මෙම සන්දර්භය තුළ උක්ත විෂය හා සම්බන්ධ පෞද්ගලික කාරණා සහ ඔහුගේ පෞද්ගලික ආසාවන් ඉලක්ක කිරීමට වඩා වැදගත් වන්නේ, තමන්ට පැවරුණු වගකීමක් අපහරණය කරමින්, එය තමන්ගේ නිරුවත වසා ගැනීම සඳහා භාවිතා කරන්නේද යන්න විමසීමය. වෙනත් වචන වලින් කියතොත්, මෙම ලිපියෙහි අරමුණ වත්මන් අධිකරණ කටයුතු සහ බුද්ධ සාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දරණ සහ රටේ මහජනතාවගේ බදු මුදලින් සහ ජනතාවට හිමි ධනයෙන් ජීවත් කරවන දේශපාලනඥයා නමැති පුද්ගල විෂය ගැන කතා කිරීමය.
ලංකාවේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පසුගිය දශක කිහිපය තුළ සිදු වූයේ මහත් කණගාටුදායක මූලිකාංගයන් පසුබිම් කරගනිමිනි. එනම්, අමාත්‍යවරු ලෙස පත් වූ බොහෝ දෙනෙකුට තම අමාත්‍යය විෂය ගැන, එක්කෝ කිසිඳු දැනුමක් නොතිබුණි, නැතහොත් අදාළ විෂයය ඔහුගේ හෝ ඇයගේ උනන්දු විෂයය නොවූයේය. තෙවනුව, අදාළ විෂයයට පත් කරනු ලැබුවේ, ඒ සඳහා පුද්ගලයකු අවශ්‍යය නිසා මිස, එම විෂය ගැන කටයුතු කිරීමට හෝ තීරණ ගැනීමට නොවේ.
පඹයින් පත් කිරීමෙන් ලබා ගත හැකි වූයේ, තමන්ට රිසි පරිදි මෙහෙයවීමට හැකි වාතාවරණයක් ආණ්ඩුව තුළ නිර්මාණය කිරීමය. මෙරට සිටි සහ සිටින පාලකයින් බොහෝ දෙනෙකු මෙම අසමත් පුරුද්ද සම්ප්‍රදාය බවට පත් කර ගත්තෝය. එම අසමත් බාවය, ලෝකය හමුවේ පෙන්වීම සඳහා ඊට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණතක් අලවනු ලැබීය. ඒ මැතිවරණ මඟිනි.
සැබවින්ම මෙම ක්‍රමය වෙනස් කිරීම සඳහා කිසිවෙකු සක්‍රීය පියවරක් නොගත්හ. නමුත් එය වඩාත් ක්‍රමෝපායික ලෙස ඉදිරියට පවත්වා ගැනීම සඳහා ප්‍රභල ආයෝජනයක් කිරීම බලයට පත් වූ අයවලුන්ගේ මූලික පියවර විය. එය ප්‍රභල ලෙස රටේ දියුණුවට බාධා කරණු ලැබීය. විෂය ගැන නොදන්නා සහ විෂයය ගැන ඉගෙන ගැනීමට උනන්දුවක් නොදක්වන්නෙකු, යම් කිසි භාරාධූර කටයුත්තක් සඳහා පත් කිරීම මඟින් සිදු වූයේ, අදාළ පුද්ගලයා හොරෙකු හෝ වඩාත් තේරෙන බසින් කියන්නේ නම් “ඩීල්” කාරයෙකු බවට පත් කිරීමය. තම උඩඟුකමට දාර්ශනික ප්‍රඥාවන්ත වෙස්මුහුණක් පැළඳීමට සහ තම අසමත් භාවයන් සමත් යැයි පෙන්වීමට කැමති අයවලුන් ලං කරගෙන තම “අභිමානය” පෙන්වීම මොවුන්ගේ දේශපාලනික පිළිවෙත බවට පත්විය.
මෙම සංවෘත ඩීල් කාරයින් සහ ඔවුන්ට රිසි පරිදි කටයුතු කිරීමට බලය ලබා දෙන අයවලුන් තමන්ගේ හුදු පැවැත්ම අරමුණු කොට ගනිමින්, විකෘති කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව හමුවේ, සිදුවන අනෙක් බරපතළ අනුවේදනීය කාරණය වන්නේ, විෂයය ගැන දන්නා අයවලුන් හිතා මතාම සිදුකරන වංචාවයි.
