Thursday, May 9, 2024

රාජපක්ෂගේ අන්තිම පණ්ඩිතකම – සුනන්ද දේශප්‍රිය

‘ මං මේ අව්රුදු දෙකක් තියෙද්දි පණ්ඩිතකමක් කර ගත්තනෙ’ යැයි දුක් සිනා මුහුණකින් යුතුව කීවේ කළක් මහ රජාණන් ලෙස සෙල්පියක් ( තමන්ම ගත් තමාගේ ජායාරෑපය) පැළද සිටි හිටපු ජනාධිපති රාජපක්ෂ ය.

දැන් රාජපක්ෂ මුහණ දී සිටින්නේ ඔහුගේ දේශපාලන ජිවිතයේ දී කර ගත් දෙවන පන්ඩිතකමට ය. එනම් නැතිව ගිය ජනාධිපතිකම වෙනුවට අගමැතිකම හෝ ලබා ගනිමැයි අපේක්ෂාවෙන් 2015 මහා මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමයි. මේ වනාහී ඔහු විසින් කරනු ඇති අන්තිම පණ්ඩිතකම වනු ඇති අතර ඉන් රටට මෙන්ම ජනයාට ද සිදුවනු ඇත්තේ යහපතකි.

රාජපක්ෂ මෙම මැතිවරණයට කැඳවා ගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලිගයේ එල්ලී පාර්ලිමේන්තුවට රිංගා ගන්නා පරාජිකා වූ දේශපාලකයින් කල්ලියක් විසිනි. ඒ කල්ලිය වූ වීරවංශ, දිනේශ්, වාසුදේව, තිස්ස විතාරණ සහ ගම්මන්පිළ යන සියල්ලන්ට ම තනිව තරඟ කර පාර්ලිමේන්තු අසුනක් දිනා ගත නොහැකි ය. ජනවාරි 08 දිනෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු තමන්ට යන එන තැනක් නැතිව යනු ඇතැයි බියපත්වූ මේ කල්ලිය එලෙසින්ම ආතක් පාතක් නැතිව සිටි රාජපක්ෂ යළි බලයට ගෙන ඒමේ ව්‍යාපාරයක් ඇරඹූහ. උපන්ගෙයිම පරාජය කළ යුතුව තිබූ එම කූටෝපාය බරපතල ලෙස ගණන් ගැනීමට ජනාධිපති සිරිසේන මෙන්ම අගමැති වික්‍රමසිංහ ද අසමත් වූහ. රාජපක්ෂගේ සහාය සහ දූෂණ චෝදනාවන්ට ලක්ව සිර ගතවීමට නියමිතව සිටි රාජපක්ෂ වහලුන්ගේ සහායෙන් එම කුටෝපා දේශපාලනය ජය ගත්තේ ය. රාජපක්ෂගේ දෙවන (සහ අන්තිම) පණ්ඩිතකමට දොර හැරුනේ එළෙස ය.

එකී සියලු කූටෝපායන් හමුවෙහි රාජපක්ෂවාදී වහලුන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගෙන එය යලි එහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනම කරා ගෙන යාමට ජනාධිපති සිරිසේන අසමත් වූ අතර හිටපු ජනාධිපතිනි කුමාරතුංග එම සටනින් කර ඇරියේ ය. අවසානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වලිගයේ එල්ලී සිටි කල්ලිය එහි සුක්කානම හසුරුවමින් රාජපක්ෂ මහා මැතිවරණයට වඩම්මා ගත්තේ ය.

ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද ජනවාරි විප්ලවය ආපස්සට හැරවීම බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂාකයින්ගේ නොව ඉහත කී කල්ලියේ සහ රාජපක්ෂවරුන්ගේ කූටෝපාය විය. අහෝ! එළෙස මහින්ද රාජපක්ෂ දෙවන පණ්ඩිතකම කරා පා නැඟුවේ ය.

පළමු පණ්ඩිතකම කරා රාජපක්ෂ තල්ලු වී ගියේ ඔහුගේම බල තන්හාවට බොරු කකුල් ඇටවූ රටම රවටන දෛවඥයින් සහ දූෂණයෙන් ඉව වහා ගිය කැසිනෝ සහ එතනෝල යනාදී හොරු රංචුව නිසා ය. නොපෙනෙන අද්භුත බලවේගයන් කෙරෙහි විශ්වාසය තැබීම අඥානබාවයේ සහ හීන වූ ආත්ම විශ්වාශයේ ලක්ෂණයකි. පළමු පණ්ඩිතකම මෝඩකමක් යැයි පෙන්වා දීමට රජතුමා හෙළුවෙන් යැයි කීමට ධෛර්‍ය සම්පන්න පුරෝහිතයකු රාජපක්ෂට සිටියේ නැත. අදත් නැත.

