Sunday, April 28, 2024

 රාජපක්ෂලාට අභියෝගයක්: CSN මුදල් ලොන්ඩරියේ සැඟවුණ ඇත්ත මෙන්න

දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් විසිනි.

මෙය වෛරී දේශපාලනයක හෝ පළිගැනීමේ දේශපාලනයක ප්‍රථිපලයක් ද?

එහිලා පළමුව ලබාගත යුතු පිළිතුර වන්නේ CSN නාලිකාව සැබැවින්ම ඇරඹුවේ මාධ්‍ය ආයතනයක කාර්ය භාරය ඉටුකිරීමට ද එසේ නැතිනම් මුදල් ලොන්ඩරියක කාර්ය භාරය ඉටුකිරීමට ද යන්න යි.
මෙහිලා ලබාදිය හැකි කෙටි පිළිතුර වන්නේ, CSN නාලිකාවේ ප්‍රධානීන් ගෙන්ම ඇසිය යුතු පසුගිය වසර පුරා තමන් විසින් රුපියල් මිලියන 200 කට අධික ආයෝජනයක් සිදුකොට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය තුළින් අත්පත් කරගත් ලාභ අලාභ ශේෂ පත්‍රය කුමක්ද? යන්නයි.එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කොට රුපියල් ලක්ෂ 50ක් ආයෝජනය කළ අශාන් ප්‍රනාන්දු මහතාට ද, රුපියල් ලක්ෂ 10ක් ආයෝජනය කළ ශාඩියා කරුණාජීව මහත්මියට ද ,රුපියල් ලක්ෂ 10 ක් ආයෝජනය කළ කවිශාන් දිසානායක මහතාට මේ තාක් ලබාදුන් ප්‍රතිලාභ මොනවාද ? යන්නයි.

CSN සමාගම් වාර්තා අනුව පෙනී යන්නේ ඔවුන් කළ ආයෝජනයට සාපේක්ෂව කිසිදු ලාභාංශයක් හෝ ආර්ථික ඵල ප්‍රයෝජනයක් ඔවුන් CSN සමාගමෙන් ලබා නොගත් දානපතියන් බවත්,එනයින් ඔවුන් මෙම ආයෝජනය සිදු කර ඇත්තේ හුදු සද්කාර්යයකට දායකත්වය ලබා දී ඇති බවය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය ම පමණක් අපේක්ෂා කළ බවය.

ඒ නිසාම අප දැන් ඔවුන්ගේ ආර්ථික පසුබිම පිළිබඳව මදකට අවධානය යොමු කරමු.

අශාන් ප්‍රනාන්දු මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු මන්නාරම රෝහලේ, ලේ බැංකුවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.ඔහු යෝෂිත රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ, යෝෂිත මහතාගේ කුළුපග මිත්‍රයෙකි. අශාන් මහතාගේ පියා අමරපාල ප්‍රනාන්දු මහතා වන අතර ඔහු අධිකරණයේ පෙනී නොසිටින නීතිඥයෙකි. ඔහු නැචුරාන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකි. පියා විසින් පුතාට ලබාදුන් මුදල CSN ව්‍යාපාරයට ආයෝජනය කළ බව අශාන් ප්‍රනාන්දු මහතා කියා සිටියි.

