Thursday, November 21, 2024

රටේ ගරුත්වය වෙනුවට අයියාගේ ගරුත්වය සහ හූව දේශපාලන මෙවළමක් ලෙස – නිලන්ත ඉලංගමුව

නාමික වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂයේ, මූලික දේශපාලන උපාය ලෙස “හූ කීම” වඩාත් ප්‍රචලිත කාරණයක් වී තිබේ. හූ කීමේ මූලික අරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සතුටු කිරීම බව අවිවාදිතය. මහින්ද ඊට කැමති බව මහින්දට වඩා ඔහුගේ පරිවාර “සේනාව” තේරුම් ගෙන තිබේ. එසේම වත්මන් ආණ්ඩුව තුළ තම දේශපාලන මගෝඩිකම් තහවුරු කර ගැනීමට නොහැකි වූ බොහෝ දෙනෙකු අදාළ “සේනාවේ” ප්‍රමුඛ නියෝජිතයෝ වෙති. ඔවුන්ගේ අරමුණු ඉතා පැහැදිලි වන නමුත් ඊට අදාළ නිවැරදි කියවීමක් ආණ්ඩුවට තිබේද යන්න සැක සහිතය.

ආණ්ඩුව අස්ථාවරවීම රැඳී පවතින්නේ “ හූ කියා සතුටු වන” කණඩායමේ උපායන් මත නොවන බව සැබෑය.

ආණඩුව සුළු දෑ ලෙස තකමින් හිතාමතාම මගහරින කාරණා ඔස්සේ තම අස්ථාවරභාවය දිනෙන් දින ළඟා කරගන්නවා විය හැකිය.  එසේම, “හූ කියන්නා” දුර්වලයෙකු ලෙස අවතක්සේරූ කිරීම මගින්, තිරයෙන් පිටුපස සිදුවන බොහොමයක් දෑ හඳුනාගැනීමේ ඥානය අහිමිවිය හැකිය. බොහෝ ආණ්ඩුවලට එය සිදු විය.

මෙහිදී වැදගත් වන්නේ මහින්ද පාර්ශවයේ හූ හඬ නොවේ. එනම්, හූවට මෙරට ඇති සංස්කෘතිකගත වටිනාකම තේරුම් ගැනීමයි. හූව අනෙකා ප්‍රසිද්ධ වෙදීකාවේ හෑල්ලු කිරීම සඳහා යොදා ගන්නා දේශපාලන මෙවලමකි.

මහින්ද පාර්ශවය එහි ඇති දේශපාලනය නීරස කාරණයක් බවට පත්කොට තමන් විසින් තමන්ම හැල්ලු කිරීම සඳහා භාවිතා කළද මෙරට ඉතිහාසය තුළ “හූවට” වැදගත් තැනක් හිමි වී තිබේ. හූව වූ කලී වැඩවසම් සමාජය තුළ පීඩිතයා  තම විරෝධය ප්‍රකාශ කිරීමේ මෙවලම විය. එය පසු කාලීනව ශිෂ්‍ය දේශපාලනයේ සහ ශිෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලීමේ මූලික උණ්ඩය විය.

