Thursday, May 2, 2024

ඇවන්ගාඩ් වංචා දූෂණ කුණු කූඩයට; රනිල් ආන්ඩුව ඇවන්ගාඩ් සමඟ වැඩ! – නිලන්ත ඉලංගමුව

(ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා අගෝස්තු (23) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරතවූ අයුරු. සේයාරුව – ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි  )

අලුත් පාර්ලිමේන්තුවකි. අලුත් අගමැතිවරයෙකි. අලුත් විපක්ෂ නායකවරයෙකි. කොටින්ම කිවහොත් මෙය අලුත් සම්ප්‍රදායක් යැයි කියනු ලැබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපතිත්වය දරණ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රැඩිකල් ලෙස සිතීමට පුරුදුවිය යුතු කාලය එළැඹ තිබේ යැයි කියන අතර අගමැතිවරයා වඳුරන් මෙන් නොහැසිරෙන ලෙස තම විරුද්ධ පාර්ශවයට තර්ජනංගුලියක් එල්ල කොට ඇත. දේශපාලන ලෝකයේ මතුපිට තලය අලුත් වී ඇති ආකාරයෙන් අනෙක සෑම තැනක් තබා අඩුතරමින් තීරණාත්මක ස්ථාන හෝ අලුත් වී තිබේද? සරල පිළිතුර, නැත. එවැනි වෙනසක් සිදුවන බවක් පෙනෙන්නටද නැත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගෝස්තු (23) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරත විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා අගෝස්තු (23) ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරතවූ අයුරු. සේයාරුව – ජනාධිපති මාධ්‍ය ඒකකයෙනි

විවිධාකාරයේ පණ්ඩිතයින් මෙරට දේශපාලනය තුළ සිදු වී ඇති විපර්යාසයේ උරුමකරුවන් ලෙස හැසිරෙමින් ජයපැන් බොන සැටි කදිම මෙන්ම හාස්‍යජනකය. නමුත් රටේ සැබෑ ක්‍රමවේදය තුළ සිදුකළ යුතු වෙනස්කම් තබා පසුගිය රජය යටතේ මෙරට තීරණාත්මක ක්ෂේත්‍ර වල සිදු වූ අකැප දෑ ගැන විධිමත් පරීක්ෂණ කොට යුක්තිය පසිඳ ලීමට කටයුතු කරනු ඇතැයි යන්න, අවිනිශ්චිත නමුත් ආයාසයෙන් බලා සිටින බලාපොරොත්තුවක් බවට පත් වී තිබේ. මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සිදු වූ දෑ සම්බන්ධයෙන් ඇත්තේද එවැනිම බලාපොරොත්තුවකි. එය මේ වන විට සිදුකරන මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගමන් කිරීමට සමත්වනු ඇතිද?

letter_1

දිය රෙද්දෙන් බෙල්ල කපන ආලපාළුවන් වෙනුවට ක්ෂේත්‍රය ගැන හැඟීමක් ඇති, සහ විෂය ගැන මනා අවබෝධයක් ඇති අයවලුන්ට සුදුසු තැන ලබා දෙනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පල කරනු ලැබීය. යහපාලනය මතුවී ආවේ එම මූලික කාරණයට යටත්වය.

රාජ්‍යය ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීමත්, ජයන්ත පෙරේරා මහතාගේ “අභිනව” විශ්‍රාම යෑමෙන්, රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත්කිරීමත්, යහපාලන දේශපාලන විපර්යාසය යටතේ සිදුවූ ආදර්ශමත් මෙන්ම ප්‍රසන්න පත්වීම් බවට කිසිඳු විවාදයක් නැත. නමුත් සියල්ල තබා ඇතැම් තීරණාත්මක පත්වීම් රාශියක් සිදුවූයේ හුදු දේශපාලන කල්ලිවාදය අපේක්ෂාවෙනි. එනම්, හුදු දේශපාලන කල්ලිවාදය නමැති රැල්ලට බොහෝ සුභවාදී බලාපොරොත්තු හසුවී නන්නත්තාර වූ ආකාරය දැකීමට සිදුවීම අතිශය අවසනාවන්තය.

කෙසේ හෝ වේවා, තවමත්, ප්‍රමාද නැත. මන්ද, සැබෑ අවශ්‍යතාවයන් සිදු කිරීම සඳහා වූ සංක්‍රාන්ති සමය තුළ මෙරට සමාජය දෝලනය වෙමින් තිබෙන බැවිනි.

දේශපාලන පළිගැනීම් වලට ලක් වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ දෛවය මෙන්ම මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ බොහෝ දෑ සම්බන්ධයෙන් යට ගසා ඇති බිහිසුණු ඇත්ත මතුපිටට ගෙන සැබෑ අර්බුදය විසඳා ගැනීම මෙහිදී අනිවාර්ය වේ. යහපාලනයේ දින සීය යටතේ සිදු නොවූ නමුත් නව ජාතික ආණ්ඩුවේ මාස හැටක කාලය තුළ සිදු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින කාරනා වලින් මූලික දේ එයයි.