කවීශාන් දිසානායක යෝෂිත රාජපක්ෂ මහතාගේ පාසැල් මිත්‍රයෙකුගේ සහෝදරයා ය. ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ තමන්, තම මව වන චුලන්ති දිසානායක ගෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක් ද, තම මාමා වන චන්න විජේමාන්න ගෙන් ණයට ගත් රුපියල් ලක්ෂ දෙක හමාරක් ද තවත් මාමා කෙනෙකු වන ප්‍රියන්ත විජේමාන්න ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 5ක් ද යොදවා තම රුපියල් ලක්ෂ 10 ආයෝජනය සිදු කළ බවයි. පුදුමය නම් මෙකී අය මුදල් ආපසු ගෙවීමට හෝ CSN නාලිකාවෙන් වාර්ෂික ලාභාංශ ලබාගැනීමට කටයුතු කර නොමැති වීමයි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ තුන්වැන්නා වන්නේ ශාඩියා කරුණාජීව යි.ඇය මහජන බැංකුවේ හිටපු සභාපති කරුණාජීව මහතාගේ දියණියයි.රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වු කරුණාජීව මහතා වෙනුවෙන්,සිය පුත්‍රයා මහා බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන කල ශාඩියා මහත්මිය ද එංගලන්තයේ නීතිඥවරියක ලෙස කටයුතු කරනු ලැබීය.එසේම CSN නාලිකාවේ මූලස්ථානය පිහිටුවා තිබු චැනල් 8 යුත් ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් ලක්ෂ 3000 ලබා දී තිබුණේද කරුණාජීව මහතාය. ශාඩියා කරුණාජීව මහත්මිය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.ඇය යෙදවු මුදල සඳහා ලාභාංශ ලබාගැනීමට ඇය කිසිදිනක උනන්දු නොවු බව වාර්තා තහවුරු කරයි.
මේ ආකාරයට තිදෙනෙකු මුදල් මඟින් CSN නාලිකාවට ආයෝජනය කරනු ලබන කල්හි,එහි හතරවන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රොහාන් වැලිවිට මහතාතම ආයෝජන කරනු ලැබ ඇත්තේ උපකරණ සහ මානව සම්පත් සපයා දීමෙනි.වැලිවිට මහතාට අනුව එකී ආයෝජනය රුපියල් ලක්ෂ 40 කි.ඒ සඳහා ඔහු සතුව තිබු “තිනෙත“ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවට අයත්ව තිබු කැමරා උපකරණ ද එහි සේවකයින් ද CSN ආයතනයට ලබා දී තිබේ. මෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ ඉහත සඳහන් “තිනෙත“ රූපවාහිනී නාලිකාවට TRC මඟින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක් හෝ නොමැති වීමයි. එකී ආයතනය ඇරඹීමට එවකට සිටි ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ලබාදුන් ලිපියක් පමණක් අතැති ව එලෙස ආයතනයක් පැවති බවත්, එම ආයතනයේ උපකරණ හා සේවකයින් CSN නාලිකාවට ලබා දී රුපියල් ලක්ෂ 40 ක ආයෝජනයක් සිදුකළ බවත් ප්‍රකාශ කොට සිටියි. රොහාන් වැලිවිට පසුව CSN ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් ව යන අවස්ථාවේ දී වත් තමන් සිදුකළ ආයොජන සඳහා ලාභාංහයක් හෝ ලබාදුන් උපකරණ නැවත ඉල්ලා සිටීමක් සිදුකර නොමැත. රොහාන් වැලිවිට මහතා හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලදී.

Ghost Directors (හොල්මන් අධ්‍යක්ෂවරු)

මෙනයින් පෙනී යන්නේ මෙකී අධ්‍යක්ෂවරු කිසිටවකු CSN සමාගමේ නියම ආයෝජකයින් නොවු බවයි.ඔවුන් නාමික හා වෙනත් අවශ්‍යතාවයකින් කටයතු කළ පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් වෙනුවෙන්, හෙල්පින් හම්බන්තොට ආකෘතියටම සකස් කළ ආයතනයක හොල්මන් අධ්‍යක්ෂ වරුන් ලෙස ක්‍රියාකළ බවකි.
ඉහත කී අධ්‍යක්ෂවරුන් සිදුකරන ලද ආයෝජනය තුළින් පමණක් මෙම ආයතනය යථාර්ථවාදීව පවත්වාගෙන යා නොහැක්කේය.
එසේ පවත්වාගෙන යාම සඳහා CSN ආයතනය සිදුකොට ඇතැයි පවසන්නේ විවිධ මූල්‍ය ආයතන සහ පුද්ගලයින් ගෙන් රුපියල් ලක්ෂ 2000 ක් ණයට ගැනීමයි.
CSN ආයතනය මුදල් සෝදන ලොන්ඩරියක් බවට තහවුරු වන්නේ , මෙම ක්‍රියාවලිය තුළදීය.ඒ බව සැකහැර දැනගැනීමට , CSN නාලිකාව ණය ලබාගත් ආකාරය පිළිබදව සොයා බලමු.
ණය ලබා දුන් ආයතන සහ පුද්ගලයින්,