වත්මන් ආණ්ඩුව තවමත් මෙම දේශපාලන වටිනාකමක් ඇති හූවට මුහුණ දී නැත. නමුත් සිදුවෙමින් පවතින කාරණා හමුවේ එම තත්වයට මුහුණ දීමට ආණ්ඩුවට සිදු නොවේ යැයි කිව නොහැකිය. ආණ්ඩුව, ජනතාව තමන්ට ලබාදුන් බලය ප්‍රයෝජනයට ගනිමින් විවිධ ආයතනවල මහපුටු අරක්ගත් අයවලුන් සිදුකරන අප්‍රසන්න වැරදි සුළුකොට තැකීමේ වැඩපිළිවෙලක නිරත වී සිටීම අතිශය කණගාටුදායකය. නමුත් ඊට අදාළ උදාහරණ අතර ප්‍රධාන සිදුවීමක් ලෙස, වරායේ සභාපති වශයෙන් කටයුතු කරන වරාය ඇමතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ ගෝත්‍රිකවාදී හැසිරීම සහ ඔහු අධිකරණය ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ලබාදුන් අවවාද, සැලකිය හැකිය. අදාල පුද්ගලයාගේ හැසිරීම සමබන්ධයෙන් බොහෝ දෑ මෙරට මාධ්‍යය තුළ ප්‍රසිද්ධ වීම සහ ඔහුගේ ගෝත්‍රිකවාදී හැසිරීම නිර්දය ලෙස විවේචනය කිරීම සැබවින්ම ඔහුගේ තර්ජනයට මුහුණ දුන් අදාළ මාධ්‍යවේදියා තම ක්ෂේත්‍රයේ ගරුත්වය රැකගැනීමට සමත් වූ සැබෑ වීරයෙකි. ඔහුට රටේ  මාධ්‍ය ඔස්තාර්ලාගේ හෝ රටේ නායකත්වයේ අවදානය යොමුවීම සහ ඔහුට තම ක්ෂේත්‍රයේ නම්බුව රැකීම වෙනුවෙන් ජාතික වශෙයෙන් පිළිගැනීමක් ලබාදීම බොහෝ දෙනෙකු හිතමාතා හෝ සංස්කෘතිකගත අවුල නිසා ප්‍රතික්ෂේප කරන කාරණයකි. නමුත් මෙවැනි නිහඩ වීරයන් නිසා මෙම රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවය රැකගැනීම විෂයෙහිලා ඉතිරි වී ඇතැයි සැලකෙන අංශුමාත්‍රය හෝ  රැඳී පවතී.

අනුන්ගේ ශ්‍රමය විකුණා තමන්ගේ සැප තහවුරුකර ගන්නා මාධ්‍යය සංස්කෘතියක් ඇති තැන මෙවැනි සැබෑ වීරයින් විරුවන් නොවේ.  නමුත් ඔවුහු ඉතිහාසයේ සාක්ෂිකරුවන්ය. වරාය වැනි රටේ අතිශය තීරණාත්මක ස්ථානයකට අදාළ ක්ෂේත්‍ර විෂය ගැන පෘථුල දැනුමක් ඇති පුද්ගලයෙකු පත්කර නොගැනීමේ විපාකය මෙයයි. ජාතික යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා වත්මන් ආණ්ඩුව අස්ථාවර වීම සඳහා ප්‍රභල ලෙස බලපානු ලබන්නේ මෙවැනි කාරණාය. මෙවැනි පුද්ගලයින් මෙවැනි ස්ථාන වලට පත්වී ඇත්තේ මෙරට අදාළ විෂය ගැන දන්නා අයවලුන් නැතිකම නිසා නොවේ. විෂයෙහි දන්නා අයවලුන්ට ඊට ඇති අවකාශය අහිමි කිරීමෙනි. එනම් බලය ඇතිවිට වවාගෙන කෑමේ පාරමපාරික ගඳගහන පුරුද්ද නිසාය. අනුන්ගේ බදුමුදලින් යැපී තම මඩිය තරකර ගැනීම සහ එය තමන්ගේ වත්කම ලෙස හුවා දැක්වීම මෙවැනි අයවලුන්ගේ මූලික උපාය වේ.

රටේ මූලික ගැටලුව හඳුනා නොගෙන, අදාළ කාරණය සම්බන්ධයෙන් “යුක්තිය” පසිඳලීමට පත්කොට ඇති පුද්ගලයාගේ මූලික අවවාදය වූයේද, “අදාළ සැකකරු නියෝජනය කරන පවුලේ නම්බුව” රැක ගන්නා ලෙස කළ ඉල්ලීමය. එ හැරෙන්නට රටේ ගරුත්වය ගැන තැකීම නොවේ. හාස්‍යය මෙයයි.

