Tuesday, April 23, 2024

ශිෂයින්ට පහරදීම හෙළා නොදකින, ‘දෙපැත්තම බලන ප්‍රකාශයක්‘ ඇමැති තිලක් මාරපනගෙන්

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරෙන දෛනික ජීවිතයේ කටයුතු  සාමකාමීව සිදුවන නීතිය හා සාමය  සුරකින සුහද  සමාජයක්  ගොඩනැගීම සඳහා රාජ්‍ය අධිකාරිය මෙන්ම  මහජනතාවගේ  පැත්තෙන් ද  වගකීම් සහ යුතුකම්  සමුදායක් ඉටුකිරීමට තිබෙන බව කියන ඇමැති තිලක් මාරපන   රජයක් හැටියට තමන් සෑමවිටම උත්සාහ කරන්නේ  මේ වගකීම්  හා යුතුකම්  වලින් බැඳුණු  යහපාලන සමාජයක්  ගොඩනැගීමට බව ප්‍රකාශ කරයි. ඔහුගේ ප්‍රකාශයෙහි කිසිමතැනකදී පොලීසිය විසින් ශිෂ්‍ය ශාෂෘවනට පහර දීස හෙළා දකින්නේ නැත. ඒ වෙනුවට ඔහු නැවත නැවත කියා සිටින්නේ දෙපැක්කම බැලිය යුතු බවයි!

දෙපැත්තම බලන තිලක් මාරපන
දෙපැත්තම බලන තිලක් මාරපන

ඇමැති මාරපන නිකුත් කළ රජයේ නිල ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

(1)    පසුගිය  29 වන බ්‍රහස්පතින්දා  උසස් තාක්‍ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරන සිසුන්ගේ  සංවිධානයෙන් කොළඹදී පැවැති  උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා  පොලීසිය අනුගමනය කළ ක්‍රියාමාර්ග  සම්බන්ධයෙන්  දේශපාලන අංශවලත්, ජනමාධ්‍යවලත්, මහජනතාවගේත් අවධානය යොමු වී ඇත.   ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන්ට  සාමකාමී  උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ඇත.   එසේම නීතිය හා සාමය  කඩවන අවස්ථාවන් ඇතොත්  ඒවා හඳුනාගෙන  ඒවායින් වන බලපෑම්  වළක්වාලීම සඳහා  නීතිය හා සාමය  රකින  පොලීසිය ඇතුළු  අනෙකුත්  අධිකාරීන්ට ද  විශාල වගකීමක් ඇත.

(2)    මහජනතාවට ලෙන්ගතු රජයක් වශයෙන් මේ අංශ දෙකම පිළිබඳව සුපරීක්‍ෂාකරිත්වයෙන් හා  වගකීම් සහගතව සෑම අංශයක්ම කටයුතු කළයුතු බව  අපි විශ්වාස කරමු.   පළමුවෙන්ම  කිවයුතු වන්නේ  ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා  හැරීමේදී  පොලීසිය  සීමාව ඉක්මවා කටයුතු  කර තිබේද  යන්න සොයා බැලීම සඳහා  මේ වනවිට පොලිස් කොමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්‍ෂණයක්  ආරම්භ කර තිබෙන බවයි.   මේ වනවිටත් ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීන්  එම කොමිසම හමුවට  කැඳවා  විමර්ශන  කටයුතු  සිදුකරමින් පවතී.

(3)    දෙවනුව මෙම  ප්‍රශ්නය ආරක්‍ෂක අංශවලට  පමණක්  අදාළ වූවක් නොවේ.   උසස් තාක්‍ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරන සිසුන්ගේ  උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නය දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රශ්නයකි.   මෙම ඩිප්ලෝමා පාඨමාලාව උපාධියට සමාන පිළිගැනීමක්  1990 වසරේ චක්‍රලේඛකයකින් ලබාදී තිබුණද පසුගිය රජය එම සමාන පිළිගැනීම අහෝසි කර තිබේ.   අපගේ නව රජය  බලයට පත්වීමෙන් පසු  අධ්‍යාපන අමාත්‍යාංශය මගින්  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වෙත දන්වා තිබෙන්නේ ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධියට සමාන පිළිගැනීමක්  නැවත ලබාදෙන ලෙසයි.   මේ රැගෙන තිබෙන ක්‍රියාමාර්ග   ප්‍රමාණවත් ද ඒවායේ  අඩුපාඩකම් තිබේද යන්න සොයා බැලිය යුතුය.

