Saturday, April 27, 2024

විදේශගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය නැති නිසා ඔවුන්ගේ ගැටලු ගැන දේශපාලකයින්ගේ අවධානය නැතිවෙලා…

“විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ටම ආවේනික ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලු ගැන කතා කිරීම මෙරට දේශපාලනඥයින්ට වැදගත් නැහැ. එයට හේතුව වී තිබෙන්නේ විදේශගත ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය නොමැතිකමයි. දේශපාලඥයින්ට වැදගත් වන්නේ ඡන්දය තිබෙන පුරවැසියන් පමණයි. නමුත් අපි සියලු දෙනා දන්නා කරුණ නම් පසුගිය කාලයේ පැවති ඡන්දවලදී සමාජජාල වෙබ් අඩවිවලදී මෙම විදේශගත ශී‍්‍ර ලාංකිකයින් ඡන්ද වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මත හැදුවා. නමුත් ඔවුන් ඡන්දය දවසේ නිහඬයි. එනිසා ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව රටේ පාර්ලිමේන්තුවේත් දේශපාලනඥයින්ගේත් අවධානය ඇතිකරවීම සඳහා තමයි අපි පාර්ලිමේන්තු කාරක සභාව යෝජනා කළේ. ඒ සඳහා අපි සියලු දෙනාගේම සහාය ඉල්ලනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) පෙරවරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සංවිධානයේ ලේකම් පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරී මහතා සහ ප‍්‍රධාන සංවිධායක සංජීව මුණසිංහ මහතා සහභාගි වී සිටි අතර එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් සක්වමින්…

“විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා එතෙර අපි සංවිධානය මූලික වෙලා ජනතා විමුක්ති පෙරමුණ මගින් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා මූලික නීතිමය කරුණු සම්පාදනය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න කියලා. එම යෝජනාවට මන්තී‍්‍රවරුන් 23ක් අත්සන් කළා. යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා එජාප, ශී‍්‍රලනිප, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ටම ආවේනික ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලු ගැන කතා කිරීම මෙරට දේශපාලනඥයින්ට වැදගත් නැහැ. එයට හේතුව වී තිබෙන්නේ විදේශගත ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය නොමැතිකමයි. දේශපාලඥයින්ට වැදගත් වන්නේ ඡන්දය තිබෙන පුරවැසියන් පමණයි. නමුත් අපි සියලු දෙනා දන්නා කරුණ නම් පසුගිය කාලයේ පැවති ඡන්දවලදී සමාජජාල වෙබ් අඩවිවලදී මෙම විදේශගත ශී‍්‍ර ලාංකිකයින් ඡන්ද වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. මත හැදුවා. නමුත් ඔවුන් ඡන්දය දවසේ නිහඬයි. එනිසා ඔවුන්ට ඡන්ද අයිතිය ලබාදීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව රටේ පාර්ලිමේන්තුවේත් දේශපාලනඥයින්ගේත් අවධානය ඇතිකරවීම සඳහා තමයි අපි පාර්ලිමේන්තු කාරක සභාව යෝජනා කළේ. ඒ සඳහා අපි සියලු දෙනාගේම සහාය ඉල්ලනවා.

විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන් අපේ රටට ලැබෙන ආදායම විශාල එකක්. 2013දී විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ලැබුණු විදේශ විනිමය ඇමරිකන් ඩොලර් මිලියන 6407ක්. 2014දී විදෙස් ශ‍්‍රමිකයින්ගෙන් ලැබුණු විදේශ විනිමය ප‍්‍රමාණය ඇ.ඩො.මි. 7018යි. පැවති ආණ්ඩුව කාලයේත් හවුල් ආණ්ඩුව සමයේත් වැඩිපුර කතාබහට ලක්වන්නේත් විදේශ ආයෝජකයන්ට සහ සංචාරක කර්මාන්තයට පහසුකම් සැලසීම ගැනයි. නමුත් 2013 වසරේ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඩො.මි. 1715යි. 2014දී එය ඇ.ඩො.මි. 2431ක්. නමුත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම වගේ තුන් ගුණයක් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් උපයා දෙනවා. ලංකාවේ අපනයන ආදායමෙන් 2014 වර්ෂයේදී කෘෂි අපනයන සඳහා ලැබුණේ ඇ.ඩො.මි. 2794යි. කෘෂි අපනයන ආදායම වගේ තුන් ගුණයක් විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් ලැබෙනවා. 2014දී ලංකාවේ මුළු අපනයන ආදායම ඇ.ඩො.මි. 11,130ක් වන විට ඉන් හරි අඩක් පමණ වන ඇ.ඩො.මි. 7000කට ආසන්න ප‍්‍රමාණයක් විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් ලැබෙනවා. සමස්තයක් විදියට ගත්තොත් විදේශ ශ‍්‍රමිකයින්ගේ ආදායම නොමැතිනම් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා.