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ එහි මූලික විෂය පතය වන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී වරාය ඇතුළු සාගර කලාපය වූ කලී රටේ අතිශය තීරණාත්මක ප්‍රදේශය වේ. මෙය හොරුන්ගේ සහ ගෝත්‍රිකයින්ගේ ගොදුරු වීම වූකලී රාජ්‍යයක මූලික කොන්ද කඩා දැමීමය. අදාළ විෂයට

පත්කළ ඇමතිවරයා කුමන සෙල්ලමක් දැමුවද, එහි පරිපාලනය සඳහා විෂය ගැන දන්නා හොරකම් නොකරන විශේෂඥයෙකු මෙන්ම ඔහුට සහය දියහැකි විෂය ගැන දන්නා හොරකම් හෝ/සහ මගෝඩිකම් නොකරන අයවලුන් පත්කිරීම කෘතහස්ත නායකත්වයක උපාය වේ.  මෙවැනි දෑ පවුල් වලට බුදල් සපයන දෑ නොව, රටේ

උරුමය රඳා පවතින රාජ්‍යය සම්පත්ය. අදාළ සභාපති දූරයට විෂය ගැන දන්නා අයෙකු පත්කිරීමේ කොන්දක් තමන්ට ඇති බව රටේ නායකත්වයට ජනතාව හමුවේ ඔප්පු කළ හැකිද ?

වරායේ සභාපතිවරයා ඔස්සේ කියවෙන මූලික දේශපාලනය මගින්, වත්මන් යහපාලනය නාමයෙන් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන යමපාලනය  තේරුම් ගත හැකිය. මෙය වරායේ පමණක් විය හැකිද?

මෙය රටේ අදාළ ක්ෂේත්‍ර ගැන දන්නා පුද්ගලයින් නැතිකම නිසා සිදුවන්නක්ද? කිසි සේත්ම නැත. මහාජාතිය යැයි නම්කර ගනිමින්, හැකිතරම් කුහකකම් කොට, රට ජාතියට වඩා තම පෞද්ගලික වපසරිය ගැන පමණක් සිතන කෑදරයින්යින් රටට ශේෂ කොට ඇති හපය මෙයයි.

මුදල් අමාත්‍යවරයා මෑතකදී කළ ප්‍රකාශයෙන් මෙය වඩාත් තියුණු ලෙස පැහැදිලි වේ. එනම්, ප්‍රධාන පෙලේ රාජ්‍යය ව්‍යාපෘති රැසකට අදාළ මූල්‍ය වාර්තා අතුරුදන් වී ඇති බව හෙතම කියන්නේය. බලයට පත් වී මාස හතකට පසු, සිදුකරනු ලබන මෙවැනි ප්‍රකාශ මගින් තහවුරු වන්නේ රටේ රාජ්‍යය ව්‍යුහය තුළ ඇති බරපතළ මෙය වෙනස් කිරීම, එකිනෙකාගේ වතු හැරීමෙන් කළ නොහැකිය. වත්මන් ආණ්ඩුව, ජනතාවගේ නාමයෙන් රටේ සිදුවූ ප්‍රධාන පෙළේ දූෂණ සහ වංචා සොයාගැනීමේ අවංක මෙහෙයුමක නිරත වන්නේ නම්, ඔවුන් පළමුව කළයුතුව තිබුනේ රාජ්‍යය පරිපාලන ව්‍යුහය තුළ සිටින මූල්‍යය සම්පත් අවභාවිතයේ යොදන “මකුණන්” ඉවත් කිරීමය. වත්මන් ආණ්ඩුව එවැනි පියවරක් ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙන්නට නැත.

දිරාගිය රටක් ගොඩනගා දියුණු කිරීම වෙනුවෙන් සිහින දකිමින්, එදා වේළ පිරිමසා ගමිනින් දුක් විඳින  ජනතාව  හමුවේ පාලකයින් තම පැරණි මගෝඩි දේශපාලනයම වෙනත් මුහුණුවරකින් රැගෙන යන්නේ නම් ඉන් රටට සහ එහි ජනතාවට සිදුවන සුගතියක් නැත. ඉන් ඇතිවන්නේ සමාජ අසහනය සහ අස්ථාවරත්වය පළල් වීම යහපාලනයක් වෙනුවෙන් සිහින දකිමින්, ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනු ලැබූ ජනතාවට මෙවැනි සිදුවීම් දැක සිදුවන්නේ එකිනෙකාට හූ කියා ගැනීමට පමණක්ද?

Archive

Latest news

Related news