Friday, April 26, 2024

ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට

( පිස්සුවේ හොඳම එක)

උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කළකට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි වත්මන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කැළණිය සරසවියේ පාලක සභාවට පත් කර තිබීම වත්මන් ආණ්ඩුවේ ඉවරයක් නැති අමන ක්‍රියාවල තවත් පියවරක් බව සරසවි ආචාර්‍ය වරයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී ය.  වත්මන් ආණ්ඩුව බලට ගෙන ඒමට ප්‍රසිද්ධියේම සහාය දුන් එම ආචාර්‍යවරයා කියා සිටියේ  ආණ්ඩුවට අමුකැවී  ඇති බවක් පෙනෙන බවයි.

එමෙන්ම මේ වන විට  තෙන්නකෝන් මහතා පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා එම සරසවියේම සිසුවෙකු ලෙස ලියාපදිංචිව සිටි.

මෙම පත්වීම පැහැදිලිවම දේශපාලන පත්වීමක් බව කැළණි සරසවි ආචාර්‍ය සංගමය ප්‍රකාශ කරමින් ඊට විරෝධය පළ කරමින් යවන ලද ලිපිය පහත දැක්වේ.

2015 12 02

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිතුමා,
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.

ඇමතිතුමනි,

කීර්ති රජිත තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කිරීම

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට කීර්ති රජිත තෙන්නකෝන් මහතා පත් කිරීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ දැඩි කනගාටුව සහ විරෝධය පළ කිරීමට කැමැත්තෙමු.

1. කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයෙහි ජනසන්නිවේදනය පශ්චාත් උපාධි පාඨමාලව හදාරන අංක යටතේ ලියාපදිංචි ශිෂ්‍යයෙකි. විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු එම විශ්වවිද්‍යාලයේම ඉහලම පරිපාලන ව්‍යුහය වන පාලක සභාවේ සාමාජිකයකු වීම සදාචාරාත්මක හා යහපත් ආණ්ඩුකරණයේ කවර හෝ මූලධර්මයකට අනුකූල නොවන්නක් බව අපි විශ්වාස කරමු.

2. කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයෙහි ප්‍රධාන ලිපිකරු ලෙස කටයුතු කළ අයෙකි. එසේ සේවය කරන ලද අවධියේදී ඒ මහතා සමග ඇති වූ යහපත් මෙන් ම අයහපත් පුද්ගල සම්බන්ධතා පාලක සභාවේ ඒ මහතාගේ භූමිකාවේ නිරූපණය වීම නොවැළැක්විය හැකි බව අපගේ විශ්වාසයයි. මෙම මූලික සිද්ධාන්තය මත පදනම් වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගිය මහාචාර්යවරු කැලණිය විශ්වවිද්‍යාලයේ ම පාලක සභාවට පත් කිරීම පිළිබඳව ද අප සංගමයේ විරෝධය එවකට සිටි උසස් අධ්‍යාපන ඇමතිවරයාට පළ කළ බව මෙහිදී මතක් කර සිටීමට කැමැත්තෙමු.

3. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙහි අංක 44 1 (iv) ට අනුව විශ්වවිද්‍යාලයීය පාලක සභාවට පත් විය යුත්තේ අධ්‍යාපන, වෘත්තීය, වාණිජ, කර්මාන්ත හා පරිපාලන ආදි ක්ෂේත්‍රවල අද්විතීය සේවාවක් කරනු ලබන පුද්ගලයන්ය. එහෙත්, කීර්ති තෙන්නකෝන් මහතාගේ දේශපාලන භූමිකාවන් හැරුණු විට ඒ මහතා විසින් ඉහත සඳහන් කිසිදු ක්ෂේත්‍රයක අද්විතීය සේවාවක් කරනු ලැබ ඇත්දැයි කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය ලෙස අපට ඇත්තේ බලවත් සැකයකි. වත්මන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයා 2000-2001 වසරවල වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස සිටියදී ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කිරීම විශ්වවිද්‍යාලයක පාලක සභාවේ සාමාජිකයකු වීම සඳහා ප්‍රමාණවත් සුදුසුකමක් නොවන බව අපි විශ්වාස කරමු.

4. 2012 වසරෙහි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ අප සංගමයේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ විශ්වවිද්‍යාල “දේශපාලනීකරණය කිරීමෙන්“ නිදහස් කරන ලෙසයි. තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කිරීම ඒ මහතාගේ “දේශපාලන ක්‍රියාකාරීත්වය“ මත පමණක් පදනම් වී ඇති බව අපි තරයේ විශ්වාස කරමු.

ඉහත කරුණු සලකා බලා කීර්ති තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කිරීම ඉවත් කර ගන්නා ලෙසත්, මේ පිළිබඳව ඔබතුමා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය ඉල්ලා සිටී. ඉදිරි සති දෙක ඇතුලත 2015 දෙසැම්බර් මස 20 දිනට පෙර මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එසේ නොවුනහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ද අපි අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙයට,
විශ්වාසී,

එන් ජී ඒ කරණාතිලක
ලේකම්, කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය

පිටපත්:
1 ජනාධිපතිතුමා
2 අග්‍රාමාත්‍යතුමා
3 විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය
4 උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිතුමා
5 සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
6 උපකුලපතිතුමා, කැලණිය විශ්වවිද්‍යාලය
7 පීඨාධිපතිවරු, කැලණිය විශ්වවිද්‍යාලය
8 සියලුම මාධ්‍ය

Archive

Latest news

Related news