රාජපක්ෂගේ දෙවැනි පණ්ඩිතකම නිසා විශාලම පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි. පෙර කී පරිදිම එය දූෂිත සහ භීෂිත දේශපාලනඥයින්ගෙන් මුදා ගෙන යළි මැදි පිළිවෙතෙහි ගමන් කරන පක්ෂයක් බවට පත් කිරීමට තිබූ අවස්ථාව ඉන් වැළකී ගියේ ය. සමහර විට එක්සත් ජාතික පක්ෂයට සැබෑ තරඟයක් දිය හැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් පෙරමුණක් ගොඩ නඟා මහ මැතිවරණයට මුහුණ දීමට එයට තිබූ අවස්ථාව නැති විය. අද එයින් හමන්නේ එතනෝල් සහ කුඩු ගඳය.

රාජපක්ෂ ප්‍රථම පණ්ඩිතකම කළේ බල තන්හාව සහ දෛවඥයින්ගේ වඳුරු උපදෙස් නිසා නම් දෙවන පණ්ඩිතකම කළේ වලිග වහල්ලු සහ අංක ගණිතය මිස වීජ ගනිතය නොදන්නා නිසා ය.

රාජපක්ෂ වහලුන්ගේ තර්කය මෙසේ ය. ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ලක්ෂ 58ක් ගත්තේ ය‍. සිරිසේනට ලැබුනේ ලක්ෂ 62කි. එම ලක්ෂ 62කට දෙමළ ජන්ද උතුරු නැගෙනහිර දෙමළ ජන්ද ලක්ෂ 06ක් අයත් ය. ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද ලක්ස 03ක් අයත් ය. එම ජන්ද මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුනට ලැබෙන්නේ නැත. එබැවින් ගෙඩිය පිටින්ම ජයග්‍රහණය රාජපක්ෂ ප්‍රමුඛ වහලුන්ට ය.

පසුගිය ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ දෙස විමසා බලන ඹ්නෑම අයකුට පෙනේනේ ජන්ද දායකයාගේ හැසිරීම මෙවැනි අවස්ථාවන් දෙකෙක දී සහ මුලින්ම වෙනස්වන බවයි. 2010 මහා මැතිවරණයේ දී රාජපක්ෂ හවුල ලබා ගත්තේ 2010 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ලබා ගත් ජන්ද සංඛ්‍යටෙ වඩා ජන්ද දශලක්ෂයක් අඩුවෙනි. රාජපක්ෂ සහ එහි වහලුන් 2015 ජනාධිපතිවරණයේ දී යොදා ගත් රාජ්‍ය දේපල, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය බලය අද ඔවුන්ට නැත. අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම රාජපක්ෂ පරාජය කළ යුතු බවට ගිවිස ගෙන සිටිති. මේ සියල්ලටමත් වඩා රාජපක්ෂ පවුල සහ එහි වහලුන් කළ හොරකම් සහ මැරකම් අද ජනාධිපතිවරණ සමයේදීට වඩා සාධක සහිතවම මහා ජනයා හමුවෙහි තිබේ.

රාජපක්ෂගේ දෙවන සහ අන්තිම පන්ඩිතකම විසින් රාජපක්ෂ විරෝධී කඳවුර ජනාධිපතිවරණයේ දී තිබුණාටත් වඩා සමගි සම්පන්න කර තිබේ. රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් නොවූයේ නම් 2015 දී ජනාධිපති සිරිසේන වෙනුවෙන් ගොඩ නැගුණූ පෙරමුණ බිදී විසිරී යන්නට හොඳටම ඉඩ තිබුණි. අද ජවිපෙ කරා ඇදී යන යම් යම් පිරිස් හැරුණ විට රාජපක්ෂ විරෝධී යහ පාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ වඩා බලවත් එකතුවක් බවට පත්ව තිබේ.

