මහින්ද රාජපක්ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින් තමන්ට සිදු වූ දේ ගැන අධ්‍යනය නොකර අසමතුන්ගේ උසී ගැන්වීම් අනුව යමින් තම දේශපාලනය හාස්‍යජනක ලෙස උපහාසයට ලක් කරගත් නායකයින් අතර මුල් තැන රාජපක්ෂ මහතාට හිමිවනු නියතය. ඔහු බිය සහ සැකය අතර සිර වී සිටින සැටියෙකි.
අතීතය යළි යළිත් වමාරමින්, යල්පැන ගිය දේශපාලන කාරණා අලුත් දෑ ලෙස පෙන්වමින් අවලංගු වූ දේශපාලනයක් මඟින් තමන්ට ජයග්‍රහණය කළ හැකි යැයි යන මිත්‍යාවක හෙතම එල්බගෙන සිටින සැටියෙකි. ඔහු පැටලී සිටින මායාවේ දකින සිහිනය තුළ ඔහුගේ දේශපාලන චින්තනය තීරණය වේ. ඒ අනුව ඔහු ඔහුගේ සිහින ලෝකය තුළ අපේක්ෂාවන් දකින්නේය. ඒ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ආශාවන් පහළ වන්නේය. තලතා අතුකෝරල මහත්මිය මෙය වඩාත් නිවැරදිව පසුගියදා සඳහන් කළාය. මේ මැතිවරණය පැරදුන ගමන්, “ඔය මිනිහා මහඇමතිකමටත් ඉල්ලනවා” ඇය කියන්නීය. ආශාවේ භෞතික විද්‍යාව එයයි. අනෙක් මිනිසුන් සේම රාජපක්ෂ මහතා හමුවේ එය සූදුවක් සේ වර්ධනය වී ඇත. සල්ගාදු ක්‍රීඩාංගනයෙන් නිකුත් වූ කිරණවලින් කියවුනේද එයයි. ඔහු සාමකාමී හිතක් ඇත්තෙක් නොවේ. සෑම මොහොතකම පැසෙමින් තම ජීවතය ගෙවා දමන චරිතයකි.
කිසිඳු තිර වැඩපිළිවෙලක් ගැන කතා නොකරමින්, අතීත ජයග්‍රහණයේ එකම අයිතිකාරයා වීමට උත්සහ දරන රාජපක්ෂ, “පරවාගෙන් පරයා” හඳුනා ගැනීමට තමන් දන්නා බව වඩාත් ද්වේශයෙන් සඳහන් කරනු ලැබීය. මෙය වාසුදේව නානායක්කාර මහතා මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීම හා සමානය.
රාජපක්ෂ මහතා විශාල කේන්තියකින් සහ වෛරයෙකින් තම කාලය ගෙවන සැටියෙකි. තම විලාපය දෙනු ලැබුවේ ටෙලිප්‍රොම්පරයක් භාවිතා කොට තමන්ට පමණක් වෙන්කරගත් මයික්‍රෆෝන් භාවිතා කරමිනි. ඊට පෙර කතා කළ සියලුම දෙනාට වෙනත් මයික්‍රෆෝන් වේදිකාවේ අනෙක් පැත්තෙහි තිබුණි. රාජපක්ෂ මහතාට වෙනම දෑ තිබුණි. වේදිකාව තුළ සහ සල්ගාදු ක්‍රීඩාංගණය තුළ සහ අවට තාක්ෂණික වශයෙන් සකස් කොට වැඩපිළිවෙල අනුව ගෝත්‍රික දේශපාලනයේ සැබෑ අප්‍රසන්න බව යළිත් මුළු ලෝකයටම පෙන්වනු ලැබීය.
කෙසේ වෙතත් රාජපක්‍ෂ මහතා සහ ඔහුට සහය වූ අනෙක් අයවලුන්, මුලික කාරණා තුනක් ඔස්සේ තම පළමු රැළියේදී පැවැත් වූ කතා ඉලක්ක කරණු ලැබීය.
