Sunday, May 19, 2024

අතුරුදහන් වූවන් සමරා ඇම්නස්ටියෙන් ‘නිහඬ කළ සෙවණැලි’

ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කාව්‍ය නිර්මාණ තරඟයක් දියත් කොට තිබේ.

දශක ගණනාවක් පුරා සිදු වූ අතුරුදහන් වීම් තේමා කොට ගනිමින් ‘නිහඬ කළ සෙවණැලි’ කාව්‍ය නිර්මාණ තරඟයට සහභාගි වන මෙන් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 දාට යෙදී ඇති අතර එම දිනය සනිටුහන් කරමින් කාව්‍ය තරඟය නිල වශයෙන් අද ඉරිදා ආරම්භ විය.

නිහඩ කළ සෙවැනැළි
නිහඩ කළ සෙවැනැළි

ලෝකයේ අතුරුදහන් වූවන් වැඩි වශයෙන්ම සිටින රට ශ්‍රී ලංකාව බවත් යුද ගැටුම් පැවති දශක තුනක කාලය තුළ බලහත්කාරයෙන් සිදු කෙරුණු අතුරුදහන් වීම් පිළිබඳ දස දහස් ගණනින් වාර්තා වී ඇති බවත් එම සංවිධානය සඳහන් කළේය.

‘දීර්ඝ කාලයක් මුළුල්ලේ සිදු වූ අතුරුදහන් වීම් ශ්‍රී ලාංකිකයන් ඉතා විශාල පිරිසකගේ ජීවිත වලට බලපෑ ඛේදනීය තත්වයක්. සෑම ජනකොටසකටම අයත් සෑම පවුලක් පාහේ තවමත් සිය සමීපතමයන් සොයමින් සිටිනවා’ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥවරිය යොලන්ඩා ෆෝස්ටර් පැවසුවාය.

අතුරුදහන් වීම් පිළිබඳ තමා සතු ශෝචනීය අත්දැකීම් නිර්මාණාත්මක ලෙස බෙදා හදා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම තරඟයේ අරමුණ බවත් එම සංවිධානය පැවසුවේය.

ඔක්තෝබර් 30 දාට පෙර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි තමාට කැමති භාෂාවකින් සිය නිර්මාණ යොමු කරන ලෙසත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිර්මාණ කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

කාව්‍ය නිර්මාණ තරඟයේ විනිශ්චයකරුවන් ලෙස ගාමිණි වියන්ගොඩ, ලියනගේ අමරකීර්ති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, වීඅයිඑස් ජයපාලන්, ස්වාමිනාදන් විමල් ඇතුළු ප්‍රවීණ ලේඛකයෝ සහ කලාකරුවෝ රැසක් කටයුතු කරති.

Archive

Latest news

Related news