(ඩයනා කුමරිය එච්අයිවී අසාදිත දරුවන් සමඟ)
ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද?
කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා දරුවට පාසැළක් අහිමි කළේ අන්න ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් රටය.
එම දරුවාගේ මව පාසැල් දහයකට පමණ ගියද එක් පාසැළක්වත් දරුවා බාර ගත්තේ නැත. ඉන් කියැවෙන්නේ අපේ පාසැල්හි විදුහල්පතිවරුන් එච්.අයි.වී. වෛරසය හෝ එය ව්‍යාප්ත වන ආකරය ගැන මළපොතේ අකුරක්වත් නොදන්නාකම නොවේ ද?
ඊටත් වඩා මේ දරුවාගේ රුධිරයෙහි එච්.අයි.වී. වයිරසය නැති බවට සහතිකයක් පවා තිබේ.
අවසානයේ මව කුලියාපිටිය අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කිරීමෙන් පසු දරුවාට පාසැළකට බාරගත්තේ අමාත්‍යාංශයේ මැදිහත්වීම නිසා පමණය.
ඉන්පසු සිදුවූයේ ලෝකයේ කිසිම රටක් අසන්නට ලැබි නැති නරුම සහ මුග්ධ ක්‍රියාවකි. එනම් දරුවා ඇතුළත් කළ පන්තියේ සියළුම දරුවන් එම පාසැළෙන් ඉවත් කරගැනීමයි.
මේ කරුමය සිදුවන්නේ ලෝකෙම්ම උතුම් රට යැයි කියන ඒ රටේ ය.ඒ රට අප වාසය කරන ශ්‍රී ලංකාවයි.
එච්.අයි.වී. බෝ විය හැක්කේ රුධිරය, මව් කිරි, යෝනි ශ්‍රාවය, ශුක්‍ර තරලය සහ ගුද මාර්ගික තරල යන තරල පහ පුද්ගලයෙකුගේ රුධිර සංසර්ණ පද්ධතියට ඇතුළත් වීමෙන් පමණක් බවත්, ඇසුරෙන් හෝ ස්පර්ශයෙන් බෝ නොවන බවත් දන්නා එක මනුස්සයෙක් වත් මේ ගමේ සිටියේ නැත්ද? මනුස්සකම තිබුණු ජනයාට ඇත්ත පහදා දිය හැකි එක් කටකාරයෙක් මේ ගමේ සිටියේ නැත්ද?
ලෝකයේ සාක්ෂරතාවය ඇති රටක් ලෙස උදම් අනන මුත් මෙරට ජනයාගේ සෞඛ්‍ය සාමන්‍ය දැනීම ඇත්තේ බිංදුවට ටිකක් ඉහළින් බව මින් නොපෙනේද?
එච්.අයි.වි. පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීම පිණිස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, UNAIDS සහ ශ්‍රී ලංකා රජය එකතුව විසින් මහනුවර දී පැවැත් වූ වැඩසටහනකදී එච්.අයි.වී. සමග ජීවත් වන පුද්ගලයෙකු වැළද ගත්තේ පරසිඳු ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරය.
එවැනි අවස්ථාවන්ට ප්‍රචාරයක් දෙනු වෙනුවට මෙරට ජනමාධ්‍ය කරන්නේ ජනයා බිය ගැන්වීමය. මන්ද යත් බිය ගැන්වීම හොඳ වෙළද පොළක් නිසා ය.
එම දරුවාට බියෙන් සිය දරුවන් පාසැළෙන් ඉවත් කර ගත් මාපියන්ගේ අනවබෝධයට මෙරට ජනමාධ්‍ය ද වගකිව යුතු ය.
එච්.අයි.වී. ශරීර ගතවූ ලක්ෂ ගණනාවක් පිරිස් අද ලෝකයේ සාමන්‍ය ජිවිත ගත කරති. ලොක ප්‍රකට පැසිපන්දු ක්‍රීඩකයකු වූ අර්වින් මැජික් ජෝන්ස් එච්.අයි.වී අසාදිත වී තිබියදීත් ක්‍රීඩා කරමින් තෑගි පිට තෑගි ලැබුවේ ය.
මෙවැනි සැබෑ සිදුවීම් අද ලෝකයේ ඕනෑ තරම් තිබේ.
නමුත් මෙරට කටකතා ඊටවඩා බලවත් ය. මන්ද යත් ජනමාධ්‍ය ද වැඩිපුරම වාර්තා කරන්නේ කටකතා නිසා ය.
ප.ලි.: සිංහල මෙන්ම දෙමළ බසද මෙරට රාජ්‍ය භාෂාව බවට පත් කර වසර 38ක් ගතවී තිබෙද්දීත් දෙමළ රාජ්‍ය භාෂාවක් බව දන්නේ මෙරට ජනයාගෙන් සියයට 18ක් ( විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර සමික්ෂණයක්) නම් වෙන මොන කතාද?
|