Sunday, May 19, 2024

මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් නාමල් රාජපක්ෂ මහතා සී. එස්. එන්. නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අයිතිකරු වීමත් රුපියල් කෝටි දො‍ළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

හෙතෙම ඒ බැව් සඳහන් කළේ ඊයේ ( අගොස්තු 05) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති හෙළිදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබූ පුද්ගලයකු මෙතරම් මුදලක් උපයාගත් ආකාරය සොයාබැලීම සඳහා අධිකරණ අවසරය මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නාමල් රාජපක්ෂට හිමිවන වැටුප් හා දීමනාවලින් හෝ ඔහුගේ නීතිඥ වෘත්තියෙහි මෙතරම් මුදලක් උපයාගත නොහැකි බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා, කීර්තිමත් නීතිඥයෙක් නොවන නිසා ඔහුට එම වෘත්තියෙන් ද එතරම් මුදලක් උපයාගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.

එම අබිරහස අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙන බවත් ඒ මහතා පැවසීය.

ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ පූර්ණ අයිතිය පවතින්නේ නාමල් රාජපක්ෂ මහතාට බව සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලේඛන ගත වී ඇත. හෙලෝකෝප් සමාගම මිලදී ගෙන ඇත්තේ 2012 වසරේ බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය. තවද ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී නාමල් රාජපක්ෂ මහතා තමන් සතුව තිබුණු ලැම්බෝගිනි කාර් තුන ශ්‍රීලංකන් ගුවන් යානා මගින් මැලේසියාවට යවා ඇත.

ඉන්පසු එම කාර් තුන මැලේසියාවේ කුඩු රජාගේ නිවසට භාරදී ඇත. නාමල් සහ යෝෂිත පුත්‍රයින් පිටරටවලදී කාර් රේස් ධාවනයේ යෙදුණේ කුඩු රජාගේ බලපත්‍රය පාවිච්චි කරමින් බවත් අනාවරණය කරගෙන ඇත. මේ ලැම්බෝගිනි කාර් පිළිබඳවත් අධිකරණ නියමයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරගෙන යයි.

කමනි අල්විස් / Dinamina

 

Archive

Latest news

Related news