Thursday, March 28, 2024

මීළඟ යුධ හමුදාපති: පැරණි ගුණ්ඩු අලුත් වෙයි – නිලන්ත ඉලංගමුව

බල්ලෙකුගේ නායකත්වය යටතේ සිංහයින් සිය දෙනෙකුගෙන් සමන්විත හමුදාවක් ඔබ තැනුවහොත්, සියලුම සිංහයන් බල්ලන් මෙන් සටනේදී මැරී යනු ඇත. නමුත් ඔබ, සිංහයෙකුගේ නායකත්වය යටතේ බල්ලන් සිය දෙනෙකුගෙන් සමන්විත හමුදාවක්  තැනුවහොත් බල්ලන් සියලු දෙනාම සිංහයන් මෙන් මැරී යනු ඇත – නැපෝලියන් බොනපාට් 

පැරණි සටන අලුත් වී තිබේ. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම ශ්‍රී ලංකාවේ අනෙකුත් ආයතන මෙන්ම ආරක්ෂක අංශ වල තනතුරු සඳහාද ප්‍රභල පොරයක් පැවතුණි. මෙය අනූව දශකයේ මුලසිට අදාළ සංස්ථා වලට මුහුණ දීමට සිදු වූ කණගාටුදායක තත්වයකි. රාජ්‍යය සංස්ථා සීමාව ඉක්මවා දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලය මෙයයි. ව්‍යාකූල ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑව එයයි. ඉන් අලුත් වන්නේ මුහුණු පමණි. මේ හේතුව නිසා බොහොමයක් තම ආත්මගරුත්වය ගැන සහ වෘත්තීයේ ඇති වටිනාකම ගැන සිතූ නිලධාරීන්ට සිදු වූයේ, කළයුතු වැඩකටයුතු රාශියක් තිබියදී ගෙදර යෑමටය.

දේශපාලනික සහ අනෙකුත් කාරණා පැත්තකින් තැබුවත්  වැඩ තහනමට ලක්වීමට සිදුවීම නිසා ගෙදර යෑමට සිදු වූ පොලිස් පරීක්ෂක මඩකුඹුර මහතා මීට කදිම නිදසුනකි. කතා සියල්ල අවසානයේ ඔහුට යුක්තිය විසඳුනේ මසකට රුපියල් හාරදාහස් පන්සීයකට අඩු විශ්‍රාම වැටුපක් පමණක් ඉතුරු කරමිනි. මේ සඳහා සැපයිය හැකි නිදසුන් ආරක්ෂක අංශ සියල්ලගේම අතුරු සිදුරු නැතුව පිරී තිබේ. එය මේවායෙහි ඇත්ත ඉතිහාසයයි.

අනෙක් අතින් බලයේ සිටින්නාගේ මුළුතැන් ගෙවල් ලෙව කෑමෙන් ලබන පහස සීමාවකින් තොරව භුක්ති විඳීමෙන් සිදුවන අභාග්‍යය වේ. මීට කදිම නිදසුන ඊයේ රිමාන්ඩ් කරනු ලැබූ හිටපු නියෝජය පොලිස්පති අනුර සේනානායක මහතාය.

මේ සියලු තත්වයන් වලින් ඔප්පු කරමින් සිටින්නේ, රාජ්‍යය සංස්ථා දිරාගොස් ඇති ප්‍රමාණයයි. රට යලිත් සුභවාදී අතට ගැනීමට නම් වෙනස් කළ යුත්තේ මෙම දිරාගිය සංස්ථාවයි. එය රටේ පමණක් නොව නායකත්වයේ දිගුකල් පැවැත්ම සහ එහි අභිමානය සඳහා හේතු වේ. ඒ හැරෙන්නට, තම වාසි වෙනුවෙන් පෙනී සිටින්නා අදාළ ස්ථාන වල තීන්දු-තීරණ ගන්නා බවට පත් කළ හොත් සිදුවන්නේ අතීතයේ සිදු වූ දෑ යළිත් වෙනස් මුහුණුවරකින් සිදු වීම පමණි.