(4)    එසේම ශිෂ්‍යයින්, විශ්ව විද්‍යාල අධිකාරිය සහ උසස් අධ්‍යාපන  අමාත්‍යාංශය අතර  අදහස් සංනිවේදනයෙහි අඩුපාඩුවක් තිබෙන බවද  රජය අවබෝධ කරගෙන ඇත.   එම නිසා මෙම ප්‍රශ්නය  සමස්ථයක් ලෙස සැලකිල්ලට ගනිමින් ඒ සඳහා  අවශ්‍ය නිර්දේශ  ඉදිරිපත් කිරීම සඳහාද  29 වනදා  පැවති උද්ඝෝෂණයේදී  ඇති වූ කණගාටු තත්ත්වය  පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම සඳහාද  ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යාංශයේ ලේකම්  ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්  විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

(5)    අපගේ රජය වගකීම් සහගතව  හැසිරෙන  රජයක් බව අපි අවධාරණය කරමු.   අප රජය  ජනතා මතය  තලා පෙළා  දැමූ, උද්දච්ච ලෙස හැසුරුණු  පසුගිය රජයට වඩා  හාත්පසින් වෙනස් වූ රජයකි.   රටේ සාධාරණ නීති පැවතිය යුතු අතර එම නීතිවලට තරාතිරම නොබලා සෑමදෙනාම ගෞරව කළයුතු බව අපගේ විශ්වාසය යි.   29 වන දා සිද්ධිය ගත් කල  වුවද ඉහත කී තත්ත්වය සිසුන්ටද  පොලීසියට ද එකසේ      අදාළ ය.   කිසිවකුගේ වගකීම්  විරහිත ස්වභාවය නිසා එයින් රජයට එල්ලවන  විවේචනය  මගහැර යාමට   අපි අදහස් කරන්නේ නැත.  අපි එයට මුහුණදෙන්නේ  වගකීම් විරහිතව හැසිරෙන  ස්ථාන ,  පුද්ගලයින් හා අධිකාරීන්  නිවැරදි  කිරීම මගිනි.

(6)    අධ්‍යාපනය ඉහළ නැංවීම  අපගේ රජයේ  ප්‍රමුඛතාවයන් අතුරින්  එකකි.   අධ්‍යාපනයට වෙන් කරන  මුදල්  වැඩි කිරීමත් , අධ්‍යාපන ආයතන දියුණු කිරීමත් , ඒවා නවීකරණය කිරීමත්, කුසලතා පූර්ණ විද්‍යාර්ථියෙකු  අධ්‍යාපන ආයතන පද්ධතිය තුළින්  නිර්මාණය කිරීමටත්  අපගේ රජය වැදගත්කොට සලකන   ප්‍රධාන ඉසව්වකි.  එහෙයින් ඉදිරියේදී  ඉදිරිපත් කෙරෙන  සංවර්ධනය මූලික කරගත් සාර්වාර්ථික ප්‍රතිපත්තීන්වලටද වැඩි ඉඩක්  අධ්‍යාපනයට වෙන් කරමු.  රජය මේ ගෙන යන මහජන හිතකාමී  වැඩ පිළිවෙළ අවුල් කරලීම සඳහා  කිසියම් පිරිසක්  සංවිධානාත්මකව  කූඨ ලෙස  ක්‍රියා කරන්නේ ද යන්න සොයා බැලීම කෙරෙහිද  අපගේ අවධානය යොමුවී ඇත.

(7)    ජීවිතයේ තරුණ අවධිය ගෙවන  සිසු දරුවන්  තම අභිලාෂයන්  ඉදිරිපත් කිරීමේදී  ආවේගශීලීව හා හැඟුම් බරව කටයුතු කරන බව  අපි තේරුම් ගත යුතුව ඇත.   එහෙයින්, ශිෂ්‍යයින්, ගුරුවරුන්, පාලන අධිකාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර  අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු වන ආකාරයේ  වැඩසටහනක්  පණගැන්වීමට  රජය ඉදිරියේදී  කටයුතු කරනු ඇත.  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරෙන දෛනික ජීවිතයේ කටයුතු  සාමකාමීව සිදුවන නීතිය හා සාමය  සුරකින සුහද  සමාජයක්  ගොඩනැගීම සඳහා රාජ්‍ය අධිකාරිය මෙන්ම  මහජනතාවගේ  පැත්තෙන් ද  වගකීම් සහ යුතුකම්  සමුදායක් ඉටුකිරීමට තිබේ.   අප රජයක් හැටියට සෑමවිටම උත්සාහ කරන්නේ  මේ වගකීම්  හා යුතුකම්  වලින් බැඳුණු  යහපාලන සමාජයක්  ගොඩනැගීමට ය.

Archive

Latest news

Related news