පසුගිය වසරේ රටේ වෙළඳ පරතරය ඇ.ඩො.මි. 8287ක් පමණ වෙනවා. විදේශගත ශ‍්‍රමිකයින්ගේ ආදායම නොලැබුණහොත් මෙම වෙළඳ පරතරය දෙගුණයක් බවට පත්වෙනවා. සංචාරක කර්මාන්තයත් කෘෂිකර්මාන්තයත් මගින් ලැබෙන ආදායම වගේ තුන් ගුණයක් වෙන සමස්ත අපනයන ආදායමෙන් අඩක් පමණ වෙන ආදායමක් ලබාදෙන විදේශ ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදී නැහැ. මුළු විදේශගත ශී‍්‍ර ලාංකිකයින් ප‍්‍රමාණය ලක්‍ෂ 30ක් පමණ වෙනවා. වාර්ෂිකව ලක්‍ෂ 4කට ආසන්න ප‍්‍රමාණයක් විදේශගත වෙනවා. එතරම් විශාල පිරිසකට ඡන්ද අයිතිය අහිමිවීම වීම බරපතල ප‍්‍රශ්නයක්. මේ තරම් විශාල විදේශ විනිමයක් රටට ලබාදෙන ශ‍්‍රමිකයින්ට අපේ රටේ ආණ්ඩු මොනවද කරල තිබෙන්නේ? රට විරුවන් කියලා නම් කළාට පමණක් මදි. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්වලට අපේ රටේ ආණ්ඩු සවන් දෙන්නේ නැහැ.

ඒ වගේම මේ මොහොතේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින් මුහුණ දෙන ගැටලූ ගණනාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම පුරවැසියෙකුට රැකියාවක් කරන වයස් සීමාවක් තිබෙනවා. අපේ රටේ නම් එය වයස අවුරුදු 25-55ත් අතර වසර 30ක ශ‍්‍රම කාලයක් වෙනවා. ලංකාවේ නීතියට අනුව රාජ්‍ය සේවකයෙකුට අවු. 55න් විශ‍්‍රාම වැටුප ලැබෙනවා. පෞද්ගලික අංශයේ සේවකයෙකුට නම් පාරිතෝෂික දීමනාව ඇතුලු වරප‍්‍රසාද ලැබෙනවා. නමුත් විදේශගත ශ‍්‍රමිකයන් විදෙස් රටවල දුක් විඳිමින් වසර ගණනාවක් දරු පවුල නඩත්තු කළත් ඔවුන් ලංකාවට එනවිට නැවත ජීවිතය බිංදුවේ සිට පටන් ගන්න සිදුවෙනවා. ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබීම ගැටලුවක්ව තිබෙනවා. ඒ වගේම විදෙස්ගත වන ශී‍්‍ර ලාංකිකයින්ගේ වෘත්තීය හැකියාව, වෘත්තීය මට්ටම අනුව ඔවුන්ට වාහනයක් භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. නමුත් ඔවුන් ලංකාවට එනවිට එම වාහනය ලංකාවට ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා දී නැහැ. ඔවුන්ට තීරුබදු රහිතව වාහනයක් ලබාගන්න පහසුකම් නැහැ.

ඇතැම් ශී‍්‍ර ලාංකිකයින්ට වසර ගණනාවක් විදෙස්ගත වෙලා රැකියාව කරන්න සිදුවී තිබෙන්නේ රට යන්න වැයකරපු මුදල් ප‍්‍රමාණය සොයාගැනීමට නොහැකි වීමත් ඒ අතර දරු පවුල් ඇතුළු ඥාතීන් නඩත්තු කිරීමට සිදුවීමත් නිසයි. ඇතැම් අවස්ථාවලදී සැමියා සහ බිරිඳ දෙදෙනාම විදේශගත වෙනවා. වසර 4-5ක් යනවිට ඔවුන්ට දරුවන් ලැබෙනවා. එවැනි අවස්ථාවල විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට ඔවුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීමේදී විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. බොහෝ ශී‍්‍ර ලාංකිකයින් විදේශගත වෙලා සිටියත් ඔවුන්ගේ දරුවන්ට තමන්ගේ මව්බිමේ අධ්‍යාපනය ලබාදීමට කැමැත්තෙන් ඉන්නවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවට පැමිණෙන විට ඔවුන් ඉතාම අසරණභාවයට පත්වෙනවා. ඒවගේම ඔවුන්ගේ දරුවන් විදේශ එටවලදී ජාත්‍යන්තර පාසැල්වලට ඇතුළත් කිරීමට තීරණය කළත් ඔවුන් ආර්ථික ගැටලූ ගණනාවකට මුහුණ දෙනවා.