මෙම තත්වය අඩුතරමින් එක් වැදගත් ආයතනයක හෝ නවතා දැමීම සඳහා කදිම අවස්තාවක් මේ වන විට උදා වී තිබේ. ඒ මීළඟ හමුදාපති වරයා සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය ඔස්සේය. මෙය ඉතා පරෙස්සමින් ලිහා දැමිය යුතු ගැටලුවක් බවට මෝදු වෙමින් තිබේ. එය පරෙස්සමින් ලිහා බැලීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව තුළ සිදු වී ඇති අතිශය සංකීරණ පරිපාලන ව්‍යුහය සහ ව්‍යාකූල තත්වයකින් මතුපිටට පැමිණෙමින් ඇති අභ්‍යන්තර අරගලය මනාව කියවිය යුතුව තිබේ.  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුව දේශපාලනික වශයෙන් ස්ථාවරව ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන්නේ නම් අදාළ ගැටලුව සඳහා කල්පවතින විසඳුමක් ලබා දිය යුතුව තිබේ.

මෙම කාරණයට අදාළ මුල්ම විෂබීජය යුධ හමුදාව තුළ විස්තාරණය වීමට පටන් ගන්නේ මේජර් ජනරාල් ලයනල් බලගල්ල මහතා මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් කටයුතු කරන කාලයේදීය. හමුදාපතිකම බලාපොරොත්තුවෙන් සිටි හෙතම එය නොලැබෙන බව ඇසූ තැන්හී තම කාර්යාලය වසා යතුර රැගෙන පලා ගියේලු. එවිට ඔහුට අදාළ ඉහළ පුටුව ලබා දීමට සිදු වූයෙලු. මෙය සිදු වන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාලයේදීය. යුධ හමුදාව ක්‍රමිකව තල්ලු වෙමින් පැවති දේශපාලනීකරණයේ වේගය සීඝ්‍ර කිරීමට අදාළ සිදු වීම ප්‍රධාන වූ බව බොහෝ දෙනෙකු පිළිගන්නා මූලික කරණය වේ. මෙය සමාන කළ හැක්කේ විශ්‍රාමික අද්මිරාල් දයා සඳගිරි මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට කළ වින්නැහියටය.

වර්තමානය වනවිට ජනරාල් ඩෙනිස් පෙරේරලා නැත. දේශපාලනඥයින් දුරකථනයෙන් කතා අකොට විවිධ දෑ කරන්න යැයි කියන විට, “ අයිසේ මමයි හමුදාපති, ඔහේ නෙමෙයි”, යයි කියා දුරකථනය විසන්දිකොට තම ආයතනයේ දියුණුව ගැන සිතන ලුතිනන් ජනරාල් හැමිල්ටන් වනසිංහලා ( තම 55වන උපන්දිනය දිනයේදී අදාළ තනතුරට පත් කළද)  අපට නැත. නමුත් මෙහි පවතින උඝ්‍ර දේශපාලනීකරණය විසඳිය නොහැකි යැයි ඉන් කියවෙන්නේ නැත. අඩු තරමින් මීළඟ වසර පහක කාලය තුළ නිවැරදි පරිපාලන ව්‍යුහයකට මෙම ආයතනය තල්ලු කළහැකි නම් මෙම කාරණය විසඳීමට හැකි වටපිටාවක් නිර්මාණය වනු ඇතැයි සිතේ. එය කළ යුතු කාරණයකි.

මහත් පරිශ්‍රමයකින් පසු, එවකට මොස්කව් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මෙජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, ලුතිනන් ජනාරාල් තනතුරට උසස්කොට යුධ හමුදාපති ධූරයට පත්කරනු ලැබීය. ක්‍රිශාන්තට ඒ සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

පෙර පැවති ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් වලට ලක් වීමට සිදු බව කීම සඳහා ඔහු ඉදිරිපත් කරනු ලැබූ මූලික කරණය වූයේ, රාජපක්ෂ ආණ්ඩුව සමඟ ඉතා ශක්තිමත් ගනුදෙනුවක් තිබු රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරට පත් කිරීමය. කෙසේ වෙතත්, “සීතල යුද්ධයෙන්” ජයගැනීමට සමත් වූ හෙතම, යුධ හමුදාපති ලෙස රාජකාරී ආරම්භ කළ දිනයේ සිට, මාධ්‍ය අතේ දුරින් තබා ගැනීමට සහ “නිහඩ” විප්ලවයක නිරත වීමට සමත්විය. ඒ නිසා ඔහුට වසරක සේවා දිගුවක් ලැබුණි. අදාළ සේවා දුගුව එළඹෙන අගෝස්තු මාසයෙන් නිමා වීමට නියමිතව තිබෙන නමුත් යලිත් සේවා දිගුවක් ලබා ගැනීම ඔහුගේ මුඛ්‍ය අරමුණ බව බොහෝ දෙනෙකු සඳහන් කරන ප්‍රචලිත කාරණයක් වී තිබේ.

