Sunday, April 28, 2024

රාජපක්ෂ: ‘කඳුළු හුරතල් වැඩිද මන්දා…‘ – උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා යැයි කතාවක් තිබේ. මහින්ද සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමු වීම ගහට ගහක් මොරටුවේදී හමු වූවා වාගේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යන්නේ මහින්ද ඔහුව හිර ගෙට දමා හරියටම වසර 6ක් පිරෙන පෙබරවාරියේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යද්දී මහින්දගේ පුතා යෝෂිත ඉන්නේ හිර ගෙදරය.

ෆොන්සේකා හමුදාවට බැඳෙන්නේ 1970 දීය. යෝෂිත නාවික හමුදාවට බැඳෙන්නේ 2006දීය. යෝෂිත නාවික හමුදාවට බැඳීම මහින්ද පෙන්වන්නේ තමා රට ජාතිය වෙනුවෙන් අභීතව සටන් කරන්න තම පුතාව හමුදාවට දුන්නා සේය. යෝෂිතගේ විසිර යෑමේ පෙළපාළියට යන මහින්ද එය දේශපාලන සන්දර්ශනයක් බවට පත් කර ගත්තේ පුතාව යුද්ධයට යවපු එකම රාජ්‍ය නායකයා තමා බව පෙන්වමිනි. එකල මාධ්‍යද එය පෙන්වන්නේ මහා වීර කාව්‍යයක් ලෙසය.

2006 වසරේ දෙසැම්බර් 14 නාවික හමුදාවට බැඳුණු යෝෂිත ඉන් හරියටම දෙසතියකට පසු එනම් 2007 ජනවාරි 01 මහ බි්‍රතාන්‍ය තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවට සහභාගි වීම සඳහා ගියේය. යෝෂිත හමුදාවට බැඳී දවස් 14කින් ඔහුට බි්‍රතාන්‍යයෙන් පුහුණු පාඨමාලාවකට යන්න අවස්ථාව ලැබුණේ කෙසේදැයි, ඔහුට ජේ‍යෂ්ඨ නාවික හමුදා භටයන් ප්‍රශ්න කරද්දී ප්‍රචාරය කළේ ඔහුට විශේෂ ශිෂ්‍යත්වයක් ලැබුණා කියාය. නමුත් ඔහුගේ බි්‍රතාන්‍ය පාඨමාලාව වෙනුවෙන් නාවික හමුදාව හැට දෙලක්‍ෂ අසූහතර දහසක මුදල් වැය කොට ඇති බව හෙළි වූයේ මහින්ද පරාජය වීමෙන් පසු යෝෂිත ගැන හොයන්න නාවික හමුදාපති පත් කළ කමිටු වාර්තාවෙන්ය. ඔහු බි්‍රතාන්‍ය පාඨමාලාව නිමවා ලංකාවට එන්නේ 2007 දෙසැම්බර් 7ය. ඒ, උතුරේ යුද්ධය ඇවිළී දහස් ගණන් යුද, නාවික, ගුවන් හමුදා භටයන්ගේ මළ සිරුරු මිනී පෙට්ටියෙන් කොළඹට එන කාලයේය. 2007 දෙසැම්බර් 07 ලංකාවට එන යෝෂිත ලංකාවේ ඉන්නේ මාස 5ක් වැනි සුළු කාලයකි.

2008 මැයි 15 ඔහු යළි විදේශගත වන්නේ උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව හැදෑරීම සඳහාය. ඔක්තෝබර් වන තෙක් ඔහු විදේශගත වී පාඨමාලාව හදාරා ලංකාවට එන්නේ 2008 ඔක්තෝබරයේය. ඔහුට ලැබුණු එම විදේශ සංචාරය ගැනත් නාවික හමුදාව තුළ කසු කුසු යද්දී ප්‍රචාරය කරන්නේ එයත් ඔහුටම ලැබුණු විශේෂ ශිෂ්‍යත්වයක් කියාය. එහෙත් වත්මන් ආණ්ඩුව පත් කළ කමිටුව සොයා ගෙන ඇත්තේ ඔහුගේ එම පාඨමාලාව වෙනුවෙන් නාවික හමුදාව රුපියල් පනස් තුන් ලක්‍ෂ තිස්හත්දහස් හයසීයයි ශත හැත්තෑවක් වියදම් කොට ඇති බවය. 2008 ඔක්තෝබරයේ ලංකාවට ආ යෝෂිත එක් දිනක්වත් උතුරු – නැඟෙනහිර යුද බිමෙහි සිටි බවට වාර්තා වී නැත.