මෙරට සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ ඍජු බලය පවරා තිබූ ඇවන් ගාඩ් පෞද්ගලික සමාගම සම්බන්ධයෙන් වන කාරණය ලියවෙන්නේද මීට යටත්වය. හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් කොළඹගේ මහතා, තමන්ගේ “ඓතිහාසික” ආචාර්ය උපාධිය නිමා කිරීමෙන් පසු යලිත් අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගත් බව සඳහන් වේ.

මේ අතර, පසුගිය අගෝස්තු 21 වැනිදා, ඇවන්ගාඩ් සමාගමේ වාණිජ නෞකා ආරක්ෂක මෙහෙයුම් හී ප්‍රධානියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩර් දියබලනගේ මහතා විසින් ලියනු ලැබූ ලිපියෙහි සැලකිල්ලට ගතයුතු මූලික කාරණා කිහිපයක් මතු කරනු ලබයි.

අදාළ ලිපියේ සඳහන් පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය විසින් මෙරට සමුද්‍ර කටයුතුවල එකම ගැලවුම්කරුවා සහ මැදිහත්කරුවා ලෙස ඇවන් ගාඩ් සමාගම “නිල” වශයෙන් පත් කොට ඇත.

අදාළ ලිපියට අනුව, මෙරට සිදුවන අවි ආයුධ ගනුදෙනු එනම් පාවෙන අවිගබඩා පවත්වාගෙන යෑම සහ නඩත්තු කිරීම ඇතුළු ප්‍රධාන සමුද්‍රාරක්ෂක කටයුතුවලට සම්බන්ධ ප්‍රධාන කළමණාකරුවා ලෙස කටයුතු කරන බව සඳහන් කරන අදාළ සමාගම, මෙරට රාජ්‍යයේ නිල නොයෝජිතයා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පෙනී සිටින්නේය. එසේම කලාපීය අසල්වැසි රාජ්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී රාජ්‍යයේ නිල නියෝජිතයා ලෙස පෙනී සිටීමේ වාසනාවද අදාළ පෞද්ගලික සමාගමට පවරා දී ඇත.

මෙහි ඇති භයානක සහ අතාර්කික කාරණය තේරුම් ගැනීම අදාළ සමාගම විසින් සිදුකළ කුමන හෝ ක්‍රමෝපායික වැඩපිළිවෙලකින් යටගසා ඇතිවාට සැකයක් නැත. මේ නිසා බොහෝ “දේශහිතෛශී” මාධ්‍යය නිහඬය. “රැඩිකල්” බුද්ධිමතුන් පැස්බරාගේ සම්ප්‍රදාය අනුගමනය කරති. යහපාලනයේ කදිම සංස්කෘතියකි.

නමුත් රාජ්‍යයක විශේෂයෙන් දූපත් රාජ්‍යයක ජාතික ආරක්ෂාව සමබන්ධයෙන් කටයුතු කිරීම තනි පෞද්ගලික සමාගමකට පැවරීම ගැටලුවක් නොවන්නේද? ඉන් අනියමින් කියවෙන්නේ, මෙරට රාජ්‍යය, රටේ ජනතාවගේ බදුමුදලින් සහ ආදායමෙන් නඩත්තු කරන ආරක්ෂක අංශ වලට මෙරට නිල නියෝජිතයා ලෙස පෙනී සිටීමට හැකියාවක් සහ කුසලතාවයන් නොමැත්තේය, යන්නද? අදාළ සමාගමට මේ ආකාරයෙන් විධායක බලයක් පැවරීම සඳහා සිදුකළ නෛතික ක්‍රියාවලිය කුමක්ද? යන ගැටලු මූලික වශයෙන් පැන නැගේ.

නමුත් මේ දක්වා යහපාලන ආණ්ඩුව යටතේ අදාළ සමාගම සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්‍ෂණ සඳහා ක්ෂේත්‍රය ගැන දන්නා , අදාළ සමාගමට ගතු නොකියන කිසිඳු ස්වාධීන නිලධාරීයෙකු යොදා නොගත් බවට මතුවන බරපතළ චෝදනාවක් තිබේ. මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පවා අදාළ කාරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පත් කරති. මෙය මාධ්‍ය සංදර්ශනයක් පවත්වා සැබෑ කාරණය යටගැසීම නම් වූ කෛරාටක උපායේ තවත් එක් නිදසුනක් බවට පත්වෙමින් තිබෙන්නේද?