මේ සඳහා විවිධ සංදේශ අරලිය ගහ මන්දීරයට මෙන්ම ජනාධිපති මන්දීරයට පමණක් නොව, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙතද යොමු වෙමින් තිබේ. පැවති අමනාපකම් බොහොමයක් පහ වී ගොස් ඇති සැටියෙකි. නමුත්, පාරසිරික තත්වය කෙසේ හෝ තමන්ගේ වාසියට හරවා ගනිමින් මහපුටුව අල්ලා ගැනීම සඳහා බොහෝ දෙනෙකු තරගයට පිවිසී සිටිති. ෆීල්ඩ් මාෂල් වරයා කුදලාගෙන ගොස් හමුදා අධිකරණය ඉදිරියේ තැබූ අයවලුන්ගේ සිට ඔබේසේකර වලව්ව හොරෙන් ලියා ගැනීමට කළහැකි “සියලුම දෑ” කළ අයවලුන් පමණක් නොවේ, ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා   මහතාගේ ගජ මිතුරන් ලෙස සිටිමින් තත්වය දරුණු වූ තැන රටින් පැනීමට සිදු වී පසුව යළි දිවයිනට පැමිණ සේවය ලබාගත් අයවලුන් දක්වා වූ සියලුම දෙනා සටනේ ඉරිදී ආරක්ෂක වළල්ල නියෝජනය කරමින් සිටිති. මෙම සංගීත පුටු තරගය දෙස පිට දෙස බලන අයවලුන්ට සිනහවක් සමග කණගාටුවක් මිස වෙනස් හැඟීමක් මතු වන්නේ නැත.

මීට දින කිහිපයකට පෙර, හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කැඳවා ඔහුට කළ හැකි උපරිම සැලකිල්ල කරනු ලැබීය. වෙනත් වචනයකින් කිවහොත් ක්‍රිශාන්ත, චීන ඉතිහාසයේ ප්‍රකට යුධ විශේෂඥකු වූ සුන් සුගේ යුධෝපායන් අනුගමනය කරමින්, ෆීල්ඩ් මාෂල් වරයා හමුවේ ආල්වන්තයෙකු වූ සැටියෙකි. මුලාව උපායක් ලෙස භාවිතා කොට දිනාගත හැකි යුද්ධ සඳහා සටන් කළ යුතු නොවේ, සුන් සු තම යුධ කලාව නමැති කෘතියේ සටහන් කළේය.

ඒ අනුව රටේ එකම ෆීල්ඩ් මාෂල් වරයාගේ දැවැන්ත පින්තූරයක් ෆීල්ඩ් මාෂල් වරයාගේ අතින්ම විවෘත කොට හමුදා ඉතිහාසයට නව පිටුවක් එය එකතු කළේය. පෙර පැවති ආණ්ඩුවෙන් ඔහුගේ පටි, තරු සහ තනතුරු ගලවා දමන විට අත්පොලසන් ගැසූ බොහෝ දෙනෙකු අදාළ උත්සවයේදී තම අතපොලසන් වල තනුව වෙනස් කරනු ලැබුවේ එදා සතුරා මෙදා මිතුරෙකු වී ඇති අයුරු සිතමින්, හමුදා ඉතිහාසයට නව රටාවක් එකතු කරමිනි.