ඔවුහු සත්‍යය කුමක්ද? යන්න වඩාත් හොඳින් දන්නා නමුත්, තම පැවැත්ම සහ පෞද්ගලික වාසී මූලික කොට ගනිමින් එය වසා දැමීම පමණක් නොව, වසා දැමීම සඳහා තම කාලය සහ ශ්‍රමය මෙන්ම ධනය ඒකරාශී කර ගැනීම මොවුන්ගේ මූලික උපාය වේ. රටක් බරපතළ ලෙස විනාශ මුඛයට ඇද දමුණු ලබෙන්නේ මෙම දෙවන කොට්ඨශයයි. මොවුහු රටකට හෝ ආයතනයකට කරන හානීය මැනිය නොහැකි වන අතර අපේ මාතෘභූමිය ගරාවැටෙන දේශයක් බවට පත් කිරීම සඳහා මෙන්ම රටකට හැදෙන්න ලැබෙන අවස්ථා ක්‍රමොපායිකව අහුරුවාලනු ලැබුවේ මොවුන් විසිනි. ඔවුහු එදත් සිටියෝය. අදත් සිටිති. හෙටත් සිටිනු ඇත.
රටේ කැබිනට් මණ්ඩලය පත්කිරීම වූ කලී සමස්ථ රෝගයේ බරපතළ රෝග ලක්ෂණ පෙන්වන කාරණයක් බවට පත් වී ඇත්තේ මේ නිසාය. මේ නිසා, විෂය ගැන නොදන්නා අයවලුන්, විෂයය ගැන හැදෑරීමට අකමැති පිරිස් පමණක් නොව තම විශේෂඥ විෂය අපහරණය කිරීමට හැකි අප්‍රසන්න දුර්ගන්ද පිරිස් වල එකතුවක් බවට එය පත් වී තිබේ.
වර්තමානයේ, අධිකරණ අමාත්‍ය සහ බුද්ධ සාසන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දරණ විජේදාස රාජපක්ෂ මහතා ගැන විමසීමක් අවශ්‍ය වන්නේ මෙම මූලික වටපිටාව ඔස්සේය. ඔහු විෂය හදාරා ඊට හිමි සහතික පත් ලබා ගත්තෙකි. ප්‍රඥාව සහ බුද්ධිය එකක් අනෙක මත අතිපිහිත විය හැකි නමුත් බොහෝ දුරට එකිනෙකින් වියුක්තව පවතින සාධක දෙකක් බව මාගේ පෞද්ගලික හැඟීමයි. දේශපාලනයේදී වැදගත් වන්නේ වඩාත් පහසුවෙන් විකිණීමය හැකි කාරණය මතුපිටට ගෙන ඒමයි. සම්ප්‍රදායික කෛරාටික දේශපාලනඥයාගේ පුරුද්ද එයයි.
ෆීල්ඩ් මාෂල් ( විජේදාස රාජපක්ෂ මහතාට අනුව වෙල් විදානේ ) සරත් ෆොන්සේකා මහතා මෙම සම්ප්‍රදායෙන් වියුක්ත වූ සහ සාම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ මෙන්ම ඔවුහු වටා ඒකරාශිවන අයවලුන්ගේ දුර්ගන්දය වඩාත් හොඳින් අවබෝධ කරගත් අයෙක් විය. වෙනස, අදාළ අවබෝධය තුළ ඔහු වඩාත් අවාසිසහගත වටපිටාවකට තල්ලු කොට තිබීමය. නොදන්නා යමක් ගැන ලබන අවබෝධය වූ කලී අනතුරුදායක තත්වයකි. බොහෝ දෙනෙකු කාලයක් තිස්සේ දකිනු ලැබූ සහ තම කේන්ද්‍රයේ ලියා තිබු සිහිනයේ බිඳ වැටීම ආරම්භ වන්නේ එම අවබෝධය ලබන අවස්ථාවේදීය.
ෆොන්සේකා සම්බන්ධයෙන් කිව යුතු බොහෝ කාරණා ඇතත්, ඒ සඳහා මෙය උචිත අවස්ථාව නොවේ. ඔහුට මගහැරුණු මෙන්ම ඔහු අතහරිනු ලැබූ බොහෝ දෑ ඇතිබව අපි කවුරුත් දන්නා කාරණයකි. ඔහුට අවංක මිතුරන් තෝරා බේරා ගැනීමේ ඉව අහිමි වූ අයෙකි.
නමුත්, ෆොන්සේකාගේ දේශපාලනය ගැන අධිකරණ අමාත්‍යවරයා විශාල හෙළිදරව්වක් කරනු ලබයි. ඔහුට අනුව, ඒ සියලුම දෑ පිටුපස සිටින්නේ, ඔහු සහ ඔහුගේ නිර්ලෝභී දේශපාලන චින්තනයය. ප්‍රථම දේශපාලන හමුව සූදානම් කිරීමේ සිට ජාතික ඇඳුම් කට්ටල ලබා දී නළුවෙක් කිරීම දක්වා වූ භාරධූර කටයුත්ත සිදුකොට ඇත්තේ ඔහුය. මේ නිසා තමන් කුමක් කළත් ඒ ගැන තම සියලු මුඛයන් වසා ගත යුතු යැයි නොකියා කියන්නේද. අනෙක් පසින්, සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලනයද ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තද, මෙම දෙපර්ශයන්ම රටට සුගතියක් වන්නේද යන්න ගැටලුවකි.