1. පළමු රුපියල් ලක්ෂ 500ක මුදල LOLC ආයතනයෙන් ණයට ලබා ගැනීමෙනි.එකී ණය මුදල සඳහා ඇපයක් ලෙස TPL International pvt ltd ආයතනය විසින් LOLC ආයතනය තුළ ස්ථාවර තැන්පතු ලෙස තිබූ රුපියල් ලක්ෂ 2530 ක් ඉදිරිපත් කර තිබේ.ඉහත කී TPL International pvt ltd ආයතනයේ එවකට හිමිකරුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා වන අතර මේ වන විට එහි හිමිකාරිය ලෙස දැක්වෙන්නේ ටියානා දමයන්තී ඇන්තනීස් නැමති සජින් වාස් මහතාගේ බිරිඳයි.

2. CSN ආයතනයට හා එහි ලිපි ලේඛණ වලට අනුව දෙවැනි රුපියල් ලක්ෂ 500 ලබා දී ඇත්තේ නිමල් පෙරේරා නැමති ව්‍යාපාරිකයෙකි. ඔහු කුප්‍රකට ධම්මික පෙරේරා නැමති ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස කලක් කටයුතු කළේය. දැනට පෑන් ඒෂියා සමාගමේ සභාපති ලෙසට ද, රෝයල් සෙරමික්ස්, LB ෆිනෑන්ස්, වැලිබල් ෆිනෑන්ස් සහ කිංස්බරි හෝටලයේ ප්‍රධාන කොටස් හිමිකරු වෙති.නිමල් පෙරේරා පවසන්නේ තමන්ගෙන් ලිපියකට අත්සන් ගත් නමුත් මුදල් නොදුන් බවයි.නිමල් පෙරේරා ණය දුන් බව තහවුරු වන්නේ නම් ණය නොපියවු යේ ඇයි ද යන්නට CSN ආයතනය ද, ණය ආපසු අය කර ගැනීමට කටයුතු නොකළේ ඇයි ද යන්නට නිමල් පෙරේරා ද පිළිතුරු දිය යුතුව තිබේ. නිමල් පෙරේරා ණයක් ලබා නොදුන් බව තහවුරු වුයේ නම් , එසේ අසත්‍ය කරුණු තම මූල්‍ය ආයෝජනයක් ලෙස සඳහන් කළේ ඇයි ද යන්නට CSN ආයතනය පිළිතුරු ලබාදිය යුතුව තිබේ.කෙසේ නමුත් දිවබොරු කිව්වද කට බොරු නොකියන නිසා , හොරුන්ගෙත් හොරු කම්බා හොරු බව මේ සෑම ප්‍රකාශයකින්ම තහවුරු කරති.

3. තුන්වනුව රුපියල් ලක්ෂ 1000 ක් ණයක් ලෙස ලබාදී ඇත්තේ කොස්මෝස් ටෙක්නොලොජි ලිමිටඩ් සහ කොස්මෝස් ප්‍රින්ටින් නැමති ආයතනයක් විසිනි. මෙම ආයතන දෙකෙහිම හිමිකරුවා මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ය.දැනට හෙලිවී ඇති කරුණු අනුව කොස්මෝස් ප්‍රින්ටින් ආයතනය බංකොලොත් වී ඇති ආයතනයකි.

