Thursday, April 25, 2024

යහපාලනයේ වසරක ශේෂ පත්‍රය : ජනතාවගේ භුක්තිය – නිලන්ත ඉලංගමුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජනම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැපලබන්නන් පසුගිය 2015 වසරේ සිදු වූ දේශපාලන වෙනසේ පළමු සංවත්සරය සැමරීම සඳහා රාජ්‍යය සම්පත් වෙන් කොට තිබේ. ඒ සඳහා මේ වන විට ප්‍රධාන මාධ්‍යය ඔස්සේ පුළුල් ප්‍රචාරයක්ද ගෙන යමින් තිබේ. වසරක් තුළ සිදු වී ඇති දේ හඳුනා ගැනීම සඳහා එය එක් නිදසුනක් පමණක් විය හැකිය. නමුත් ඒ නිදසුන එනම් පැවැත්වීමට යෝජිත සැණකෙළිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දීමේ උළෙල සහ ඊට ඒකරාශී වී සිටි පිරිස සමග සංසන්දනය කිරීමෙන්, තාවකාලිකව හෝ මුලාවෙන් මිදීමට හැකිය.  විකාර  සහ රැවටීම අතර වෙනස හඳුනා ගැනීමට එය ඉවහල් විය හැකිය.  181165974කුණු වුණු සමාජ ක්‍රමයක දැකගත හැක්කේ එකම රවුමේ කැරකෙන දේශපාලන වංචාකාරයින් සහ ඔවුන්ගේ වංචාවන් වීරත්වය ලෙස දක්වමින් තම පෞද්ගලික ධනය වර්ධනය කරගන්නා  රාජ්‍යය සහ පෞද්ගලික අංශ නියෝජනය කරන තෝරාගත් පිරිසක් විසින් රටේ අතිශය තීරණාත්මක කාරනා මෙහෙවීමකි. මෙවැනි වටපිටාවක දේශපාලනය වූ කලී, ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි නම් කරන ලද නමුත් සැබෑ වටපිටාව තුළ මතුවන විකාරයකි.එක් පසෙකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු රවටා ඔහුගේ මුදල් වංචා කළේ යැයි චෝදනා ලද හොරෙකු විසින් සිදු කරන “කළුකොඩි” එසවීමත්, අනෙක් පසින් තම පවුලේ සීයට 50 කට ආසන්න පිරිසක් ඇමෙරිකානු සමාජ ක්‍රමය සහ එහි නීතිය පිළිගෙන තම ජීවිත ස්ථාවර කරගෙන ඇති වටපිටාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමෙරිකානු සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි යැයි කියමින් රැගෙන ඒමට යන්ත දරන “ලොලිපොප්” හැඩයේ සහ රසයේ විරෝධයත් මගින් සැබෑ විපක්ෂ දේශපාලනයකට ඇති ඉඩ කප්පාදු කොට ඇත. උතුරු පළාත් සභාවේ මහමැති විග්නේශ්වරන් මහතා විසින්, මෙම සිංහල විකාරය සඳහා අමුතුම පන්නයේ පසුබිම් සංගීතයක් සපයමින් සිටින්නේය.

ජනතාවගේ සැබෑ ගැටලු ගැන කතා කරන සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම, ආණ්ඩු බලය මෙහෙවන අයවලුන් නිවැරදි නිරීක්ෂණයකට බාජනය කිරීමේ වැඩපිළිවලක් ඇති පිරිසක් බවට පත්වීමට මොවුන්ට නොහැකි බව යළි යළිත් ඔප්පු කරමින් සිටිති. ඒ නිසා, කිසිඳු වැදගැම්මකට නැති, නමුත් රටේ මිනිසුන් රැවටිය හැකි කාරණා මත වවුලන් මෙන් එල්ලෙමින් ඝෝෂා කරති. ඊට මධ්‍යයේ ඉඩ කෙසේ හෝ ලබා ගනිති. රටේ ජනමාධ්‍යය “දේශපාලනඥයින්” ගැන පුවත් විකාශණය එක් සතියකට සම්පූර්ණයෙන්ම නවතා දැමුවහොත්, මෙරටේ ඇති සැබෑ ගැටලු ගැන සැබෑ අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. එය කිරීමට, හැකි නායකත්වයක් මේ ජාතියට ලැබේ යැයි සිහින දකිමු.

