Sunday, May 5, 2024

සංක්‍රාන්ති ලිංගිකයෝද මනුෂ්‍යයෝය

(නිලූක ඒකනායක)

​මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලුකා ඒකනායක මහත්මිය පත්කිරීම විරුද්ධව අස්ගිරි පාර්ශවය විරෝධය පලකල බවට පසුගිය මාසයේද මාධ්‍ය වාර්තා පළ විය. පළමුව සදහන් කළ යුතු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාවෙන් හෝ ලිංගික හැඩගැස්ම නිසා ආන්තීකරණය වු කොටස් වෙනුවෙන් සටන් කරන මිනිසුන් ලෙස අප අස්ගිරි පාර්ශවයේ එම ප්‍රකාශය තරයේ හෙළා දැකිය යුතුය. එම විවේචනය හේමමාලා දන්ත ධාතුව තම වරලසේ සගවා ගෙන ඒම වැනි පුහු තර්ක වලින් ඔබ්බට ගොස් නිදහස, සමානත්මතාවය වැනි සංකල්ප වල පදනම මත මෙම තර්කය ගොඩනැගීම අවශ්‍යයය. අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් පවසා ඇති අන්දමට නිලුකා ඒකනායක මහත්මිය මධ්‍යම පලාත් ආණ්ඩුකාර තනතුරට නුසුදුසු වන්නේ දළදා මාලිගාවේ වැඩ කටයුතු හා අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන් සමඟ කටයුතු කිරීමේදී කාන්තාවක් ආණ්ඩුකාරවරියක් ලෙස පත්කිරීම තුලින් එම වැඩ කටයුතු කරගෙන යාමට බාධාවක් සිදුවීම ය.

මෙවැනි තත්වයක තිබියදී නිලුකා ඒකනායක මහත්මියගේ පියා මීට කලකට පෙර මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ පිරිමි දරුවෙකු ලෙස උපත ලද ඇය ළමා වියේදීම ගැහැණු දරුවකුට සමාන ලක්ෂණ පෙන්නුම් කල බවය. ඇගේ උපන් නම වන්නේ සට්ටම්බිගේ දොන් නීල් ශ්‍රියාරත්නය. ඇය සංක්‍රාන්ති ලිංගික සමාජභාවය අත්පත් කරගනු ලබන්නේ මීට බොහෝ කළකට ඉහත දී ය. එදත් අදත් සංක්‍රාන්ති ලිංගික සමාජභාවයන් සමාජයේ ජීවත් වු බවට කොතෙකුත් සාක්ෂි පවතින අතර ඔවුන් බොහෝ පෙර යුගවල අනෙකුත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් සමග සම හෝ විෂම දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත් වු බව කියවේ. ක්‍රිස්තියානි අධිරාජ්‍යයන්ගේ නැගීමත් සමඟ මුලින්ම සංක්‍රාන්ති ලිංගිකයන්ට සහ සමලිංගිකයන්ට එරෙහිව නීතිය සම්පාදනය කරන ලද්දේ හතර වන ශත වර්ෂයේ පමණය. දහසය වන සියවස අගභාගය පමණ වන විට ලිබරල් චින්තනයේ පිබිදීමෙන් මුලින්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගික හැඩගැස්ම නිසා ආන්තීකරණයට ලක් වු පිරිස් වල අයිතීන් පිලිබද කතාව ඉස්මතු විය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක ලිංගිකත්වය යන්නට වෙනස් දෙයකි. ඊට වඩා අතිශය සංකීර්ණ වුවකි. එය කෙනෙකු ලෝකය ඥානනය කරන්නේ කෙසේද, ඊට පදනම්ව තමා තමන්ව ඥානනය කරගන්නේ කෙසේද, එය තමන් ලෝකයට ඉදිරිපත් කරන්නේ කෙසේද හා එය ලෝකය විසින් නැවත සංකල්ප ගතකිරීම හෝ අත්පත් කර ගන්නේ කෙසේද යන්න පිළිබද දෙයකි. ජීව විද්‍යාත්මකව පුරුෂයෙක් වන අයෙක් පුරුෂ ලක්ෂණද ජීව විද්‍යාත්මකව ගැහැනියක් වන අයෙක් ගැහැණු ලක්ෂණද පෙන්නුම් කරයි. එය පුරුෂ හා ගැහැණු ලක්ෂණ සහිත සමාජ ගොඩනැගීම වේ. මෙම ද්වීධ්‍රැවීය ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අමතරව මෙම වර්ණාවලියේ ජීව විද්‍යාත්මකව ගැහැණියක් වන කිසිවෙක් පුරුෂ ලක්ෂණ පෙන්නුම් කල හැක. ජීව විද්‍යාත්මකව පුරුෂයෙක් වන අයෙක් ගැහැණු ලක්ෂණ පෙන්නුම් කල හැක. මෙම ලක්ෂණ මිශ්‍ර වී පැවැතිය හැක හෝ මෙම කිසිදු ලක්ෂණයක් ප්‍රකාශ නොවී සිටින්නන් සිටිය හැක. මෙම වර්ණාවලියේ විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් තිබිය හැක. ඔවුන් සැමට මෙහි ඉඩක් ඇත.

ලංකාවට තවමත් ආගන්තුක සංක්‍රාන්ති ලිංගිකත්වය සම්බන්ධයේ ලෝකයේ විවිධ රටවල් ප්‍රගතිශීලී පියවර රාශියක් තබා ඇති අතර ලෝකයේ සංක්‍රාන්ති ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් සහිත සමාජයේ යම් වගකිව යුතු රැකියාවල නිරත වන බොහෝ පිරිස් සිටිති. උදාහරණ ලෙස වෙනුසියුවේලාවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන තමාරා ඒඩ්‍රියන්, ජපානයේ දේශපාලන ක්‍රියාකාරිනියක වන ආයා කමිකාවා, ඉන්දියානු පොලිස් නිලධාරිනියක වන ප්‍රීතිකා යශිනි වැන්නන් සදහන් කළ හැක. තවද රටවල් කිහිපයක්ම ස්ත්‍රී පුරුශ සමාජභාවයේ පිලිගත් ද්වීධ්‍රැවීයත්වයට අමතරව තුන් වන වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් ව්‍යවස්ථාවට ඇතුලත් කර එහි අයිතිවාසිකම් ආරක්ෂා කර ඇත. ආසියාවේ උදාහරණ ලෙස නේපාලය හා ඉන්දියාව පැවැසිය හැක. තවත් රටවල් සංක්‍රාන්ති ලිංගිකයන්ටද වෙනත් ලිංගිකයන්ට මෙන්ම සියලු සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැදී සිටින බවට ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාවේද සම/සංක්‍රාන්ති ලිංගිකත්වයන් සම්බන්ධයෙන් බුද්ධිමත් කතිකාවක් ආරම්භ කිරීමට අස්ගිරි පාර්ශවයේ විරෝධය යොදා ගත යුතුව ඇත.

මූලාශ්‍ර‍ය අක්ෂය

Archive

Latest news

Related news