පුවත් පත් සාකච්ජාවෛ් දි  එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති
පුවත් පත් සාකච්ජාවෛ් දි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

ඇතැම් රටවල්වල විදේශගත ශ‍්‍රමිකයින් සඳහා ශ‍්‍රමිකයින්ගේ සහ සේව්‍යයන්ගේ දායකත්වය සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ අරමුදලක් පිහිටුවා තිබෙනවා. සයිප‍්‍රසය එවැනි රටක්. නමුත් එම සමාජ ප‍්‍රතිලාභ අරමුදල් ශී‍්‍ර ලංකාවේ ශ‍්‍රමිකයින්ට නැවත පැමිණෙන විට අපේ රටට රැුගෙන එන්න පුළුවන්කමක් නැහැ. මොකද, ශී‍්‍ර ලංකාව සහ සයිප‍්‍රසය අතර ගිවිසුමක් අත්සන් කර නොතිබීම. ඇතැම් ශී‍්‍ර ලාංකිකයින් එම මුදල ලබාගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව ගිවිසුමක් අත්සන් කරන තුරු විදේශගත වෙලා ඉන්නවා. පිලිපීනය වගේ රටවල් එම ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. ලංකාවේ රජයට කරන්න තිබෙන්නේ සරළ දෙයයි. එනම් රාජ්‍යතාන්ති‍්‍රක ගිවිසුමක් අත්සන් කරන එකයි. ඒ වගේම වෙනත් බොහෝ රටවල් විදේශගත ශ‍්‍රමිකයින්ට අවම වැටුපක් නියම කර තිබෙනවා. එම අවම වැටුප නොලැබෙන්නේ නම් එම රටවල් ශ‍්‍රමිකයින් යවන්නේ නැහැ. නමුත් ශී‍්‍ර ලංකාවට එහෙම එකක් නැහැ. අවම වැටුප් සඳහා ගිවිසුමක් නැහැ. ඒ නිසා අපේ රටේ ශ‍්‍රමිකයින් කුණු කොල්ලයට රට යවන්න ඒජන්සිකරුවන් කටයුතු කරමින් තිබෙනවා.

ඒවගේම අපේ රටේ තානාපති කාර්යාල විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ ගැටලූවලට මැදිහත් නොවීම ඉතාම කණගාටුදායකයි. මොකද, තානාපති කාර්යාල බොහොමයක් දේශපාලනීකරණය වෙලා. ඇතැම් තානාපතිවරුන්ට විදේශගත ශ‍්‍රමිකයින්ගේ ගැටලු ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම රටක පුරවැසියෙක් විදේශ රටකදී මිය ගියහොත් සිරුර ආණ්ඩුවේ වියදමින් මව් රටට ගෙන්වනවා. නමුත් ලංකාවේ තත්වය ඉතාම කණගාටුදායකයි. ලංකාවේ පුරවැසියෙක් විදේශ රටකදී මිය ගියහොත් සිරුර ගෙන්වා ගැනීමට ඥාතීන්ට විශාල වියදමක් දරන්න සිදුවෙනවා. එසේ නොමැතිනම් විදේශ රටේදීම අවසන් කටයුතු කරන්න වෙනවා.

ඒ වගේම විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට තමන් උපයන මුදල් ඇපයට තබා බැංකු ණයක් ලබාගැනීමට හැකියාවක් නැහැ. ඔවුන්ට එම වරප‍්‍රසාදය ලබාදීමේ හැකියාව තිබෙනවා. නමුත් එම පහසුකම් සපයනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ උපයන ආදායමට බදු ගහන එක විතරයි. විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට ආණ්ඩුවෙන් පහසුකම් සපයනවා නම් අපට ලබාගත හැකි විදේශ විනිමය තව තවත් වැඩිකර ගත හැකියි. නමුත් දිනෙන් දින විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලු වැඩි වෙමින් තිබෙනවා. දැන් එම ගැටලු නිදන්ගත රෝග බවට පත්වෙලා.

