Sunday, April 28, 2024

යාපනයේ දිවිනසා ගත් රාජෙශ්වරන් සෙන්දුරන්ගේ පවුලෙන් පැමිණිල්ලක්

( ශිෂ්‍යයා සියදිවි හානිකර ගත් මොහොතේ දර්ශනයක්)

දුම්රියකට පැන සිය දිවි හානිකර ගත් යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ රාජේශ්වරන් සෙන්දූරන් පාසල් ශිෂ්‍යයාගේ දෙමවුපියන් ඥාතීන් සහ ඔහුගේ මිතුරන්ට පොලිසිය අනවශ්‍යය තර්ජන කරමින් බිය වද්දන බවට මියගිය ශිෂ්‍යයාගේ දෙමවුපියන් තමන්ට පැමිනිළි කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

පොලිසිය සිය පරීක්ෂණ අවසන් බව ප්‍රකාශ කළත් සාමාන්‍ය ඇදුමින් සැරසුණු පිරිස් වරින් වර පැමිණ තමන් පොලිසියේ යයි කියමින් මියගිය ශිෂ්‍යයාගේ දෙමවුපියන් සහ ශිෂ්‍යයා සමග සබඳකම් පැවැත්වූ පුද්ගලයන්ගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරමින් බියවැද්දීම් කරන බව තමාට දැනුම් දී ඇති බවයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසන්නේ.

තමා දිවි හානිකර ගත් ශිෂ්‍යයාගේ නිවසට ගොස් ඔහුගේ දෙමවුපියන් සමග අවස්ථා කීපයක්ම සාකච්ඡා කොට ගතයුතු පියවර ගැන ඔවුන් දැණුවත් කළත් එම පවුලේ සාමාජිකයන් දැඩි ලෙස බියට පත්ව සිටින බවයි ශිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටින්නේ.

රාජේශ්වරන් සෙන්දූරන් පාසල් ශිෂ්‍යයා සිය දිවි හානිකර ගත්තේ පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ධාවනය වෙමින් තිබුණ දුම්රියකට පනිමින්.
ශිෂ්‍යයාගේ ඉල්ලීම

බන්ධනාගාරගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව වහාම නිදහස් කරණ ලෙස ඉල්ලමින් සියදිවි හානිකර ගැනීමට පෙර එම ශිෂ්‍යයා සිය අභ්‍යාස පොතක සටහනක් තබා තිබුණ බවට තොරතුරු පළ වුණි.

දැන් උද්ගත වී ඇති තත්වය හමුවේ මියගිය ශිෂ්‍යයාගේ දෙමවුපියන් පමණක් නොව ඔහු සමග සබඳකම් පැවැත්වූ පිරිස් බියට පත්ව සිටින බව සඳහන් කරන එම්.කේ.සිවාජිලිංගම් එම තත්වය වහාම නතර විය යුතුව ඇතැයිද පවසයි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් බීබීසිය විමසූ විට ඔහු කියා සිටියේ ශිෂ්‍යයාගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් ලෙස තීරණය වූ හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි.

පොලිසියේ ප්‍රතිචාරය

එහෙත් රාජේශ්වරන් සෙන්දූරන් ලියන ලද ලිපිය කාගේ වුවමනාවකට ලියන ලද්දක්ද යන්න සහ එම ලිපියේ ඡායා පිටපත් බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් පිළිබඳව සොයා බලා පරීක්ෂණ පැවැත්වීමක් සිදු වන බවයි සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ.

පොලිස් නිලධාරීන් ඇතැම් නිවෙස් කරා යන්නේ එවැනි තොරතුරු සනාථ කර ගැනීමේ අවශ්‍යතාවය අනුව විය හැකි බවත් පොලිස් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් පවසයි

දිනසේන රතුගමගේ වව්නියාව වාර්තාකරු, BBC Sinhala

Archive

Latest news

Related news