එපමණක් නොවේ. රාජපක්ෂ කඳවුර තුළම රාජපක්ෂ විරෝධී ප්‍රබල දේශපාලනඥයින් ගණනාවක් ම සිටිති. රාජපක්ෂ විරෝධී පස්වන බලකාය වනු ඇත්තේ එම පිරිස් ය. ‘සිය කඳවුර බෙදී නැතැයි’ රාජපක්ෂ පුන පුනා කීවද සෑම දිසාවකම ජනාධිපති සිරිසේනගේ දේශපාලන පිළිවෙතට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයින්ට හූ කීමත් ඔවුන් පරාජය කිරීමට කටයුතු කිරීමත් රාජපක්ෂ වහලුන්ගේ උපාය වී තිබේ. දැන් රාජපක්ෂවරු කියන්නේ ‘ හෙළවෙන්නේ නැති අයට‍’ ජන්දය දෙන්නැයි කියා ය. වෙනත් වචනයෙන් ඉන් කියන්නේ ජනාධිපති සිරිසේනගේ දේශපාලනය පරාජය කරන එකය.

එනයින් රාජපක්ෂගේ දෙවන පන්ඩිතකම විසින් කර ඇත්තේ ඔහුගේ දූෂිත භීෂිත දේශපාලනයට විරුද්ධ බලවේග සමගි කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද බින්න කිරීමය. එය ඔහුගේ අවසාන පන්ඩිතකම වනු ඇත්තේ ඒ නිසා ය. පසුගිය මැතිවරණයන්හිදී අසන්නට ලැබුණේ එජාප සහ ජවිපෙ පාක්ෂිකයින් රාජපක්ෂ කරා ඇදී යන බවයි. මෙම මැතිවරණයේ දකින්නට ලැබෙන්නේ ඊට මහමුලින්ම වෙනස් ලෙස ශ්‍රීලනිප පාක්ෂිකයින් රාජපක්ෂ කඳවුර අතහැර යාමයි.

පළමු පන්ඩිතකම අනුව රාජපක්ෂ ජනාධිපතිවරණයේ දී තමා ජයග්‍රහණය කළ හොත් කරනු ලබන වැඩ සටහනක් ඉදිරිපත් කළේ ය. දැන් ඉන් මාස හයකට පසු රාජපක්ෂගේ පොරොන්දු මල්ල ඊට හාත්පසින්ම වෙනස් ය. තමාගේ දස වසරක පාලන කාලය තුළ මෙරට මහා ජනයා අමතක කර සිය පවුල සංවර්ධනය කරගත් රාජපක්ෂ දැන් තමා අගමැති කරන ලෙස යදිමින් ගයන්නේ අලුත් සිංදුවකි. ඔහුගේ පාලන කාලය අසාර්ථක වූ බව රාජපක්ෂගේ ජන්ද සටන් පාඨයෙන්ම පිළිගෙන තිබේ. ඉන් කියැවෙන්නේ ‘අලුතින්ම පටන් ගමු’ කියා ය‍. ඒ වනාහී රාජපක්ෂගේ දෙවන සහ අන්තිම පන්ඩිතකම තුල පැටව් ගසා ඇති පුංවි පුංවි පන්ඩිතකම්වලින් එකක් පමණි.

රාජපක්ෂගේ මේ අන්තිම පන්ඩිතකම දැසින්ම බලා ගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ මේ දිනවල කුරුණෑගල දිසාව පැත්තේ ඇවිද බැලීම යි. එතනෝල් ජාවාරම්කාර සහ තැබෑරුම්කාර රාජපක්ෂ වහලුන්ගේ කාර්යාලයන්හි මැස්සන් ඇහිරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට යහ පාලන පෙරමුණට පැමිණි නාවින්නගේ කාර්යාලයෙහි මිමැසි පොදිමෙන් මහාජනයාගෙන් පිරී තිබේ. රාජපක්ෂ මැජික් එකක් කුරුණෑගල නැත. ඔහු අද තවත් එක් ජන්ද අපේක්ෂකයෙක් පමණි.

තිත්ත නමුත් ඇත්ත පිළිගැනීමට රාජපක්ෂ සහ වහලුන්ට සිදුවූ විට ‘ අහෝ අප අන්තිම පන්ඩිතකමක් කළා නොවැ’යැයි කොදුරන්නට වන දිනය එතරම් ඈත නොවේ.

Archive

Latest news

Related news