යුද්ධය අවසන් වූවාට පසුව 2009 නොවැම්බර් 11 යළි ඔහු යුක්රේනය බලා යන්නේ විශේෂ අධ්‍යයන නිලධාරි පාඨමාලාවක් හැදෑරීම පිණිසය. ඒ සඳහා වැය කොට ඇති මුදල තිස්හත් ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීයයි සත හැත්තෑහයකි. 2009 මාර්තු 07 මහින්ද රාජපක්‍ෂ විසින් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේදී යෝෂිතට වසරේ හොඳම Midshipman  Man සම්මානය පිරිනමා ඇත. ඔහුට එම සම්මානය පිරිනමා ඇත්තේ ඔහු නාවික හමුදාව වෙනුවෙන් කළ උදාර සේවය වෙනුවෙනි. එසේම ඔහුට Sword of Honer  සම්මානයද පිරිනමා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරන්නේ රට ජාතිය බේරා ගන්න කැප වූ උතුම් වීරයන්ට පිරිනමන මෙම සම්මාන යෝෂිතට පිරිනමන්න ඔහුගේ පියා සහ මව පැමිණීම සංවේදීජනක සිද්ධියක් බවය. ත්‍රිවිධ හමුදා ප්‍රධානි මහින්ද සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභයගේ උපදෙස් මත, නාවික හමුදාව මෙම සම්මාන යෝෂිතට පිරිනමන්න ඇත්තේ යුද්ධයේදී දිවි දුන් අංගවිකල වූ ගම්වල අහිංසක නාවික හමුදා භටයන්ට සමච්චල් කරමින්ය.

“අද රටක කඳුළු පිස දැමූ මිනිසාගේ ඇස්වල කඳුළු ගැන කතා කරන දේශප්‍රේමීන් යෝෂිත සම්මාන ගන්න කොට සම්මාන පමණක් නොව දරුවන්ද අහිමි වූ රණවිරුවන්ගේ අම්මලා තාත්තලා කඳුළු සලද්දී වචනයක් කතා කළාද…?”

ඒ වෙලාවේ පමණක් නොව රට ජාතිය ත්‍රස්තවාදයෙන් මුදා ගත් අභීත රණවිරුවා ජෙනරාල් ෆොන්සේකා කුදලාගෙන යද්දී මේ දේශප්‍රේමීන් කළේ හුරේ දමන එකය. ෆොන්සේකා දෙවරක්ම ත්‍රස්තවාදීන්ගෙන් ජීවිතය බේරා ගත් අයෙකි. වරක් යුද බිමේදීත් වරක් යුද හමුදා මූලස්ථානයෙදීත් ඔහු ප්‍රභාකරන්ගේ බෝම්බවලින් ජීවිතය බේරා ගත්තේ අනූනවයෙනි. ඔහු යළි යුද බිමට ආවේ වෛද්‍යවරුන් විවේක ගන්නා ලෙස ඔහුට අවවාද කර තිබියදීය.

වෛද්‍ය උපදෙස් පිළි නොගෙන ෆොන්සේකා යුද බිමට ගියේ නැතිනම් ප්‍රභාකරන් අදටත් ජීවතුන් අතරය. එය හොඳ හැටි පැහැදිලි වන්නේ ෆොන්සේකා නැතිව යුද්ධය දිනන්න බැහැ යැයි එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ෆොන්සේකාව දැඩි ලෙස විවේචනය කළ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට කී කතාවෙන්ය. ඔහු එදා කීවේ ෆොන්සේකාට ගහන අය කොටි හිතවාදීන් කියාය.