මීට අමතරව මේජර් ජනරාල් මිලින්ද පීරිස් සහ මේජර් ජනරාල් සුමේද පෙරේරා මෙන්ම මේජර් ජනරාල් මහේෂ් සේනානායක මීළඟ යුධ හමුදාපති වීම සඳහා උත්සහ දරන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. මේජර් ජනරාල් මෙහේෂ් සේනානායක, යාපනේ අඥාපති ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබයි. ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාට පෙර ඔහු හමුදාපති ධූරය සඳහා පත්වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුහ. ඔහුට ඒ සඳහා විශාල විශ්වාසයක් තිබුණි. නමුත් බොඳ වූ සිහින හමුවේ යුධ ලේකම් ධූරයටත් ඉන්පසු යාපනයේ ආඥාපති ධූරයටත් හෙතම පත් වූහ. හමුදාවේ ඉතිහාසය ගෙන බැලුවහොත් යාපනයේ ආඥාපතිවරුන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙකු හමුදාපතිවරුන් ලෙස පසු කාලීනව කටයුතු කරනු ලැබූහ. ඒ විශ්වාසය අනුව යමින්, මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මීළඟ හමුදාපති ධූරය සඳහා පවත්වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනු ලබයි. නමුත්, එම විශ්වාසයන් මත තබා තීරණය කිරීමට තවමත් කල් වැඩි යැයි සිතේ.

එසේම සේනානායක මහතා අදාළ තනතුරට පත්වීම යළිත් පැවති දේශපාලනිකරණයේම දිගුවක් බවට පත් වීමේ අවදනාමක් තිබේ. ඉන් සේනානායක මහතා අදාල තනතුර සඳහා සුදුසු නැති නිලධාරියෙකු යැයි කියන්නේ නැත. ඔහු මේජර් ජනරාල් නන්ද උඩවත්ත වැනි දැවැන්ත වටිනාකමක් ඇති වැදගත් නිලධාරීන් හා සමානව මහා කැපකිරීමක් කළ නිලධාරියෙකි. අනෙකුත් නිලධාරීන් යුද්ධෙට වඩා මාධ්‍ය ඉදිරියේ ශබ්දය දමමින්, තම පෞද්ගලික වපසරිය තරකර ගන්නා විට තම නිලයේ වටිනාකම සහ ගරුත්වය ගැන මනා සිහියෙන් සිතා කටයුතු කළ නිලධාරීයෙකු වේ.

 නමුත්, හමුදාව තුළ පවතින සංකීරණ පරිපාලනමය ගැටලුව එවැනි පත් කිරීමක් විසින් විසඳිය හැකිද යන්න ගැටලු සහගතය. සේනානායක මහතා අදාළ තනතුර සඳහා පත්වුව හොත්, ඒ පත්වන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ “ගෝලයෙකු” හෝ “මිත්‍රයෙකු” ලෙසය. එය වත්මන් අර්බුදය විසඳීම සඳහා වැදගත් වන්නේ නැත.

 ඒ වෙනුවට මේ අවස්ථාවේ ඇති වැදගත්ම තීරණය වූ කලී වත්මන් හමුදාපතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දී, සංගීත පුටු තරගයක ලීලාවෙන් පවතින “හමුදාපති ධූරය සඳහා වූ තරගය” නිමා කිරීමට ශක්තිමත් වැඩපිළිවෙලක් වෙත යෑමය.

 මෙය මේ වන විට නාවික හමුදාව තුළ සිදුවී තිබේ. විවිධ අභියෝග මධ්‍යයේ තම ආයතනය පවිත්‍ර කිරීමට සහ තමන් තම ආයතනයේ ගරුත්වය රැකීමට කටයුතු කළ බව වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රිවින්ද්‍ර විජේගුණරත්න මහතාට කීමට හැකිය. එසේම ඔහු, විශ්‍රාම යන වයස පසුකළ පසු දිනක් හෝ සේවයේ නොසිටින බව ඍජුව සඳහන් කොට ඇත. තම ආයතනයේ මෙන්ම තමන් ගැන ගරුත්වයක් ඇති කෞශලයෙන් පිරිපුන් නිලධාරීන් හැසිරෙන්නේ එලෙසය. රවීට බොහෝ දෙනෙකුගේ උත්තමාචරය හිමිය.

