Friday, April 26, 2024

අතුරුදහන් කිරීම් වලට යළි ඉඩක් නැහැ-මංගල සමරවීර

1971 සහ 89 වකවානුවේ දකුණේ අරගල වලදී සහ විසිහය වසරක යුද්ධයේ දී තරුණයන් දහස් ගණනකගේ ජීවිත විනාශ වූ අතර යලිත් එවැනි තත්වයක් උදා නොවීමට පියවර ගන්නා බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව විසින් අද(30) අක්කරෙයි පත්තුවේ සංවිධානය කර තිබුණ මහජන පෙළපාලියකින් අනතුරුව පැවැත්වුන රැස්වීමක් අමතා කතා කරමිනි.

මව් වරුන් පන්සීයක් පමණ අතුරුදහන් වූවන්ගේ ඡායාරූප රැගෙන රැස්වීම් ශාලාවට පැමිණි අතර ඉන් අනතුරුව පැවැත්වුන රැස්වීම අමතා කතා කළ මංගල සමරවීර ‘නිදහසින් වසර විසි ගණනකට පසුව අපි අපේම පුරවැසියන් වූ තරුණයන් කොටසක් ඝාතනය කරමින් අතුරුදහන් කරවමින් රට පාලනය කර ඇති’ බවයි කියා සිටියේ.

උතුරු නැගෙනහිර ජනතාව නව පාලනයකට සහයෝගය දුන්නේ එවැනි අතීතයක් ඇති නොවීමට බවත් මංගල සමරවීර ඇමතිවරයා පවසයි.
අනාගත සැලසුම්

යුද සමයේ සිදු වූ දේ ගැන සිදු කෙරන දේශීය යාන්ත්‍රණයක් සහිත පරීක්ෂණයේදී යම් යම් අවස්ථා වලදී ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට ද එකඟත්වය ප්‍රකාශ කොර ඇති බවත් විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

වැරදි සිදු කළ පුද්ගලයන් වේනම් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු අතර මතු අනාගතයේ එවැනි තත්වයක් ඇති නොවීමට නීති රීති සකස් කළ යුතුව ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

‘සොයා ගන්න පුළුවන් හැම දරුවෙක්ම සොයා දී ,සොයා ගැනීමට නොහැකි දරුවන්ට සිදු වූ දේ ගැන සමාජය දැනුවත් කරමින් අවශ්‍ය තැන් වලදී වන්දි සහ වෙනත් ප්‍රදානයන් ද සිදු කරමින් කටයුතු කරන අතරම කිසිම පුද්ගලයකු අතුරුදහන් වීමට නැවත ඉඩ නොතබන බවට ප්‍රතිඥාවක් දෙන’ බවයි විදේශ ඇමතිවරයා කියා සිටියේ.
සියළු ජාතීන්

සමාජ ඒකග්‍රතා ඇමති මනෝ ගනේෂන් සහ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් සහභාගී වූ එම රැස්වීමේ දී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කළ විදේශ ඇමතිවරයා නිදහස් අරගලයේදී සියලු ජාතීන් එකමුතුව කටයුතු කල ආකාරයත් සිහිපත් කළේය.

පාගමන සහ රැලිය සංවිධානය කරන ලද්දේ අතුරුදහන් වූවන් වෙනුවෙන් කටයුතු කරන එකමුතුවේ කැඳවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු විසිනි.

– BBC Sinhala

Archive

Latest news

Related news