මෙම ගැටලූවලට උත්තර හොයන්න නම් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් ලංකාවේ දේශපානඥයින්ට වැදගත් වෙන්න ඕනෑ. වැදගත් වෙන්න නම් ඔවුන්ට ඡන්ද අයිතිය ලැබෙන්න ඕනෑ. ඡන්ද අයිතිය තිබුණොත් පමණයි ඔවුන්ට තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න අවස්ථාවක්, බලයක් ලැබෙන්නේ. සමහර අවස්ථාවල අප දැක තිබෙනවා විදේශ රටවලට ගිය ශී‍්‍ර ලාංකිකයින් එම රටවල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වී තිබෙනවා. නමුත් කණගාටුවට කරුණ විදේශග ශී‍්‍ර ලාංකිකයින්ට අපේ රටේ ඡන්ද අයිතියවත් නොලැබීමයි. ඡන්ද අයිතිය ලබාදීම සරලව කරන්න පුළුවන් දෙයක්. අපේ රටේදී තැපැල් ඡන්දය භාවිතා කරන ක‍්‍රමවේදය විදේශගත ශ‍්‍රමිකයින්ටත් ලබාදෙන්න පුළුවන්. තානාපති කාර්යාලවල රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියෙකු තේරීම්භාර නිලධාරියා ලෙස පත්කොට ඡන්ද ලබාදීමට ක‍්‍රමවේදයක් සකස්කළ හැකියි. ඡන්දය සඳහා ප‍්‍රචාරක කටයුතු බාධාවකින් තොරව අන්තර් ජාලය හරහා සිදුකළ හැකියි. ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එය අමාරු කාර්යයක් නොවෙයි. අපේ රටේ සියලුම දේශපාලන පක්‍ෂවල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල විදේශගත ශ‍්‍රමිකයින්ගේ ගැටලූ ගැන සඳහන් කර තිබෙනවා. පොරොන්දු සඳහන් කර තිබෙනවා. නමුත් එම පොරොන්දු ලබාදී තිබෙන්නේ විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ නිවෙස්වල සාමාජිකයින්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් පමණයි. එම පොරොන්දු සාමාන්‍යයෙන් ලබාදෙන ඡන්ද ගුන්ඩුවක්ම පමණයි.

එනිසා මෙම ගැටලු විසඳා ගැනීමේ අරමුණින් අප සංවිධානය මැදිහත් වෙලා විදේශ ශ‍්‍රමිකයින්ගෙන් අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් තිබෙනවා. මේවනවිට කුවේට් රාජ්‍යයේ පමණක් ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 1440ක් එම පෙත්සම අත්සන් කොට තිබෙනවා. ඩුබායි, කටාර්, ඕමාන් ඇතුළු මැද පෙරදිග රටවලත් ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඉතාලිය බි‍්‍රතාන්‍ය ඇතුළු සෑම රටකදීම මෙම පෙත්සම අත්සන් කිරීම සිදුකෙරෙනවා. එහිදී අපට දැකගන්න ලැබුණු විශේෂ කරුණක් වුණේ ඇතැම් ශී‍්‍ර ලාංකිකයින් අවුරුදු 31ක්, 30ක්, 23ක් 20ක් 18ක් වගේ වසර ගණනාවක් විදේශගත වෙලා සිටින බවයි. අවුරුදු 30ක් විදේශගත වෙලා රැකියා කරන ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය නැත්නම් විශ‍්‍රාම වැටුපක් නැත්නම් නැවත ලංකාවට පැමිණෙන විට දරුවන්ට පාසැලක් හිමිවෙන්නේ නැතිනම් තීරු බදු රහිත වාහනයක් මිලදී ගන්න නොහැකිනම් ඔවුන්ගේ ජීවිතවල තත්වය මොකක්ද? ලංකාවේ තිබෙන ක‍්‍රමවේදයට අනුව ළමයෙකු පළමු වසරට ඇතුළත් කිරීමේදී අහන ප‍්‍රශ්නවලට විදේශගත ශ‍්‍රමිකයින්ට උත්තර නැහැ. මොකද ඔවුන්ගේ ඡන්ද නාමලේඛනයේ නම නැහැ. වසර 5ක ස්ථිර පදිංචියක් තහවුරු කරන්න අපහසුයි.