එවැනි තත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවටද අමිල අවස්ථාවක් උදා වී තිබේ. මෙහිදී එහි සිටින ප්‍රධාන පෙළේ නිලධාරීන් තේරුම් ගත යුතු මූලික කාරණය වනාහී, සෑම අයෙකුටම හමුදාපති වීමට හැකියවාක් නොමැති බවයි. එසේම යුද්ධයේ සක්‍රීය දායකත්වයක් ලබා දුන් පමණින් හමුදාපති කළ යුතු යැයි කොන්දේසියක් තබා ගැනීම එතරම් යහපත් ගුණයක් නොවේ.

සේවයේ නිරත නිලධාරීන් රාශියකයකගෙන්, මීට කදිම නිදසුන, මේජර් ජනරාල් නන්ද උඩවත්ත මහතාය.  ඔහු යුද්ධය අවස්ථාවේ යුද්ධය කළේය. තම බලඇණි නිවැරදිව මෙහෙවනු ලැබුවේය.  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට, ජයග්‍රහණයේ සියලු ලකුණු තමා සතුකර ගතයුතු යැයි තිබූ දරදඬු ආශාව ක්‍රමිකව තම ආඥාපති ප්‍රදේශ තුළ  වෙනස් කොට නාවික හමුදාවේ සේවයද ලබාගෙන එක්සත් සටනක් කිරීමට සමත් විය. ඉන් ජීවිත අහිමි වූ සෙබළුන් සංඛ්‍යාව ඉතා අවම විය. යුද්ධය  නිමාවීමෙන් පසු තමන්ට කළ හැකි කටයුතු නිවැරදිව කිරීමට හෙතම සමත් වූයේය. අනෙකුත් නිලධාරීන් සෙබළුන්ගේ බත්පතින් පවා කොමිස් ලබා ගන්නා විට, උඩවත්ත මහතා වැනි සැබෑ නිලධාරීන් කරනු ලැබුවේ සෙබලුන්ගේ ජීවිතවල ඇති වැදගත්කම තමන්ගේ කරමතට  ගෙන වගකීම් සහිතව කටයුතු කිරීමය.

 මේ අනුව වැදගත් වන මූලික කාරණය වූ කලී යුද්ධයෙන් වසර හතකට පසු අප සිටින තැන තේරුම් ගැනීම සහ, යුධ හමුදාවේ පරිපාලන ව්‍යුහය යතා තත්වයට ගැනීමය. එසේම අග්‍රගණ්‍ය නිලධාරීන් වූ ජනරාල් ඩෙනිස් පෙරේරා මහතා කැප වීමෙන් ඇතිකළ පරිපාලන ව්‍යුහය යළි ශක්තිමත් කිරීමය. ඩෙනිස් පෙරේරා මහතා ආරක්ෂක සමාලෝචන කම්ටුවට ( ඩී. ආර්. සී. – ඩිෆෙන්ස් රිවීව් කොමිටි ) මුහුණ දීමට සිදු වූ කණගාටුදායක ඉරණම ගැන අපි දන්නෙමු. එය, එකතු වී ඉඩම් කොල්ල කෑ නිලධාරීන්ගේ අල්ලේ සේදී යනවිට හමුදාවේ පරිපාලන ව්‍යුහය දිරා  ගියේය. එහි ප්‍රතිඵලය ලෙස ඇතැමුන්ට හමුදාපති ධූරය පවා ලබා ගැනීමට හැකි විය. එසේ පත් වූ නිළධාරීයෙකුට දේශපාලන ආවතේවකම් කිරීම හැරෙන්නට ආයතනයේ දියුණුව සහ කල් පැවැත්ම උදෙසා කිසිවක් කළ නොහැකිය.

 එහි උග්‍ර අවස්ථාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. එනම් තම මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන ඡන්දය භාවිතා කිරීමේදී පවා බලපෑමට ලක් වීමය. එසේම ආයතනයේ දියුණුව සඳහා යෙදීමට තිබූ මුදල් වලින් එවකට බලයේ සිටි නායකයාගේ රුව ඇතුලත් කොට ඔහුගේ ගුණවයමින් පොත් මුද්‍රණය  කිරීමට සිදු විය. මෙවැනි දෑ යළිත් සිදු විය යුතුද?  එසේ නොවීම්ටනම් වැදගත් වන්නේ, දේශපාලනීකරණයෙන් අදාළ සංස්ථාව මුදා ගැනීමය. රටට සුගතියක් වන්නේ එවිටය.එසේම සේවයේ සිටින නිලධාරීන්ට නිදහසේ කටයුතු කළ හැකි වන්නේ එවිටය. ඒ සඳහා මේ වන විට පෙරමුණ ගෙන සිටින සියලුම නිලධාරීන් එකමුතුව කටයුතු කළ යුතු යැයි සිතේ.

