Sunday, April 28, 2024

උඩුවේ හිමියන් ‘බුදු දහමත් හෑල්ලු කරලා’ – විජිත හේරත්

නීති විරෝධී අයුරින් අලි පැටවුන් රඳවා ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ තමන් හදා වඩා ගත්තේ නීති විරෝධී අලි පැටවකු නොව සිය විහාරස්ථානයේ දමා ගිය අලි පැටවකු බවට උඩුවේ ධම්මාලෝක හිමියන් කර ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

“පන්සල්වලට බල්ලන්, පූසන් ගිහින් දානවා කියා අපි අහලා තියෙනවා, හැබැයි අලියෙක් දාල ගියා කියලා මම ජිවිතේට අහලා නැහැ. මේක පුදුම රටක්. මෙහෙම පන්සල් මේ රටේ තියෙනවා කියලා දැන ගෙන හිටියේ නැහැ,” මන්ත්‍රීවරයා පැවසීය.

“බල්ලෝ, පූසෝ ඇවිල්ලා ඉන්න එක හරි. හැබැයි අලි පැටව් ඇවිල්ලා ඉන්නවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක්ද? මේක මහ පොළව නුහුලන බොරුවක්. හැබැයි කියන්නෙත් ධර්ම දේශනා කරන හාමුදුරුවෝ නමක්.”

බල්ලන් පූසන් මෙන් නොව අලින් ඇති කිරීමට බලපත්‍රයක් අවශ්‍ය යයි කුඩා ළමුන් පවා දන්නා බව පැවසූ විජිත හේරත් මන්ත්‍රීවරයා, බලපත්‍රයක් නොමැතිව අලියෙක් ළඟ තබා ගැනීම සිරගත කළ හැකි වරදක් බවයි සඳහන් කළේ.

“උන් වහන්සේට කරන්න තිබ්බේ එහෙම කවුරු හරි ගෙනත් දැම්ම නම් පොලිසියට පැමිණිලි කරන්න. කෝටි ගණනක් වටිනවා අලියෙක්. අලින් වෙනුවෙන් මරා ගන්නවා. මේක මහ ජාවාරමක්. එහෙව් රටේ අනේ මන්දා කව්දෝ පින්වතෙක් අලි පැටියෙක් දාල ගිහිල්ලා.”

“මෙච්චර මේ රටේ පන්සල් තියෙනවා. හැබැයි අර කොළඹ පහේ පන්සලට ගෙනල්ල දාලා ගිහිල්ලා. පිළිගන්න පුළුවන් කතාවක්ද?”

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෙම ක්‍රියා කලාපයෙන් නීතිය මෙන්ම බුදු දහමද හෑල්ලුවට ලක් වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

බලපත්‍ර රහිතව අලි පැටවෙකු ළග තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාව වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීම සඳහා අඩුම ගණනේ රුපියල් 10 ක හෝ ආධාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් උඩුවේ ධම්මාලෝක හිමියන් ඉරිදා පුවත්පත් කිහිපයකම දැන්වීම් පළ කර තිබුණි.

තමන් කිසිදු වරදක් කර නොමැති බවයි, උඩුවේ ධම්මාලෝක හිමියන් එම දැන්වීම්වල අවධාරණය කර තිබෙන්නේ.

එවැනි දැන්වීමක් පළකිරීම පිණිස ඉරිදා පුවත්පත් රුපියල් ලක්ෂ දෙකත්, හතරත් අතර මුදලක් අයකරයි.

උඩුවේ ධම්මාලෝක හිමියන්ට අයත් නාරාහේන්පිට ඇලන් මැතිනියාරාමයේ සිටියදී වයස අවුරුදු දෙක හමාරක් වයසැති අලි පැටවෙකු 2015 වසරේ ජනවාරි 28 දින වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් පවත්වන අතර උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව වනජීවි ආඥා පනත යටතේ නඩු පැවරීමට තරම් සාක්ෂි ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news