එනිසා මෙම ගැටලු ගැන සියලු පාර්ශ්වවල අවධානය යොමු කරන්න අපි ඉදිරියේදී කි‍්‍රයාමාර්ග ගණනාවක් සැලසුම්කර තිබෙනවා. විදේශ රටවලදී අප සංවිධානය මැදිහත්වී අත්සන් කරනු ලබන පෙත්සම එම රටවල්වල තානාපති කාර්යාලවලට බාරදීමටත් එම පෙත්සම්වල පිටපත් විදේශ නියුක්ති කාර්යාංශයට බාර දීමටත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම අප සංවිධානයේ සහ විෂය භාර අමාත්‍යවරිය අතර සාකච්ඡාවක් ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒවගේම ඉදිරි අයවැයට යෝජනා ලෙස විදේශ ශ‍්‍රමිකයින්ගේ විශ‍්‍රාම වැටුප, තීරු බදු රහිත වාහනයක් ලබාගැනීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, ආදායම් බදු ප‍්‍රශ්නය වැනි ගැටලු සඳහා සහනයක් ලබාදීමට අයවැය යෝජනා ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදී සියලූම මන්තී‍්‍රවරුන්ගේ ඒකමතික තීරණයක් හරහා මෙම ගැටලු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් කථානායකවරයාගේ මැදිහත්වීමෙන් කඩිනමින් පත්කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

අපේ රටේ කාන්තාවන් ගෘහ සේවයට යැවිය යුතු නැහැ. මොකද, අපිට ඊට වඩා වෘත්තීය අවස්ථාවන් තිබෙනවා. අපේ රටේ ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයම වෘත්තිකයින් ලෙස විදේශ රටවල්වලට යැවිය හැකියි. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ඒජන්සිකරුවන් විසින් තීරණය කරනවා අපේ රටේ කාන්තාවන්ගේ වෘත්තීය මොකක්ද කියලා. කාන්තාවන් වහළියන් බවට පත් වෙනවාද, ලිංගික සූරාකෑමට ලක්වෙනවාද යන්න තීරණය කරන්නේ කූඨ උපක‍්‍රම මගින් කාන්තාවන් පිටරට යවන ඒජන්සිකරුවන් වීම කණගාටුවට කරුණක්.

ගණකාධිකාරිවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, හෙදියන්, පරිගණක ශිල්පීන්වැනි වෘත්තීය අවස්ථාවන් සඳහා ශී‍්‍ර ලාංකිකයින් විදෙස්ගත කරනවා නම් ඔවුන්ට ගැටලූවලට මුහුණ දීමට සිදුවෙන්නේ නැහැ. එවැනි වෘත්තීයන්වල යෙදෙන කාන්තාවන්ට ලිංගික අතවර සිදුවෙන්නේ නැහැ. මොකද, ඔවුන්ගේ වෘත්තීය මට්ටමට අනුව අධ්‍යාපන මට්ටමට අනුව එම ගෞරවය ලැබෙනවා. නමුත් ගෘහ වහල් සේවයට කාන්තාවන් පිටරට පටවනවා නම් ඔවුන් යන්නේම වහළුන් ලෙස යටත් වෙලා. එතෙර අපි සංවිධානය ප‍්‍රතිපත්තිය නම් ගෘහ සේවකයින් ලෙස අපේ රටේ කාන්තාවන් විදෙස්ගත නොකළ යුතුයි යන්නයි. නමුත් එය එක පාරටම නතර කළ නොහැකියි. ඒ සඳහා ආණ්ඩුවට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි. මොකද, ඉදිරියේදී ඇතැම් රටවල ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන් නිසා ගෘහ සේවකයින්ට ලැබෙන අවස්ථා අහිමි වෙන්නත් පුළුවන්. නමුත් වෘත්තිකයන්ට තිබෙන ඉල්ලීම තවමත් අඩු වෙලා නැහැ. අපේ කලාපයේ බොහෝ රටවල් මේ වනවිට වෘත්තීය දැනුම අපනයනය කරනවා. ශී‍්‍ර ලංකාවේ තවමත් සිදුකරමින් තිබෙන්නේ ගෘහ සේවය සඳහා කාන්තාවන් පුහුණු කරන එක පමණයි. විදේශ නියුක්ති කාර්යාංශය දින 21 පුහුණුවක් කියලා තවමත් සිදුකරන්නේ කාන්තාවන්ට අතුගාන්න, පිඟන් හෝදන්න, ළමයි බලාගනන, ගුටිකන කොටපිට අල්ලන්නේ කොහොමද කියලා කියාදෙන එක විතරයි.

– Lanka Truth

Archive

Latest news

Related news