CSN සමාගමේ ස්ථාවරය වන ඉහත කී රුපියල් ලක්ෂ 2000 , අදාල ආයතන හා පුද්ගලයින්ගෙන් ණය ලෙස ලබාගත් බවයි. නමුත් අප වගකීමෙන් කියා සිටින්නේ මෙකී ආයතන හා පුද්ගලයින් විසින් ණය බවට පරිවර්ථනය කොට ඇත්තේ එකී පුද්ගලයින් හා ආයතන තුළ රැඳවු මුදල් කොමිස් හා කප්පම් ලෙස විවිධ විදේශ ගණුදෙනු හරහා ලබාගත් මුදල් වන බවය.

I. LOLC ආයතනය රුපියල් ලක්ෂ 500 ක ණයක් නිකුත් කර ඇත්තේ, TPL International pvt ltd ආයතනය විසින් LOLC ආයතනය තුළ තිබූ රුපියල් ලක්ෂ 2530 ක ස්ථාවර තැන්පතුවට එරෙහිව ය.අප වගකීමෙන් කියා සිටින්නේ , එකී ස්ථාවර තැන්පතුව නිර්මාණය වී ඇත්තේ හැලියාඩ් නැමති විදේශීය සමාගම සහ TPL International pvt ltd සමාගම, ශැන්ගරිල්ලා හෝටලයට, ගාලු මුවදොර පිහිටි ඉඩම විකිණීමෙන් ලබාගත් ඩොලර් මිලියන 5ක කොමිස් මුදලින් කොටසක් ලෙස බවයි

CSN සමාගම මෙම රුපියල් ලක්ෂ 500 ක මුදල කිසිදා පියවීමට කටයුතු නොකරන ලද අතර පසුව LOLC සමාගම , තමන්ට අයවිය යුතු ණය සහ පොලිය ගණනය කොට TPL සමාගමේ ස්ථාවර තැන්පතුව , එකී ණය මුදලට හිලව් කරගෙන තිබේ.
TPL සමාගම තමන්ගේ ඒ සා විශාල ස්ථාවර තැන්පතුවක් අත්හැර දමන්නේ , රුපියල් ලක්ෂ 2530 ක් කජු ඇට කොස් ඇට ලෙස සලකා විය හැකිය.

II. එසේම අප වගකීමෙන් කියා සිටින්නේ කොස්මෝස් ටෙක්නොලොජි හා කොස්මෝස් ප්‍රින්ටින් මගින් ලබාදුන් රුපියල් ලක්ෂ 1000 ද ඉහත කී , ෂැන්ගරිල්ලා ගණුදෙනුවෙන් TPL International pvt ltd සමාගම ලබාගත් කොමිස් මුදල තුළට ඇතුළත් වන බවයි.

එම මුදල CSN සමාගමෙන් නැවත ඉල්ලා සිටින්නේ ද, නැද්ද යන්න සජින් වාස් ගුණවර්ධන මහතා පැවසිය යුතු කරුණකි.නමුත් වර්තමානය වන තෙක් ඔහු එකී ණය CSN සමාගමෙන් ඉල්ලා නැත.එසේ නොඉල්ලන්නේ ඇයි?එම මුදල ඔහුට සැබවින්ම අයත් නොවන නිසා ද යන්න විසඳා ගත යුතු ප්‍රශ්නයකි.

CSN සමාගමේ මුදල් ලොන්ඩරිකරණය සිදුවු බව තවත් අවස්ථාවක තහවුරු වන්නේ තම ආයතනයට උපකරණ ලබාගැනීමට බ්‍රිතාන්‍ය සමාගමක් සමඟ කටයුතු කළ ආකාරය මගිනි.

1. වර්ෂ 2012 දී CSN ආයතනයේ OB බස් රථයක් හා ඒ සඳහා වන උපකරණ එංගලන්තයේ ඇරීනා නැමති සමාගමක් සහ ES බ්‍රොඩ්කාස්ටින් සමාගමට ඇණවුම් කොට මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.
CSN සමාගම මෙරට රේගුවට ඉදිරිපත් කර ඇති ලේඛන අනුව බස් රථය සඳහා බ්‍රිතාන්‍ය පවුම් 23000 ක් ද , උපකරණ සඳහා ඩොලර් 3200 ක් ද මිල නියම කර තිබේ.

නමුත් එකී බස් රථයේ අව්‍යාජ ඉන්වොසියට අනුව එකී බස් රථය සඳහා බ්‍රිතාන්‍ය පවුම් 300000 ක් ද, උපකරණ සඳහා බ්‍රිතාන්‍ය පවුම් 140000 ක් ද මිල කොට තිබේ.

ඉහත සඳහන් රේගුවට ඉදිරිපත් කළ ඉන්වොයිසියේ සහ “තාරුණ්‍යයට හෙටක්“ සංවිධානය වෙත නිකුත් කර ඇති අව්‍යාජ ඉන්වොයිසියේ මිල අතර වෙනස බ්‍රිතාන්‍ය පවුම් 409800 ක් පමණ වෙයි.
මෙම මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් ගත් කළ රුපියල් ලක්ෂ 8900 ක් පමණ වන්නේය.

අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට සිටින්නේ එකී රුපියල් ලක්ෂ 8900 නැතහොත් බ්‍රිතාන්‍ය පවුම් 409 800 ,වරාය අධිකාරියේ හිටපු සභාපති වික්‍රම ප්‍රියත් බන්දු විසින් මහා බ්‍රිතාන්‍ය යේ දී තමන් සතු ගිණුමක් හරහා පියවා දමා ඇති බවයි.

මෙම ක්‍රියාවලිය තුළ දැක්වෙන විශේෂත්වය වන්නේ ඉහත කී OB බස් රථය සහ උපකරණ දිගින් දිගටම CSN නාලිකාවේ කටයුතු සඳහා පසුගිය වසර 3 මුළුල්ලේම යොදවනු ලැබ තිබුණ ද එය කිසිවිටෙකත් CSN සමාගම සතු ඉන්වෙන්ට්‍රියේ සඳහන් කොට නොතිබීමයි. 2015 ජනවාරි 8 වන දාට පසුව මෙම OB බස් රථය නාරාහේන්පිට පිහිටි ආර්ථික මධ්‍යස්ථානයේ කාමරයක් තුළ ගාල්කොට තිබුණි.එම රථයට දැන් පොලිසිය විසින් සීල් තබා ඇත.
එකී කාමරයට යාබද කාමරයේ තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියුව ද පසුව රේ විජේවර්ධන අයත්ව තිබු කෞතුක වටිනාකමක් සහිත ගුවන් යානයයි.

මෙලෙසට CSN ආයතනය විසින් රේගුවෙන් තීරුබදු ගෙවා මුදාගත් ලක්ෂ දහස් ගණනක් වටින OB බස් රථය සහ උපකරණ CSN සමාගමේ ඉන්වෙන්ට්‍රියට ඇතුළත් නොකොට , 2015 ජනවාරි 8 දා වන විට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සඟවා තැබූයේ, එකී වටිනාකම CSN සමාගමේ ආයෝජනය හා ආදායම තුළින් තහවුරු කිරීමට නොහැකි වු නිසා බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු.

මූල්‍ය ලොන්ඩ්‍රිකරණය තවදුරටත්?

CSN සමාගම තම ව්‍යාපාර කටයුතු අදටත් සිදුකරන්නේ , බත්තරමුල්ලේ පිහිටි මහල් 5කින් යුතු ගොඩනැගිල්ල තුළය.එහි ලිපිනය වන්නේ 236 /1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතයි. එකී ගොඩනැගිල්ල අයත් වන්නේ ඩී. ඒ රජපක්ෂ පදනමට ය.රාජපක්ෂ පදනම පිහිටුවා ඇත්තේ පාර්ලිමේන්තුව මගින් සම්මත කොට ඇති 1998 අංක 23 දරණ පනත මගිනි.

