිහියෙන් කටයුතු කළ යුතු වේ. රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා වූ කලී, සංස්ථාවක පරිපාලන ක්‍රමය සහ එහි සේවකයින්ගේ දක්ෂතාවය සහ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීමට ශූරතාවයක් ඇති වටිනා නිලධාරීකී. මේ නිසා, අදාළ ආයතන, යළිත් දුර්ගන්ද දේශපාලනයකට නතුකොට, ආරක්ෂක ලේකම්ධූරය හමුවේ සපත්තු ලේවකන්නන් බවට පත් වී තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගන්නා සංස්ථා ප්‍රධානින් සිටින වැසිකිළියක් බවට පත් නොකිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුය.