Friday, April 26, 2024

හමුදාව ගෙන ගිය 158ක් ආගිය අතක් නෑ! අතුරුදහන් වූ නැගෙනහිර වැසියන් වෙනුවෙන් උද්ඝෝෂන

මීට වසර විසිපහකට පෙර හමුදාව විසින් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනෙකු මඩකලපුවේ දී ඥාතීන් විසින් සිහිපත් කෙරුණි.

1990 සැප්තැම්බර් පස් වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවති අනාථ කඳවුර වැටලූ යුද හමුදාව එහි රැකවරණ ලබා සිටි 45000 ක් පමණ පිරිස අතරින් 158 දෙනෙකු තෝරා, බස් රථවලින් රැගෙන ගිය බවයි එම සරණාගත කඳවුරේ කළමනාකරණ කටයුතු කළ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය පවසන්නේ.

මෙසේ රැගෙන ගිය පුද්ගලයන් පිළිබඳ අද වන තුරුත් කිසිම තොරතුරක් ලැබී නැති බව වන්දාරුමුලයි පිල්ලෙයාර් කෝවිලේ පැවති සමරු උළෙලට සහභාගී වූ ඥාතීහු කියා සිටිති.

1990 දී කොටි සංවිධානය සහ රජය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර එය බිඳ වැටීමෙන් පසු පැවති කලබලකාරී තත්ත්වය සහ හමුදා මෙහෙයුම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පොදු ස්ථාන වල රැකවරණ පතා තිබුණි.

අතුරුදහන්වීම් දහසක්

මේ වකවානුවේ දී යුද හමුදාව විසින් ප්‍රදේශයේ පුද්ගලයන් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර එසේ අත්අඩංගුවට ගනු ලැබූ දහසක් පමණ තවමත් අතුරුදහන් වී සිටින බවයි මානව හිමිකම් සංවිධාන පවසන්නේ.

1990 සැප්තැම්බර් පස් වැනිදා අළුයම නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පිහිටා තිබූ කඳවුරට පැමිණි හමුදාව පිරිමි සහ ගැහැණු වෙන් කළ බව කියා සිටින වෙල්ලෙයිසාමි ගොවින්දරාජ් හමුදාව සමග පැමිණි මුහුණු ආවරණ පැළඳි පුද්ගලයන් විසින් තෝරනු ලැබූ 158 දෙනෙකු රැගෙන ගිය බවත් සංදේශයට කියා සිටියි.

එම අවස්ථාවේ තම සහෝදරයා ද රැගෙන ගිය බව පවසන ඔහු අද වනතුරු සහෝදරයා ගැන කිසිම තොරතුරක් නැති බවයි පවසන්නේ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තිබූ අනාථ කඳවුරෙන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයන් 34 දෙනෙකු හමුදාව විසින් රැගෙන ගිය බව එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ A W ප්‍රනාන්දු පිළිගෙන තිබූ බවත් එම පිරිස පැය විසි හතරක් ඇතුළත මුදා හැරිය බව ඔහු පවසා තිබුණ බවත් වාර්තා වල සඳහන් වෙයි.

කොමිසම් වාර්තා

කෙසේ වෙතත් හමුදාව විසින් රැගෙන ගිය 158 දෙනාගෙන් කිසිවෙක් නිදහස් කර නැති බවයි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ අනාථ කඳවුරේ පාලක මණ්ඩලයේ සිටි ආචාර්ය පී ජයසිංහම් පවසන්නේ.

1995 වසරේ දී විශ්‍රාම ලද මහාධිකරණ විනිසුරු කේ බාලක්‍රිෂ්නන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කොමිසම හමුවේ මේ සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා දුන්නත් එම විස්තර ලේඛනගත කිරීමට වඩා වැඩි යමක් එම කොමිසමෙන් සිදු නොවූ බව ද ඔහු කියා සිටියි.

එවකට යුද හමුදාවේ කටයුතු කල පුද්ගලයන් කඳවුරෙන් රැගෙන ගිය පිරිසට සිදු වූ දේ පිළිබඳ දන්නා බව පවසන ඔහු අතුරුදහන් වූ පුද්ගලයන්ට කුමක් සිදු වුයේ යැයි දැන ගැනීමට ඥාතීන් බලා සිටින බවයි සංදේශයට ප්‍රකාශ කලේ.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news