එහෙත් යුද්ධය දින්නට පසු මහින්ද ෆොන්සේකාව හමුදාපති ධුරයෙන් ඉවත් කළේ ඔහුට රට තුළ ඇති ජනප්‍රියතාව ගැන බුද්ධි අංශ දුන් වාර්තාවලට බය වෙලාය. ඔහු ෆොන්සේකාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙසද පත් කළේය. ෆොන්සේකා මහින්දට එරෙහිව ජනාධිපති සටනට එන්න තීරණය කළේ යුද්ධය දිනල දුන්න ඔහුට කළ කුඩම්මාගේ සැලකිලි නිසාය. රාජ්‍ය බලය පමණක් නොව හමුදා නිලධාරීන්ද දේශපාලනයට යොදවා ගෙන ජනාධිපතිවරණය දින්න මහින්ද ෆොන්සේකාව බල්ලෙක් ලෙස ඇද ගෙන ඇවිත් කූඩුවට දමන්නේ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකරමින්ය. ඔහු තමාට එරෙහි චෝදනා දැන ගත්තේ සිරගත වූවාට පසුවය. හැබැයි යෝෂිතට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් පරීක්ෂණ කළේය. කටඋත්තර ගත්තේය. මහින්ද ඔහුගේ ජෙනරාල් පදවිය, විශ්‍රාම වැටුප, ඉතිහාසයෙන් ඔහුට හිමිකම අහිමි කරන්නේ උමතුවෙන් වාගේය. එසේම ඔහු දිනාගත් මන්ත්‍රි ධුරයද ඔහුට අහිමි කොට ඔහුගේ ප්‍රජා අයිතියද නැති කරනු ලැබීය.

එකල මෙරට මාධ්‍ය මඟින්ද ෆොන්සේකාගෙන් පළි ගැනීම සාධාරණීයකරණය කරන්නේත් උමතුවෙන්ය. ලංකාදීප පුවත්පත 2010 මැයි 20 පැවැති යුද ජයග්‍රහණය සමරන දිනයේ ෆොන්සේකා යුද්ධය දිනන්න කළ මෙහෙය ගැන ලියවුණු ගුරුදා විග්‍රහය තහනම් කරනු ලැබීය. එය 2010 මැයි 23 ලංකා පුවත්පත සඳහන් කර ඇත්තේ මෙසේය.

විග්‍රහයට කැපිල්ලක්
ලංකාවේ ජනප්‍රිය ලංකාදීප පුවත්පත සෑම බ්‍රහස්පතින්දාවකම පළවන ගුරුදා විග්‍රහය පසුගිය බ්‍රහස්පතින්දා එම පුවත්පතේ පළ වී තිබුණේ නැත. එයට හේතුව වී ඇත්තේ යුද ජයග්‍රහණයට සෙන්පතියා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ගැන එහි සඳහන් වීමයි. 23.05.2010
ඒ වගේම ලංකාදීප පුවත් පත එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව වචනයක්වත් ලියන්න දුන්නේ නැත. 2008 ජනවාරි 31 ගෝඨාභය විවේචනය කොට ලියැවුණු ගුරුදා විග්‍රහයත් තහනම් කළ ආකාරය ඉරුදින පුවත් පත වාර්තා කළේ මෙසේය.

ගෝඨාභය ගැන කිසිවක් ලියන්න බැහැ.ඉහළ අණකින් ගුරුදා විග්‍රහය ගැලවේ.  – 03.02.2008, ඉරුදින

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරු එයට එරෙහිව දළදා මාලිගාව අසල සඟ සමුළුවක් පවත්වන්න ගිය විට මහින්ද එය කඩාකප්පල් කිරීම සාධාරණය කරමින් දිවයින පුවත්පත 2010 පෙබරවාරි 21 සිය පුවත්පතේ කතුවැකිය ලීවේ මෙලෙසය.

මෙම සඟ සමුළුව අතිගරු මහනාහිමිවරුන් විසින්ම කැඳවන ලද්දක්ද නොඑසේ නම් එය වෙනත් දේශපාලන අවශ්‍යතාවක් විසින් සංවිධානය කරන ලද්දක්ද යන්න අපි නොදනිමු. මහනාහිමිවරු දේශපාලන අදහස් අනුව ක්‍රියා නොකරති. උන්වහන්සේ දේශපාලන නූල් සූත්තරවලට භාවිත වීමෙන් ඒ ගෞරවයට හානි සිදුවේ. – 21.02.2010, දිවයින

එසේම ෆොන්සේකාට එරෙහිව චෝදනා ඇත්නම් සිවිල් නීතිය යටතේ ඒ චෝදනා විභාග කළ යුතු බවට ඇමෙරිකාව කළ ප්‍රකාශය හෙළා දකිමින් දිවයින එම පුවතට හෙඩිම දැම්මේ මෙසේය.