අධිකරණ අමාත්‍යවරයා තම පලහිලව්ව බේරා ගැනීම සඳහා මාධ්‍යය ඉදිරියට පැමිණීමෙන් සනාථ කරනු ලබන්නේ, මෙරට අධිකරණ පද්ධතිය ගරා වැටී ඇති බවද? නොඑසේනම් වෙනත් දේශපාලන සංඛේතයක්ද? ඕපාදූප දේශපාලනයේ තවත් එක් ජවනිකාවක්ද? ඔහු නොකියා කියන්නේ, අදාළ සමාගමෙන් ලබාගත් මුදල් , සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කළ බවද? අපි දූෂණයට, වංචාවට එරෙහිව කතා කරනු ලබන්නේ මෙවැනි යටිකූට්ටු දේශපාලන කල්ලිවාදයකට රටේ තීරණාත්මක තීරණ ගැනීමට ඉඩ දීමෙන්ද? අධිකරණ අමත්‍යවරයා විසින් හෙළිදරව් කළ රහස් මතුවෙන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් ඔහු සරත් ෆොන්සේකාට වියදම් කළේ යැයි කියන මුදල් වලට රටේ නීත්‍යානූකූල විඝනනයක් සිදු වී තිබේද?
ඔහු සඳහන් කරන හැටියට, නීත්‍යානූකූල භාවය නිසා, ඉල්ලා සිටින විශාල මුදලක් ෆොන්සේකාගේ බෑනාට ලබා දීම පමා කිරීමට ඔහු තීන්දු කොට ඇත. එය එසේනම්, ඔහු සඳහන් කරන, සහ නොකරන මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍යය පාර්ශවයක් මෙම සියලුම කාරණා සම්බන්ධයෙන් නීත්‍යානූකූල විඝනනයක් සිදු වී තිබේද? ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළ පරිදි නුගේගොඩ පිහිටි බහු-මහල් ගොඩනැගිල්ල ඔහුට සහ ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානියාට අයිති එකකි.
මේ සියල්ල තුළ ලියවෙන එක ඇත්තක් තිබේ. එනම්, මේ කිසිවෙකුට රටේ සැබෑ ගැටලු ගැන කිසිඳු කැක්කුමක් නොපවතින බව සහ රටේ සමස්ථ ජනතාව හැකි උපරිමයෙන් රැවටීමය. එසේ කරමින් තමන්, තමන්ගේ මීළඟ පරම්පරාවේ අයවලුන් සහ සියලු අවලුන්ට මෙම රට ක්‍රමොපායිකව කාබාසිනියා කිරීමට ඉඩ දීමය. එසේ කරන අතර තුර, පන්සල් වැඳීම, ලාභය ඉතා ඉහල ගියහොත් තමන්ගේ නම කොටා ගැනීම සඳහා විවිධාර පරිත්‍යාග කිරීම ආදී දෑ මඟින් සමස්ථ මෙහෙයුමට “පින්” වෙස්මුහුණක් ලැබේ. එය දකින, එදාවේල සතුටෙන් භුක්ති විඳීමට නොහැකි නමුත් ලැබෙන සොච්චමෙන් බදු ගෙවන, ජනතාව සාදුකාර දී පින් දෙති. යටි කූට්ටු දේශපාලනඥයා “අපේ කාලේ මහා ප්‍රාඥයෙක්” බවට පත්වන්නේ ඒ සමීකරණය ඔස්සේය. මෙම සන්දර්භයට අනුව සිතන්නෙන් නම්, “අපේ කාලේ මහා ප්‍රාඥයින්ට” වඩා වෙල් විදානේවරුන් රටේ මිනිසුන්ට යම්, යහපත් වැදගත් දෙයක් සිදුකොට ඇත.
අධිකරණය වූ කලී රටක සාධාරණත්වයේ සංඛේතයයි. යුක්තිය අපේක්ෂාවෙන්, රටක ජනතාවට යා හැකි එකම තැන එතැනය. අනෙක් පසින්, ආගමික නිදහස යනු, මූලික මානව අයිතියකි. ලංකාව වූ කලී බුද්ධ ධර්මය රාජ්‍යය ආගම ලෙස ව්‍යවස්ථාපිත කොට ඇති නමුත් බහු ආගමික විශ්වාසයන් පිළිපැදීම සඳහා වූ නිදහස තහවුරු කොට ඇති රාජ්‍යයකි. අධිකරණ ඇමති බුද්ධ සාසන කටයුතු පිළිබඳ ඇමති වන්නේ කෙසේද යන්න ජාත්‍යන්තර සම්මත නීතිය තුළ වෙනම විවාද කළ හැකි කාරණයකි.