Tuesday, April 16, 2024

සිංහල විපක්ෂ නායකයෙකු සිංහල ජනතාවට කරන ඔක්කොම දේවල් මං කරනවා – අාර් සම්බන්ධන්

ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වීම සියලු දේශපාලන කණ්ඩායම් වල සුවිශේෂී අවධානයට ලක් වෙමින් පවතී.

කාලාන්තරයක් රට තුළ දිග්ගැසෙමින් පවතින වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රයත්නය තීව්‍ර වෙමින් පවතින අතරයි, දමිළ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා විපක්ෂ නායකයාගේ කාර්යභාරය පවරා ගනු ලැබුණේ.

සියලු දමිළ දේශපාලන සංවිධාන නිශ්චිත දේශපාලන විසඳුමක් සඳහා නව පාලනයට බල කෙරෙමින් ඇති අතර යුද්ධයේ අන්තිම අදියරේ දී සිදු වූ දේවල් සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලා සිටි ජාත්‍යන්තර පරීක්ෂණය වෙනුවට අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා බටහිර ලෝකය එකඟ වූ මොහොතකයි ආර්.සම්බන්ධන් විපක්ෂ නායක පදවියට පත් කෙරුණේ.

එවැනි රාමුවක් තුළ එක් අතකින් රජය සමඟ ගනුදෙනු කරන අතරවාරයේ අනිත් අතින් දමිළ ජනතා අභිලාෂය අතර තුලනයක් පවත්වා ගැනීම ඔහු මුහුණ දෙන දැවන්ත අභියෝගය වනු ඇත.

දේශපාලන ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ප්‍රබල ද්‍රවිඩ නායකයකු වූ එස්.ජේ.වී.චෙල්වනායගම් යටතේ 1956 දී ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ සිය දේශපාලන ජීවිතයට මුල පුරන රාජවරෝදියම් සම්බන්ධන් 2001 වසරේ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට පත් විය.

අනතුරුව ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානය(LTTE) සමඟ සාකච්ඡා වලට සහභාගී වීම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ විශේෂ අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත් වුනි.

කොටි සංවිධානය දෙමළ ජනයාගේ එකම නියෝජිතයා හැටියට දෙමළ ජාතික සන්ධානය විසින් එම වකවානුවේ පිළිගනු ලැබුණ අතර එම ස්ථාවරය සමඟ එකඟ නොවූ වී.ආනන්දසංගරී ඇතුළු කණ්ඩායමක් ඉවත්ව යාම සන්ධානයේ පළමු බෙදීම සළකුණු කළේය.

අවස්ථා කීපයක් වන්නියට ගිය ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෝ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුණ ගැසී සාකච්ඡා කළහ. 2003 වසරේ වන්නියේ දී ප්‍රභාකරන් මුණ ගැසුණ ආර්. සම්බන්ධන් බීබීසී වාර්තාකරු දිනසේන රතුගමගේ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී කියා සිටියේ ‘දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය යනු දෙකක් නොවන’ බවයි.

ජාතික ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දෙමින් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම වෙනුවෙන් තමා පෙනී සිටින බවයි ඔහු අවධාරණය කළේ.

හැට වසරක පළපුරුද්ද

වෘත්තියෙන් නීතිවේදියකු වන රාජවරෝදියම් සම්බන්ධන් දමිළ ජාතික ප්‍රධාන දහරාවේ දේශපාලනයට එක් වන්නේ 1956 වසරේ දී ඉලන්ගයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිමිනි.

යාපනයේ සහ ත්‍රිකුණාමලයේ මෙන්ම කුරුණෑගල සහ මොරටුවේ ද පාසල් අධ්‍යාපනය ලබා ඇති ආර්.සම්බන්ධන් නීති විද්‍යාලයට ඇතුළත්ව නීති අධ්‍යාපනය නිම කරනු ලැබීමෙන් අනතුරුවයි පූර්ණ දේශපාලනයට පිවිසෙන්නේ.

බිබීසී සිංහල

1977 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුනක් දිනාගත් ඔහු 1983 තෙක් ශ්‍රී ලංකාවේ විපක්ෂ මන්ත්‍රීවරයකු හැටියට ක්‍රියා කළේය.

 

 

Archive

Latest news

Related news