එසේම, එහිදී ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා හමුවේ ඇති අභියෝගය වන්නේද මේ හා සමාන තත්වයකි. යහපාලනය අරුත් ගැන්වීම සඳහා වැදගත් වන්නේ මෙම ආයතනය යහපාලනයේ ප්‍රධාන මූලිකාංග වලට නතු කිරීමය. වත්මන් හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබා දීම සහ ඔහු ගෙවන කාලය අතර තුර හමුදාව ශක්තිමත් කළ හැකි නිලධාරීයෙකු සොයා ගැනීමය. 2018 දී විශ්‍රාම ගැනීමට නියමිත මෙජර ජනරාල් සුදන්ත රණසිංහ මේ සඳහා වැදගත් තෝරා ගැනීමක් වුවද වැදගත් වන්නේ, සේවා දීර්ඝ ලබා ඇදීම නමැති අප්‍රසන්න ක්‍රමවේදය අනුගමනය නොකොට වසර හතරක් සේවය කළ හැකි නිලධාරියෙකු ඒ සඳහා පත් කිරීමය. එනම්, ආයතනය පුරා වසර ගණනාවක් තිස්සේ පිළිකාවක් සේ වර්ධනය වෙමින් පවතින තනතුරු සඳහා වූ පොරය නැති කිරීම සඳහා දීර්ඝ කාලීන විසඳුමක් ඉන් ලැබේ.

පත්තර සහ අනෙකුත් විද්‍යුත් නාලීකා වල යුද්ධය කරමින් එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ “දේශපාලන ආවතේවකරුවන්” ලෙස කටයුතු කරමින් තමන්ට හෝටල් සහ තානායම් තනාගත් නිලධාරීන් මෙම තනතුර සඳහා ගෙන ආ යුතු යැයි ඉන් කියවීනේ නැත. වැදගත් වන්නේ, තත්වය තව දුරටත් ව්‍යාකූල නොකොට පවතින අර්බුදය සඳහා ශක්තිමත් වැඩපිළිවෙලකට ගමන් කිරීමය. හමුදාවේ පරිපාලනය මූලික පරිපාලනමය මූලිකාංග වලට නතු කිරීමය.  

 නාවික හමුදාවේ නිලධාරියෙකු හමුවේ, නැගෙනහිර මහඇමති වරයා හැසිරුණු ආකාරය මීට කදිම උදාහරණයකි. තමන්ට ඇති දේශපාලන බලය “කුපාඩි ලෙස” භාවිතා කරමින්, සිරික්කිය දමා ඔහේ හිනාවෙමින් සිටින ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ඒ දෙස සානුකම්පිතව බලා සිටින මෙරට ඇමෙරිකානු තානාපති ඉදිරියේ පමණක් නොව පාසල් ළමුන් ඉදිරියේ පසුගිය දා ඔහු හැසිරුණු ආකාරය පිළිකුල් සහගතය. ඊට ජනාධිපතිවරයා කුමන පියවරක් ගන්නේ දැයි නොදනිමි. නමුත් යම් නිලධාරියෙකු පෙරාතුකොළයේ ( ප්‍රෝටෝකොල්) ඇති කොන්දේසි උල්ලංඝනය කොට ඇතැයි ඔහුට සිතුනේ නම්, ඊට ගත හැක්කේ නීතියනූකූල පියවරක් මිස, මිනිසුන් ඉදිරියේ බිරීම නොවේ. මෙම ආයතන වල සිටින සෑම නිලධාරියෙකුම කටයුතු කළ යුතු වන්නේ මෙවැනි  දෑ සිදු නොවීමට වගබලා ගැනීමය.  

 ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ මිස සිරිසේනගේ, වික්‍රමසිංහගේ, ෆොන්සේකාගේ හෝ නැවතත් රාජපක්ෂගේ හමුදාවක් නොවිය යුත්තේ මේ නිසාය.

Archive

Latest news

Related news