අදාළ කළුකොඩි ඔසවා තම ස්වයං-ප්‍රමෝදය ලබන්නාට  මූල්‍යය වංචාවන් ගැන කතා කළ හැකිද? ඇමෙරිකානු සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරන්නන්ට, ස්ත්‍රී දූෂණයට,  සහ මිනීමැරීමට එරෙහිව අවංකව පෙනී සිටිය හැකිද? නමුත් ඔවුහු පෙනී සිටිති. ඒ ගැන කතා කරති. කෙසේ හෝ මාධ්‍යය තුළ ඉඩ වෙන්කර ගනිති! ජනතාව ඒ සඳහා කාලය ලබා දෙති. සංස්කෘතිකගත විකාරයේ විස්ථාරිත පරාමිතියය එයයි. අවිද්‍යයාව ප්‍රතික්ෂේප කිරීමේ සාමුහික සමාජ ගුණයක් ( බෞද්ධ රටක් වුවද ) වෙනුවට තැනී ඇත්තේ, තම පෞද්ගලික වාසිය කේන්ද්‍රකොටගත් කුහක මානසිකත්වයකි. එමඟින් තනා ඇත්තේ අනාරක්‍ෂිත වටපිටාවකි. මන්ද කිසිවෙකුට කිසිවෙක් ගැන විස්වාසයක් නැත. ව්‍යුහය දිරාගිය රාජ්‍යය සංස්ථාවක් මුහුණදෙන යථාර්තය එයයි.

ජයග්‍රහණයක සීමා සහ සංවත්සර සැමරීම වූ කලී සරල කාරණයකි. නමුත් එකී සැමරීම් සැබෑ කාරණා බවට පත්වන්නේ එමගින් රටේ සාමන්‍ය ජනතාවට ලැබෙන සහනය මතය.

යහපාලනය විසින් රටේ සාමන්‍යය ජනතාවට සේවයක් සිදු කොට ඇත්තේද? යහපාලනය, සමාජ ව්‍යුහය වෙනස් කිරීම සඳහා තම අවංක කැපවීම සිදුකොට ඇත්තේද?  වඩාත් සරලව කිවහොත්, “යහපාලකයින්ට” යහපාලනය අවබෝධවී ඇත්තේද? ලබා ඇති අවබෝධය විසින් වඩාත් ක්‍රමෝපායිකව රැවටීම සඳහා රටේ ජනතාව දක්කාගෙන යන්නේද? මෙවැනි කාරනා වලට සරල පිළිතුරු නැත.

වාර්තා වන දසදහසක් පුවත් අතරින් ප්‍රධාන පුවත් තුනක් මූලික කොට ගනිමින් මෙම කාරණය ගැන විමසා බැලීම වැදගත් වේ. පළමු පුවත, කොළඹ නගර සභාවේ මාර්ග පිරිසුදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති එක් පෞද්ගලික සමාගමක් අදාළ පිරිසුදු කිරීමේ කාර්යය කරන ආකාරයය. අදාළ දූවිලි පිරිසිදු කිරීමේ කාර්යය සඳහා යොදා ගන්නා යන්ත්‍රය මාර්ගයේ දූවිලි ලබා අවශෝෂණය කරගත් සැනින්ම එළියට මුදා හරින්නේය.  පසුගිය කාලය පුරාම සිදු වූ මෙම දූෂිත අපරාධය වැළක්වීමට කිසිවෙකු ඉදිරිපත් වී නැත. සැබෑ යහපාලනයක් තුළ එවැන්නක් සිදු වූයේනම්, අදාළ සමාගමේ කොන්ත්‍රාත්තුව පමණක් නොව ඊට හිමි බලපත්‍රයද අහිමි කරනු ඇත.

