විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට 2016 අප්‍රේල් 6දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ච්ඡන්දයෙන් තීරණය කළේ ය.
එම යෝජනාව ගෙන ආ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, අනුර කුමාර දිසානායක, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, එඩ්වඩ් ගුණසේකර, දිලිප් වෙදආරච්චි, අජිත් මාන්නප්පෙරුම, කාංචාන විජේසේකර, ඩී.වී. චානක, මුජිබර් රහුමාන්, නලින්ද ජයතිස්ස, විමලවීර දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජපකරුණා, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන, ආශ්‍රබෝධ මාරසිංහ, කරුණාරත්න පරණවිතාන, එස්. ශ්‍රීධරන්, ජයම්පති වික්‍රමරත්න, රන්ජන් රාමනායක හා විජිත හේරත් යන මන්ත්‍රීවරු මෙම කමිටුවට අයත් වෙති.
මාස හයක් ඇතුළත මේ සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමේ වගකීම මෙම කමිටුවට පවරා තිබේ.
මේ වන විට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රටවල රැකියා කරති. සෑම ශ්‍රී ලාංකිකයන් 12දෙනෙකුට ම එක් අයෙක් විදේශ රැකියාවක නිරතව සිටිති.
එයින් 36.28%ක් කාන්තාවෝ ය. 63.22%ක් පිරිමි වෙති. ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරු ප්‍රජාවෙන් 34%ක් ම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් 82.5%ක් ම අඩු කුසලතා අවශ්‍ය ගෘහස්ථ රැකියාවල නියැලෙන අය වෙති. (http://www.foreignemploymin.gov.lk/PROJECTINFO/Annual_Performance_2014-Sinhala.pdf)
ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 17දෙනෙකුගෙන් එක් අයෙක් පමණ විදේශ රැකියාවක යෙදී සිටිති.
ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් විසින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට වැඩි මුදලක් එවූ හ. එය රුපියල් බිලියන 800කට අධික ය.
විදේශ ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය තේ, රබර්, පොල් වැනි සම්ප්‍රදායික කෘෂි අපනයන බෝගවලින් හෝ ඇගලුම් කර්මාන්තයෙන් රටට ලැබෙන ආදායමට වඩා ඉහළ ය.
විදේශ රැකියා යනු සාමාන්‍යයෙන් ඉතා දුෂ්කර වෘත්තීය ක්ෂේත්‍රයකි. එහෙත්, ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය තුළ කාන්තා ප්‍රතිශතය හා සමාන ම ප්‍රතිශතයක් එහිදී ද දක්නට ලැබීම සුවිශේෂ තත්වයකි.
කාන්තාවන් විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම අධෛර්යය කිරීම සඳහා රජය විසින් ගන්නා ලද පියවර තවමත් එහෙමම ක්‍රියාත්මක ය.
විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ලබා ගන්නා පවුල් පසුබිම් වාර්තාව පවත්වාගෙන යන්නේ ද, සංශෝධනය කරන්නේ ද, නැතිනම් අහෝසි කරන්නේ ද යන්න පිළිබඳ දැනට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් ඇති බව ද, ඒ පිළිබඳ අවසන් තීරණය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 දින දැනුම් දෙනු ඇතැයි ද විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ඩී.එල්. සන්නසූරිය මහත්මිය අප විසින් කරන ලද විමසීමකදී පසුගිය ජනවාරි මාසයේදී පැවසුවා ය. (අදාළ වාර්තාව මෙතැනින්)
එහෙත්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ විදේශ රැකියා සදහා සංක්‍රමණය වන කාන්තාවන්ට අදාළ පවුල් පසුබිම් වාර්තාව මේ වන විටත් කිසිදු වෙනසකින් තොරව එලෙස ම ක්‍රියාත්මක බවයි.
පළාත් පාලන ආයතන නියෝජනයෙන් 25%ක් කාන්තාවන්ට වෙන් කිරීමට ආණ්ඩුව නීති සම්පාදනය කර තිබේ. එම සංදර්භය තුළ විදේශ රැකියාවල නියුතු කාන්තාවන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දය දෙන්නට අවස්ථාව ලබා දීම කාන්තාව සවිබල ගැන්වීමේදී ඉතා වැදගත් පියවරකි.
විදේශ ශ්‍රමික කාන්තාවන්ගේ හඩ මහජන නියෝජිත සභාවල රැව් දිය යුතු ය. විදේශයන්හි සේවයේ යෙදී සිටින ලාංකිකයන්ට ඡන්ද හිමිකම ලබා දීම සඳහා නීතිමය රාමුවක් පිළියෙල කිරීම මෙහිදී වැදගත් මූලික පියවරකි. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ය.
බොහෝ විදේශ ශ්‍රමික කාන්තාවන් යෙදී සිටින්නේ ගෘහ සේවිකා රැකියාවල ය. ඔවුන්ට නිදහස සීමිත ය. එසේම, දහස් ගණනක් නිවෙස්වල විසිරී සිටින ඔවුන් එක් තැනකට ඒකරාශී කිරීම ද පහසු කාර්යයක් නො වේ. ඔවුන් අන්තර්ජාලය හා වෙනත් නවීන තාක්ෂණයන් භාවිතා කිරීමෙහිදී ද එතරම් දියුණු මට්ටමක නැත.
ලක්ෂ ගණනින් ශ්‍රී ලාංකිකයන් සේවයේ යෙදී සිටින මැද පෙරදිග රටවල පවා ශ්‍රී ලාංකික තානාපති කාර්යාල ඔවුන්ට අවශ්‍ය සාමාන්‍ය සේවා හෝ නිසි ලෙස සම්පාදනය කිරීමට සමත් වී නැත. එසේ තිබියදී මෙවැනි සංකීර්ණ මැතිවරණ ක්‍රියාවලියක් මෙහෙයවීම තියුණු අභියෝගයකි. විශේෂයෙන් ම සවුදි අරාබිය වැනි අති විශාල රටවල තානාපති කාර්යාලවල සිට රැකියා ස්ථාන වෙත ඇති දුර කිලෝ මීටර් දහස් ගණනක් වේ.
මෙම සංදර්භය තුළ ඡන්දය දීමේ හිමිකම ලබා දුන්නත්, ඇත්තෙන් ම ඡන්දය දීම විශේෂයෙන් ම ගෘහ සේවිකාවන්ට අතිශය දුෂ්කර කාර්යයක් වනු ඇත. සරළව කීවොත් හිමිකම තිබුණත් එය භුක්ති විඳීම අභියෝගයක් විය හැකි ය.
වෙනත් රටවල් මේ අභියෝග ජය ගත් ආකාරය අධ්‍යයනය කර බැලිය යුතු ය.
Kiyanna.lk