Thursday, April 25, 2024

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

මෙසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ එවක ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනාය.

මීට පෙර අත් අඩංගුවට ගෙන සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා සහ විශ්‍රාමික සාජන්ට් මේජර් රන්බණ්ඩා ආදීන් විසින් දුන් කට උත්තර අනුව මෙම ඉහල නිලධාරීන් සිව් දෙනා ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් කරන්නැයි සීඅයිඩිය විසින් යුද හමුදාවෙන් ඉල්ලා තිබූ අතර ඉල්ලීම කල් මරමින් සිිට යුද හමුදාව අවසානයේ අද එම සිව් දෙනා ඉදිරිපත් කර තිබේ.

ඉන්පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඉහත කී නිලධාරීන් සිව් දෙනා සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී.

මේ පිරිස අත් අඩංගුවට ගත් බව සැලවීමත් සමග ඔවුන් නිදහස් කරන ලෙස විවිධ පාර්ශව විසින් සීඅයිඩී නිලධාරීන් වෙත බලපෑම් එල්ල වෙන බවද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇත.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට යුද හමුදාවේ බුද්ධි අංශ සහ නීති විරෝධී මීනීමරු ඒකක සම්බන්ධ බව හෙලිවීමත් සමග වත්මන් යුද හමුදාපති වරයා එම පරීක්ෂණ යටපත් කිරීම සඳහා මහත් වෙහෙසක් ගනිමින් සිටී. ඔහුගේ සහ රාජපක්ෂවාදී සට්ටැඹියන්ගේ තර්කය වී ඇත්තේ මෙම ඝාතනය ගැන පරීක්ෂණ සිදුකළහොත් එය යුද හමුදාවේ බුද්ධි අංශයේ කඩා වැටීමකට හේතුවනු ඇති බවයි.

රටක බුද්ධි අංශ වැටුප් ලබන්නේ එම රටේ ජනතාවගේ බදු මුදලනි. එවන් අහිංසක ජනතාව පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට යුද හමුදාවේ නාමයෙන් හෝ බුද්ධි අංශ නාමයෙන් කිසිවෙකුට අය අයිතියක් නැත. යුද හමුදාව සිටින්නේ රට ජනතාව ආරක්ෂා කිරීමට විනා එරටේ ජීවත්වන ජනතාව පැහැරගෙන ගොස් බල්ලන්, බළලුන්, මීයන්, කැරපොත්තන් සේ මරා දැමීමට නොවන බව වත්මන් හමුදාපති වරයා දැන ගත යුතුය.

ප්‍රගීත් වෙනුවෙන් පැවැති සිහිකිරීමක්
ප්‍රගීත් වෙනුවෙන් පැවැති සිහිකිරීමක්

මීනීමරු රාජපක්ෂලාගේ සට්ටැඹියෙක් වූ ක‍්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති ධූරයට නුසුදුස්සෙක් බව ඔහු එම තනතුරට පත් කරද්දීම ලංකා ඊ නිව්ස් හෙලි කෙළේය. ඊට හේතු සාධක ලෙස ලංකා ඊ නිව්ස් කියා සිටියේ හිටපු හමුදාපති ෆොන්සේකා මහතා නීති විරෝධීව සිරගත කිරීමේදී එකී යුද අධිකරණය හමුවේ ක්‍රිෂාන්ත ද සිල්වා බොරු සාක්කි දුන් බව සහ සාමාන්‍ය හමුදා සම්ප්‍රදාය අනුව ඉංජිනේරු බලකායක පුද්ගලයෙක් යුද හමුදාපති කරන්නේ නැති බවයි.

ඒ සියල්ල තිබියදී මෙකී නුසුදුසු හමුදාපතිවරයාට පසුගිය 22 දා සිට තවත් වසර සේවා දිගුවක් ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා දී ඇතැයි දැනගන්නට තිබේ. මෙම සේවා දිගුව නිසා දැනට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ වගකිව යුත්තන් සොයා ගැනීමට බාධා සිදුවනු ඇත.

කර්තෘ සටහන:

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඝාතනයට වගකිව යුතු යැයි දැනට අත් අඩංගුවට ගෙන සිටින යුද හමුදා ප්‍රධානීන් මෙම ඝාතනය සිදුකෙළේ ප්‍රගීත් සමග ඇති පුද්ගලික වෛරයකින් නොවන බව අප දනිමු. එනිසා මෙම තිරශ්චීන ඝාතනයට ඔවුන්ට නියෝග දුන් ඉහල පුද්ගලයා කව්දැයි හෙලි කර සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට අල්ලා ගැනීමට හවුල්වන්නැයි ඔවුන්ගෙන් අප ඉල්ලා සිටිමු.

එසේ නොවුනහොත් ඉහත කී ලුතිනන් කර්නල්ලාට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑ වරුන්ට, ඥාතීන්ට, දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, පවා සිදුවන්නේ සමාජයෙන් ගැරහුම් ලැබීමට බව ඉඳුරා කියමු. එබැවින් තමන්ට නියෝග දුන්නේ කව්ද යන්න ගැන හෙළි කරන ලෙස හමුදා නායකයන්ගෙන් ඉල්ලමු.. එමෙන්ම එම නායකයන්ට ඇත්ත කියන ලෙස ඉල්ලා ඔහුගේ ඥාතීන්ට පවුල් වල උදවියට බල කරන්නැයි සමස්ථ ලංකා ඊ නිව්ස් පාඨකයන්ගෙන් සහ සිවිල් සංවිධාන වලින් ඉල්ලා සිටිමු. පවුල් වල අය සහ ඥාතීන්ගේ නම් ගම් සියල්ල ඉදිරියේදී හෙලි කරමු

(ලංකා ඊ නිව්ස් -2015.අගෝ.24, ප.ව.1.15)

Archive

Latest news

Related news