රාජපක්ෂ පදනමට අයත් එම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බදු දුන් ඉඩමක් තුළය.එය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ නවලෝක ඉදිකිරීම් සමාගම මගිනි. වසර 2010 දී ගොඩනැගිල්ල ඉදිකොට CSN සමාගමට ලබා දී ඇත.ඒ සඳහා පසුව CSN සමාගම සහ ඩී. ඒ රාජපක්ෂ පදනම බදු ගිවිසුමකට එළැඹ තිබේ.අදාල ඉඩමේ වාර්ෂික බදු මුදල රුපියල් 163,125 /= කි.වර්ෂ 2010 එම ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 30,000 ක් පමණ වැය කර ඇති බව නවලෝක ආයතනය පවසයි.එකී මුදල් නවලෝක සමාගමට සපයා ඇත්තේ මහජන බැංකුවේ හිටපු සභාපති හා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු ද වන හා CSN සමාගමේ අධ්‍යක්ෂිකාවක් වන ශාඩියා කරුණාජීව ගේ පියා වන ඩබ්. කරුණාජීව මහතා විසිනි.කරුණාජීව මහතාට තමන් විසින් ඉපැයු ධනයෙන් රාජපක්ෂ පදනමෙහි ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 30,000 ක වැය බරක් කිසිසේත්ම දරන්නට බැරි බව සත්‍යයකි.

එසේ නම් මෙම මුදල ලැබුයේ , කුමන මූලාශ්‍රයකින් ද? ඒ සඳහා පිළිතුරු දීමට කරුණාජීව මහතා ජීවතුන් අතර නැත.

ඉහත කී සියලු සාධක මඟින් මනා ලෙස තහවුරු වන කරුණක් වන්නේ, CSN සමාගම යනු මුදල් විශුද්ධිකරණය අරමුණු කරගෙන , මෙරට තුළ පවත්වාගෙන ගිය ව්‍යාජ සමාගමක් බවයි.ඒ නිසා අප දැන් මුදල් විශුද්ධිකරණය යනු කුමක් දැයි සොයා බලමු.

“The Concealment of the Origins of illegally Obtained money ,typically by means of transfers involving Foreign banks of legitimate Business. It is a process of transforming the proceeds of crime in to ostensibly legitimate money or other assets.

මුදල් විශුද්ධිකරණයට අදාල ශ්‍රී ලාංකික නෛතික රාමුව –

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරනය පිටුදැකීම සඳහා වන පනත ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට , සම්මත කොට ඇතුළත් කර තිබේ.

ඒ අනුව යම් පුද්ගයෙකු,
I. වක්‍ර හෝ සෘජු ක්‍රමයක් මගින් යම් දේපොළක්, අයථා ක්‍රියාවක හෝ ගණුදෙනුවකින් වක්‍රව හෝ සෘජු ව උපයා ගත් ධනයකින් අත්පත් කරගනු ලබන විටක දී,
II. යම් දේපොළක් වක්‍ර හෝ අයථා සෘජු ගණුදෙනුවක් මගින් උපයාගත් ධනයක් මගින් ලබා ගන්නේ නම් හා / හෝ භුක්ති විඳින්නේ නම් , හා / හෝ ශ්‍රී ලංකාව තුළට හෝ ඉන් පිටතට සම්ප්‍රේෂණය කරන්නේ නම් , හා / හෝ ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්නේ නම්
එවැනි පුද්ගලයෙකු මුදල් විශුද්ධිකරණයට වරදකරුවකු වන්නේ ය. එවැනි පුද්ගලයෙකුට අදාල දේපළෙහි මුල් වටිනාකම හෝ එම විටනාකමින් තුන් ගුණයක් වන දඩයක් ද , බරපතල වැඩ සහිත වසර 5කට නොඅඩු සහ වසර 20 කට නොවැඩි සිරදඩුවමකට ද යටත් වනු ඇත.
ඊට අනුබල හා ආධාර දෙන පුද්ගලයින් ද, එවැනිම දඩුවමකට යටත් වන බව පනත සඳහන් කරයි.
මෙම පනත තවදුරටත් සංශෝධනය කොට වර්ෂ 2011 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කොට පනතේ අදාල විධිවිධාන තවදුරටත් ශක්තිමත් කොට තිබේ.

දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා

CSN සමාගම පිහිටුවීමේ මහ මොළකරු කවුද?