දිවයින කඩේ යෑම

නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමෙරිකාව අපට උගන්වයි, 25.02.2010, දිවයින

කොටි බෝම්බ දෙකකින් සිය ජීවිතය අනූනවයෙන් බේරා ගෙන යුද්ධය දිනල දුන් ෆොන්සේකාට වඩා දේශප්‍රේමියෙක් ලංකාවේ සිටිය නොහැකිය. එහෙත් මහින්දගේ දේශප්‍රේමී නඩය සහ දේශප්‍රේමී කියාගන්නා මාධ්‍ය එදා ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සාධාරණීයකරණය කරමින් ඔහුට ගැහුවේ දේශප්‍රේමී වස්ත්‍ර උනා දමලාය. එකල ෆොන්සේකා උසාවියට පැමිණ මාධ්‍යයන්ට ප්‍රකාශයක් දෙන විට මෙරට කිසිදු මාධ්‍යයක් එම ප්‍රකාශය පළ කළේ නැත.

බය නැතිව එම ප්‍රකාශය පළ කළේ සිරස මාධ්‍ය පමණය. එදා ඔහු සුදු කොඩි සිද්ධිය ගැන කළ කතාවේ මුල් පිටපත නොදී සංස්කරණය කරන ලද පිටපත උසාවියට දුන්නේ අද දේශප්‍රේමය තනි භුක්තියට ලියාගන්න හදන විද්‍යුත් මාධ්‍යයකි. එදා මෙම මාධ්‍යයන්ට ෆොන්සේකා වෙනුවෙන් සටන් කරන හැමෝම දේශද්‍රෝහීන්ය. හැබැයි අද මහින්ද වෙනුවෙන් සටන් කරන අය දේශප්‍රේමීන්ය. එදා ෆොන්සේකා වෙනුවෙන් සඟ සමුළුව තියන්න යෑම බුද්ධ ශාසනයට අගෞරවයකි. අද මහින්දලාට පන්සල්වල දේශපාලනය කරන්න ඉඩදීම භික්‍ෂූන්ගේ යුතුකමකි. එදා ෆොන්සේකාගේ ප්‍රකාශ තහනම් කොට අද මහින්දගේ කටින් පිටවෙන වචනයන් රත්තරන් සේ සලකා පළ කරන්නේ ප්‍රධාන පුවත් ලෙසය.

එදා යෝෂිත නාවික හමුදාපතිට නොදන්වා නිවාඩු ගෙන විදේශ සංචාර යද්දී නාවික හමුදා සල්ලිවලින් විදේශ ශිෂ්‍යත්ව ලබා ගනිද්දී යෝෂිතට තියෙන වරප්‍රසාද හමුදාවට බැඳෙන අහිංසක ගමේ ගොවියාගේ පුතාට නැත්තේ ඇයි කියා ඇසුවේ නැත. එය හමුදා විනය උල්ලංඝනය කිරීමක් නේදැයි ඇසුවේ නැත. යෝෂිත හමුදාවේ සිටිමින් සී.එස්.එන්. වැනි ක්‍රීඩා නාළිකා පවත්වාගෙන යමින් ව්‍යාපාර කළේ කොහොමද කියා ඇසුවේ නැත.

යෝෂිත දේශප්‍රේමියෙක් කළ, ෆොන්සේකාව දේශද්‍රෝහියෙක් කළ මේ නාඩගම් දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගලවන තීන්දුවක් අද ස්වභාවධර්මය ලබාදී තිබේ. ඒ යෝෂිත හිර ගෙදර සිටියදී ෆොන්සේකාට පාර්ලිමේන්තුවට යන්න සැලැස්වීමෙන්ය.

– මව්බිම

 

Archive

Latest news

Related news