Saturday, April 27, 2024

උසස් අධ්‍යාපන ඇමැති කිරිඇල්ල විශ්ව විද්‍යාල පනත විකෘති කරනවා – ෆූටා

(ෆුටා උද්ඝෝෂණයක්)

විශ්වවිද්‍යාල පනත තුළ කිසිදු තනි පුද්ගල අභිමතයකට අනුව බලය අවභාවිත කිරීමට බලතල ලබා දී නොමැත. එබැවින් ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශය සාවද්‍ය සහ නොමග යවන සුලූ ප‍්‍රකාශයක් වන බැවින්  එය තරයේ හෙළාදකින බව නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය  (ෆූටා) ප්‍රකාශ කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

(FUTA) කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්යවරයකු බඳවා ගැනීම සම්බන්ධයෙන් ලිඛිතව කරන ලද දේශපාලන බලපෑමට ප‍්‍රතිචාර ලෙස විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය  (ෆූටා) විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපියට පිළිතුරක් ලෙස විෂයභාර ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි විශ්වවිද්‍යාල පනත සහ එයින් විෂයභාර අමාත්‍යවරයාට පැවරෙන බලය සම්බන්ධයෙන් එතුමා දක්වන නොදැනුවත්භාවය ප‍්‍රකට කරන බව අප සම්මේලනයේ අදහසයි.

විශ්වවිද්‍යාල පනතේ 19 වන වගන්තියට අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු දිශානතිය සහ එම පනත ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධ වගකීම අමාත්‍යවරයා සතු බව දක්වා ඇත. එම පනතේ 20 වන වගන්තියේ ඇමතිවරයා සතු බලතල සවිස්තරව දැක්වේ. එහි 20 (4) වගන්තියට අනුව විශ්වවිද්‍යාලයක පැනනැගෙන අර්බුද හමුවේ අදාළ බලධාරින්ට තවදුරටත් තත්ත්වය පාලනය කර ගත නොහැකි නම් එවිට නිසි බලධරයකු පත් කිරීමේ බලය අමාත්‍යවරයාට හිමි වන බව සඳහන්ව ඇත.

එහෙත් වෙනත් කිසිදු පත්කිරීමකට ඍජුව හෝ වක‍්‍රව මැදිහත් වීමට අමාත්‍යවරයාට බලයක් පවරා නැත. විශ්වවිද්‍යාල අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට බඳවා ගැනීම සඳහා පුද්ගලයන් නිර්දේශ කිරීමට අමාත්‍යවරයාට බලතල ඇති බවක් පනතෙහි හෝ ඇමතිවරයා උපුටා දැක්වූ 19 වන වගන්තියෙහි සඳහන් නොවේ. එපමණක් නොව යම් අර්බුද අවස්ථාවක දී එබඳු නිසි බලධරයකු පත් කිරීමේදී ද හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බව ද පනතෙහි සඳහන් වන බව සිහිපත් කරනු කැමැත්තෙමු.

විශ්වවිද්‍යාල පනත තුළ කිසිදු තනි පුද්ගල අභිමතයකට අනුව බලය අවභාවිත කිරීමට බලතල ලබා දී නොමැත. එබැවින් ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශය සාවද්‍ය සහ නොමග යවන සුලූ ප‍්‍රකාශයක් වන බැවින් අපි එය තරයේ හෙළාදකිමු.

ඇමතිවරයාගේ අත්සනින් එවන ලද නිර්දේශ ලිපිය අප විසින් මාධ්‍යවලට නිකුත් කිරීම පිටුපස දේශපාලන උවමනාවක් පවතින බව හුවා දැක්වීමට සිය මාධ්‍ය ප‍්‍රකාශනය හරහා ඇමතිවරයා දරන උත්සාහය කණගාටුවට කරුණකි. එමෙන්ම මෙම සිද්ධියට මුවා වී විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වයට හා ආචාර්යවරුන්ගේ වෘත්තීය ගරුත්වයට බලපෑම් එල්ල කිරීමට හෝ දේශපාලන අඩන්තේට්ටම් කිරීමට ඇමතිවරයා ඉදිරිපත් වන්නේ නම් ඒ ඒ ආචාර්යවරුන්ගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර නොතකා ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කිසි විටෙකත් පසුබට නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙම සිදුවීම පදනම් කොටගෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් පළ කරන ලද නිවේදන හැරුණුකොට මේ සම්බන්ධයෙන් පළවන වෙනත් වාර්තා හෝ මත දැක්වීම් සම්බන්ධයෙන් අප සම්මේලනයට වගකීමක් දැරිය නොහැකිය. අප විසින් ඉදිරිපත් කරනු ලබන නිල මත දැක්වීම් හුදෙක් අපගේ වෘත්තීය අභිලාෂයක් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන බැවින් ඒ කෙරෙහි පටු දේශපාලනික ලේබල් ඇලවීම හෝ තනි පුද්ගලයින් අපහසුතාවයට පත් කරවන සුලු ප‍්‍රකාශ නිකුත් කිරීම එතරම් පරිණත දේශපාලනික භාවිතාවන් ලෙස අපි නොසලකමු. මෙම සිද්ධිය සාධාරණීකරණය කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදෙනු වෙනුවට වගකිවයුතු ඇමතිවරයකු වශයෙන් මෙබඳු දේශපාලනික මැදිහත්වීම්වලින් වැළකී කටයුතු කිරීමේ ඥානාන්විතබව ඇමතිවරයාට පෙන්වා දීමට කැමැත්තෙමු.”

Archive

Latest news

Related news