Thursday, May 2, 2024

කිලිනොච්චිය නගරය මැද හමුදා කඳවුරක් නෑ – TNA

( ‘එතන හමුදා කඳවුරකුත් නෑ. ඒක මහජනතාවගේ ඉඩම්. හමුදාව බලහත්කාරයෙන් අල්ලගෙන තියාගෙන ඉන්න ප්‍රදේශයක් ඒක’ – සුමන්දිරන්)

කිලිනොච්චිය නගර මධ්‍යයේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව TNA සන්ධානය ප්‍රතික්ෂේප කරයි

විපක්ෂනායක ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් පසුගියදා කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන දෙමළ ජාතික සන්ධානය, අදාළ ස්ථානයේ හමුදා කඳවුරක් නොමැති බවත් පවසයි.

කිලිනොච්චි නගරය මධ්‍යයේ හමුදාව තවමත් අත්පත් කරගෙන සිටින ස්ථානයක් පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්දීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා එම ස්ථානය නැරඹීමට ගිය බවයි, සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

ඒ අවස්ථාවේ එහි සිටි නිලධාරීන් ගේට්ටුව හැර ඔහුට එහි ඇතුළුවීමට අවස්තාව සලසා දුන් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

හමුදාව භාරයේ පවතින එම ප්‍රදේශයේ සිය නිවාසවල යළි පදිංචිවීමට අවසර දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන මෙන් ප්‍රදේශයේ ජනතාව විප්කෂනායකවරයාගෙන් ඒ අවස්ථාවේ ඉල්ලීමක් කළ බවයි, එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
‘බලහත්කාරයෙන් ඉන්නේ හමුදාව’

විපක්ෂනායකවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 16 වැනිදා කිලිනොච්චියේ අවසරයකින් තොරව ඇතුළුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇතුළු විරුද්ධ පක්ෂය ඉල්ලා සිටියි.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන සුමන්දිරන් මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ: ” නෑ. ඒ වාහන දැක්කහම ඒක ඇරියා. එතන හමුදා කඳවුරකුත් නෑ. ඒක මහජනතාවගේ ඉඩම්. හමුදාව බලහත්කාරයෙන් අල්ලගෙන තියාගෙන ඉන්න ප්‍රදේශයක් ඒක,” බවයි.

කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු වී තිබෙන්නේ නම් ඒ එම ස්ථානයට ඇතුළුවීම නොව, නීත්‍යානුකූල අත්පත් කරගැනීමකින් පවා තොරව හමුදාව විසින් ‘නීතිවිරෝධී ලෙසින්’ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල රැඳී සිටීම බවයි, සුමන්දිරන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

අදාළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු කණ්ඩායමක් එසේ අවසරයකින් තොරව ඇතුළු වීම අනුමත කල නොහැකි බව සඳහන් කළේය.

නීත්‍යානුකූල අවසරයක් සහිතව ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයෙකුට හමුදා කඳවුරකට ඇතුළු විය හැකි බව පැවසූ අමාත්‍යවරයා, එම ස්ථානයේ ගැටලුවක් ඇති නොකර සිදුවීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට හමුදාව කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවසුවේ ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් හමුදාව විසින් පොලිසියට කිසිදු පැමිණිලක් කර නොමැති බවයි.

හමුදා කඳවුරකට ඇතුල්වීම සඳහා අවසර ලබාගත යුතු ආකාරය පිළිබඳව සියලු පාර්ශව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වැඩිදුරටත් පැවසීය.
BBC Sinhal

Archive

Latest news

Related news