අදාළ සමාගමේ කටයුතු වඩාත් උපාය මාර්ගිකව ඉදිරියට ගමන් කරමින් තිබේ. එසේම එහි මෙහෙයුම් මුලස්ථානය සිංගප්පුරුවට මාරු කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. එමඟින්, සමුද්‍ර ආරක්ෂාව සහ අවි ගනුදෙනු සම්බන්ධයෙන් මතු වී ආ බොහෝමයක් කරුණු අභියෝගයකට ලක් කිරීමට ඇති ඉඩ අවම විය හැකිය. එසේම අදාළ සමාගමේ ඉහල පෙළේ නිළධාරීන් පසුගිය කාලය පුරා තමන්ට හිතවත් මාධ්‍ය යොදාගනිමින්, රටේ අදායමට කළ “දේශහිතෛශී සේවයේ” ඇති සැබෑ යතාර්ථය අවබෝධ වනු ඇත. ඇතැමුන්ට රැකියා නැතිව ගෙදර යාමට සිදුවනු ඇත.

මෙමඟින්, ඔප්පු වන මූලික කාරණය වූ කලී, රටක මූලික නීති පද්ධතිය අකර්මණ්‍ය කළ විට ඕනෑම හොරෙකුට එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඇති අවස්ථාව පුළුල් වීමයි. එය යළි සාමන්‍යය තත්වයට පත් කිරීම සඳහා විශාල ශ්‍රමයක් මෙන්ම විෂය ගැන දන්නා බුද්ධිමතුන්ගේ මැදිහත් වීම අත්‍යවශය වේ. රටක පාලකයා සහ ඔහු වටා සිටිමින් රටේ පාලනයට අවංකව සහයෝගය දක්වන පිරිස තම කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා තීරණාත්මක තනතුරු සඳහා පත් කළ යුතුවන්නේ එවැනි නිලධාරීන් මිස, දේශපාලන ආවතේවකරුවන් නොවේ.

ඒ වෙනුවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වරයා ලෙස බස්නායක මහතා පත් කිරීම මෙන්ම ඔහු වෙනුවට ඒ ආකාරයේම තම වෘත්තිමය ජීවිතය තුළ අප්‍රසාදයට මෙන්ම අගෞරවයට පාත්‍ර වූ දේශපාලන හෙන්චයියෙකු අදාළ තනතුර සඳහා පත් කිරීමට සූදානම් වීම මඟින් සිදුවන්නේ ඉඟුරු දී මිරිස් ගැනීමකි. එමඟින් මූලික ගැටලු විසඳීම සඳහා නව සදාචාරයක් ඇති කිරීමට හැකි වේ යැයි සිතීම දවල් හීනයකි.

එහි තවත් එක් අප්‍රසන්න නිදසුනක් වන්නේ, විශ්‍රාමික අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා, ජනාධිපතිවරයාගේ නාවික කටයුතු උපදේශකයා ලෙස තම “අභිනව” විශ්‍රාම ගැනීමෙන් දින කිහිපයකට පසු පත් කිරීමයි. දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක් වූ නාවික හමුදා නිලධාරීන්ට සාදාරණය ඉටුකරනු වෙනුවට, ක්ෂේත්‍රයේ කීර්තිමත් නිලධාරීන්ගෙන් පළිගෙන නාවික හමුදාව දේශපාලන හෙන්චයියන්ගේ මෙවලමක් බවට පත් කරනු ලැබූ නිලධාරියෙකු තමන්ගේ උපදේශකයා බවට පත් කිරීම සැබවින්ම අප්‍රසන්න කාරණයකි.

කෙටි කාලයකට එනම් මාස හයකට අදාළ පත්වීම කළේ යයි කීම සාදාරනීකරණය කළහැකි හේතුවක්ද? මෛත්‍රිපාල සිරිසේන මහතාට මතකයේ ඇතිනම්, ඔහු ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස මුතුර්වල ජනතාවට ගංවතුර සහනාධාර ලබා දීමට කටයුතු කළ දිනයේ අදාළ ප්‍රදේශයේ බෝට්ටු සේවය නවතා දැමුවේ ජයන්ත පෙරේරා මහතාය. එසේම ඇවන් ගාඩ් සමාගමෙන් රජයට ලැබිය යුතු අදායම උපාය මාර්ගිකව අඩුකරනු ලැබුවේ ලැබූ එක් ප්‍රධාන නිලධාරියෙකු වූයේද ජයන්ත පෙරේරා මහතාය. ඒ අනුව අදාළ පත්වීම සිදුකරනු ලැබුවේ අදාළ සමාගමේ වුවමනාවටද යන ගැටලුව පැන නැගේ.

මෙවැනි කාරනා මඟින් ඔප්පුවන්නේ යහපාලනයේ නාමයෙන් ජයග්‍රහණය කොට ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොව ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බස්නායක මහතා බවය. ඔහු, දේශපාලන පළිගැනීම් වලට ලක් වූ නිලධාරීන් සම්බන්ධයෙන් කෙරෙනු පරීක්‍ෂණ උපායමාර්ගිකව යට ගසනු ලැබුවේය. හැකි උපරිමයෙන් කල්මැරීමෙන් පසු එල්ල වූ බලපෑම් හේතුවෙන් එය තම සේප්පුවෙන් එළියට ගත් බව පැවසේ.

මේවන විට එක් දේශපාලනඥයෙකුට හිතවත් හමුදා නිලධාරියෙකු කළ ඉල්ලීමක් නිසා අදාළ වාර්තාව කාලය අතර සිර වී තිබේ. මන්ද එම නිලධාරියා විශ්‍රාම යන වයස පසුකොට ඇතත්, සේවයේ යළි පිහිටුවන ලෙස ඉල්ලන හෙයිනි. මේ ඇති ගැටලුව වන්නේ එක් මේජර් ජනරාල්වරයෙකුගේ ආශාවක් හේතුවෙන් අනෙකක් සියලුම නිලධාරීන් වන්දි ගෙවිය යුතුද? යන්නයි.

බස්නායක මහතා, විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමට යෝජනා කරනු ලැබූ දීමනාවට අකුල් හෙලුවේය. මෙය පසුගිය තීරුවෙන් විස්තරාත්මකව ඉදිරිපත් කළේය. එසේම ඔහු ආරක්ෂක අමාත්‍යංශය තුළ සිටි කීර්තිමත් නිලධාරීන්ට ස්ථානමාරුවීම් ලබා දුන්නේය. ඔහු පසුකරනු ලැබූ මෙම කෙටි ධූරකාලය තුළ සිදුකළ අකටයුතුකම් සඳහන් කළ හැකි ලැයිස්තුව දීර්ඝ එකකි.

මෙම නරක පූර්වාදර්ශයෙන් යළිත් උගන්වනු ලබන පාඩම වන්නේ ඔහු වෙනුවට ඔහු වැනිම අයෙකු පත්කිරීම නොවේ. අදාළ තනතුර සඳහා සුදුසුවන්නේ අදාළ විෂයය ගැන පුළුල් අවබෝධයක් ඇති මෙන්ම ක්ෂේත්‍රයේ ගෞරවය රැකගත් විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරියෙකු පත්කිරීම බව ඉතිහාසය විසින් ඔප්පුකොට තිබේ.

ජනාධිපතිවරයා රට හැරගිය බුද්ධිමතුන්ට, යළි සියරට පැමිණ අලපාලු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට උරදෙන ලෙස ඉල්ලා සිටින්නේය. හිටපු නාවික හමුදාපතිවරයෙකුගේ කුකුල් කේන්තිය නිසා තම දරුවා ඉදිරියේ බඩට පහර කෑමෙන් පසු රට හැරදා ඔස්ට්‍රේලියාවට ගිය, කොමදෝරු ට්‍රැවිෂ් සින්නයියා ඇතුළු වයස අවුරුදු 55ට අඩු නමුත් බලෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කරනු ලැබූ අනෙකුත් ආරක්ෂක අංශ නිලධරීන් ගැන ජනාධිපතිවරයාගේ තීන්දුව කුමක්ද?

වචනවලට වඩා ආදර්ශය උතුම් කොට සලකන හෙතම, ඇතැම් තීරණාත්මක කාරණා හමුවේ අන්දයෙකු කරන්නේ කවුරුන්ද යන්න ඔහු විසින්ම තේරුම්ගෙන, එය ජනතාව හමුවේ පෙන්විය යුතු මූලික කාරණයකි. රටේ මහජන මුදල් මංකොල්ල කෑ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ දේශපාලනඥයින් පෑළ දොරෙන් ඇතුළට ගෙන කැබිනට් මණ්ඩලයට පත්කිරීමට කටයුතු කරන පාලකයෙකුට රටට සැබෑ සේවයක් කළ නිලධාරීන් නොපෙනෙන්නේ මන්ද යන්න ප්‍රහේළිකාවකි. එය එක්කෝ හිතාමතා සිදුකරන කූඨ උපායකි, නොඑසේනම් දෛවෝපගත අත්වැරද්දකි.

මේ සියලු කාරණා අහමුවේ අවබෝධකර ගත යුතු මුලික කාරණයක් තිබේ. එනම්, යහපාලනය දිවයන්නේ ආඳාගේ න්‍යායයට අනුවනම්, එය ආඳුන් අතරම දියවීමට වැඩි කාලයක් ගත නොවනු ඇත, යන්නයි. ජාතික ආණ්ඩුව හාස්‍යජනක ලෙස දෙදරා ගොස් බැටළුහම පොරවාගෙන සිටන සල්ලාල වෘකයින්ට යළි බලය ලැබීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

Archive

Latest news

Related news