දෙවැනි පුවත, මත්තල ගුවන්තොටුපලට ගමන් ගන්නා මාර්ගයේ සවිකර තිබු ආරක්‍ෂිත වැටේ, ලෝහ කැබලි ගණනාවක් හොරුන් රැගෙන යාමයි. අදාළ මාර්ගය නඩත්තු කරන, මාර්ග සංවර්ධන අධිකාරියේ, ප්‍රධානියා ඒ ගැන කිසිවක් නොදන්නා බව කියන්නේය. ගෙවත්තේ ඇති කෙසෙල් කැනක් කපාගෙන යෑම හො ගෙවත්තේ බැඳ සිටින ගවයාගේ කකුල කපාගෙන යෑමට වඩා මෙවැනි හොරකම් ප්‍රභල සැලසුමකින් සහ ආශීර්වාදයකින් කරන දෑය.

තෙවැනි පුවත, නොච්චියාගම ප්‍රදේශයේ අමුමිරිස් වගාකළ ගොවීන් මුහුණ දී ඇති තත්වයයි. අක්කර දෙසීයකට ආසන්න ප්‍රදේශයක් පුරා අමුමිරිස් වගාකොට ඇත්තේ, ගොවිජන සේවයක අනුමැතිය ඔස්සේ, පෞද්ගලික සමාගමක් විසින් ලබාදුන් බීජ යොදා ගනිමිනි. ගොවීහු අදාළ වගාව සඳහා, තම සියලු දෑ උකසට තබා ඇත. මාස දෙකකින් ඵල නෙලීම සාමන්‍ය ක්‍රමය වුවද, අදාළ පෞද්ගලික සමාගම විසින් ලබා දුන්, බීජ මාස පහක ගත වී ඇතත් ඵල ලබා දී නැත. සැබෑ යහපාලනයක් තුළ එවැන්නක් සිදු වූයේනම්, අදාළ සමාගමට හිමි බලපත්‍රය අහිමි කිරීම පමණක් නොව වහාම නීතිය හමුවට ගෙන අදාළ ගොවීන්ට සදාරණය නියමිත කාලයේදී ඉටුකරනු ඇත.  නමුත්, රජය මේ දක්වා ඊට කිසිඳු පියවරක් ගෙන නැත. මේ, අඹුඩ ගසාගෙන කොළඹ යන ගොවීන් ගැන නොවේ. එනම් වසබීමට සිදු වී ඇතැයි කියන සැබෑ ගොවීන් මුහුණ දී ඇති තත්වයය.

සාමන්‍යය ජනතාව යහපාලනය  භුක්ති විඳින්නේ ඒ ආකාරයෙනි. මෙම ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි.

වසරක් ගෙවී ගිය පසු උදා වී ඇති තත්වය එයයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරන පරිදි, රටවල් වසරකින් දියුණු නොවූ බව සත්‍යයකි. නමුත් හැදෙන රටවල්, සාමන්‍යය ජනතාව රවටමින් තම ව්‍යපෘති සැලසුම් කළේ නැත. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙයි යැයි කියන්නේ ඒ නිසාය. දියුණුව කරා ගමන් ගත් රාජ්‍යයන්  මූල්‍ය, අධිකරණ, අහාර, ප්‍රවාහන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය, යන අතිශය තීරණාත්මක ක්ෂේත්‍ර මගෝඩින්ගේ ගොදුරු බවට පත් වීමට ඉඩ දෙනෙන් නැත. යහපාලනය මෙහිදී කෙතරම් දුරට, මේ සම්බන්ධයෙන් කටයුතු කොට තිබේද?

“යහපාලනයේ” පළමු සංවත්සර සැණකෙළිය අතරින් තම දෑස් විවර කළ යුත්තේ මේ කාරනා වලට මිස, රටේ ජනතාව රෑ වැටුණු වලේ දවල් වැටීමට සලස්වා විකාර දෙඩීමට නොවේ. 

—–

Archive

Latest news

Related news