යෝෂිත රාජපක්ෂ CSN සමාගමේ සන්නාම අධ්‍යක්ෂවරයෙක් පමණක් ද?

දැනට හෙළිවී තිබෙන තොරතුරු මත යෝෂිත රාජපක්ෂ මහතා ක්‍රියා කොට ඇත්තේ CSN සමාගමේ සභාපති වරයා ලෙසයි.එහි ආරම්භක විධායක නිලධාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංග මහතාය.පසුව ඔහු ඉන් ඉවත් වී ඇත.(ක්‍රිකට් සංගමයේ ලේකම් වීම නිසා) එහි මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ, 2009 සිට 2013 දක්වා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරි නියාමන ලෙස කටයුතුකළ ප්‍රියන්ත අබේරත්න මහතා ය. මොහු එම තනතුරට පත්කොට ඇත්තේ වසර 2011 දී ය. CSN නාලිකාවේ මෙහෙයුම් කළමණාකරු ලෙස කටයුතු කර ඇත්තේ තුසිත ජයවර්ධන මහතා වන අතරඑම තනතුරට සමාන්තරව ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි තනතුර ද වැටුප් ලබමින් ඔහු විසින් හොබවා ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා CSN නාලිකාවේ සක්‍රිය කාර්යභාරයක නියැළුණු බව තහවුරු කළ හැකි කරුණු කිහිපයක් පහත දැක්වෙයි.

1. ක්‍රීඩා අමාත්‍යංශයේ එවකට සිටි ස්ථිර ලේකම් වරයා විසින් (ගනේගල මහතා) යෝෂිත රාජපක්ෂ මහතාට යොමු කළ කැබිනට් පත්‍රිකා අංක 05/12/2011

2. CSN නාලිකා පරිශ්‍රෙය් වායු සමීකරන යන්ත්‍ර සවිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් යුනයිටඩ් ඉලෙක්ට්‍රිකල් එන්ජිනියරින් සමාගම වෙනුවෙන් නිහාල් නානායක්කාර මහතා ඒ සඳහා වන ගිවිසුම අත්සන් කොට ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟය.

3. CSN නාලිකාව සමඟ අලෙවිකරන කටයුත්තකට රිචර්ඩ් සොයිසා මහතා එළැඹුන ගිවිසුම.

CSN සමාගම ලියාපදිංචි කිරීමේ දී ලිපිනයන් දෙකක් ලබාදී තිබේ.

1. අංක 21 , ජනාධිපති මාවතේ පිහිටි සෙමා ගොඩනැගිල්ල (මෙය රජයේ දේපළ කි).

2. 260/2 , ටොරින්ටන් ඇවිනියු කොළඹ 07.නිවස. මෙම නිවස මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2000 දී පදිංචි වී සිටි නිවස වන අතර රාජපක්ෂ පවුල සතු “සිරිලිය සවිය“, සහ වෙනත් පදනම් ද මෙම ලිපිනය තුළ ලියාපදිංචි කර තිබේ.
කරුණු එසේ නම් CSN නාලිකාව පදනම් කරගෙන යෝෂීත රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කිරීම දේශපාලන පළිගැනීමක් හෝ වෛරී දේශපාලනයක ප්‍රතිඵලයක් යැයි කිව හැක්කේ කෙසේ ද?

මහජන දේපල කාබාසිනියා කරනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබේ.

ඒ සඳහා දෙවියන් ඉදිරියේ කන්නලව් කළ යුතුව ඇත්තේ නම් එසේ කළ යුත්තේ ශ්‍රී ලංකා ජනතාවයි.නමත් ඇත්ත සඟවා, බොරුව මතු කිරීමට දේශපානඥයින් දරන උත්සාහය මෙලෙස ඉදිරිපත් කරනු ලබන තොරතුරු මගින් පරාජයට පත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

අද අපට අවශ්‍යව ඇත්තේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා මෙකී කරුණු ජනතාවට ඉදිරිපත් කරමු.

Archive

Latest news

Related news