පළමුවැන්න, කොටි සංවිධානය පරාජය කිරීම නමැති ප්‍රතික්ෂේප වූ නමුත් තෝරාගත් පිරිසකගේ හැඟීම් ඇවිස්සිය හැකි, පැරණි සිංදුව ගායනා කිරීමයි. දෙවැනි කාරණය, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය විසින් දකුණේ සිදුකළ බීෂණයයි. තෙවැනි කාරණය වූ කලී, රාජපක්ෂ මහතාගේ “මෙගා සංවර්ධනයයි”. මෙම මූලික කාරණා කේන්ද්‍ර කරමින් තම විවේචනය ඉදිරිපත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ගෙවී ගිය කාලය තුළ අවලංගු වූ සටන් පාඨ යළිත් අලුත් කිරීමට තම උපරිම උත්සහය ගත් ආකාරයක් දක්නට ලැබුණි. නමුත් රටේ වාසනාවට මෙන්ම ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට ඔහු එහිදී අසමත් විය. මන්ද ඇතැමුන් අසමත් වන්නේ ඔවුන්ගේ වාසනාවට යැයි ඉතිහාසය සාක්ෂි දරන්නේය.
මෙවැනි චන්ඩියෙක් රටට අවශ්‍යය වන්නේද? ආගිය අතේ කතා කරමින් තමන් කතා කරෙන්නේ කුමක්ද? යන්නවත් නොදැන අමුලික බොරුකීම බලය දිනා ගැනීමට මාර්ගය වන්නේද? කවුරුන් වෙනුවෙන් කතා කරන්නේද? කාට කතා කරන්නේද? කුමක් කතා කරන්නේද? නිවැරදි වචනය කුමක්ද? යන්න මහින්ද රාජපක්ෂ මහතාටවත් නොදැනෙන සහ නොතේරෙන සැටියෙකි සැටියෙකි. මෙය ජයග්‍රහණය සඳහා මාර්ගය වන්නේනම්, ඔහු අදටත් රටේ ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත. විමල් වීරවංශ මහතා, අනුරාධපුරයට බුදුන්වහන්සේ වැඩම කළේ යැයි කියමින් වැරදුන තැන එය වෙනත් ආකාරයකින් පටලවා කතා කිරීම හා සමානව රාජපක්ෂ බඩ ඉරිඟු ගැන සඳහන් කළේය. මෙය හාස්‍යජනක නොවන්නේද? මෙවැනි උන්මන්තක ගොන් රැළකට රටේ ඉරණම යළි තීන්දු කිරීම සඳහා ඉඩ දිය යුතුද?
මහින්ද තවමත් තමන්ට වැරදුනේ කොතැනද යන්න තේරුම් ගෙන නොමැති අතර, ඔහු වටා සිටින පිරිස එය තේරුම් ගැනීමට මහින්දට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සහ නිදහස ලබා දෙන්නේද නැත. ගෝත්‍රික දේශපාලනයේ ආකෘතිමය ස්වරූපය මෙයයි. එකා මත එකා නැසීම එහි මූලධර්මය වන අතර, සංවිධානය කළ පිරිසක් මාර්ගයෙන් තම සැබෑ සතුරාට එරෙහිව “හූ” කීමට සලස්වා ඉන් ප්‍රමෝදය සහ වින්දනය ලැබීම සංතෘප්තියට හේතු වේ.
රැළිය අවසන් වූ වහාම, “අදත් චන්ද්‍රිකාට හූ කිව්වා” යැයි, සංවිධානය කළ මුසාවන් ඇදදමා සතුටු වීම ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණය වී ඇත. මෙවැනි ගූඪ සහ අප්‍රසන්නගති සමූහ වශයෙන් ප්‍රතිෂේප කොට අපේ මාතෘභූමියට හිමි මනුෂ්‍යය ගතිය සහ විනය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මෙවර මැතිවරණයෙන් මහජනතාවට ලබා දී ඇති සැබෑ අභියෝගයයි. එය නොකරන තාක් දුරට මෙම ජාතියට කිසිඳු ගැලවීමක් නැත.
තම පරාජයෙන් දින 150 ක් ගෙවීමෙන් පසු ඔහුගේ ආගමනය නවාකාරයක යළිපිබිදීමක් ලෙස බොහෝ දෙනෙකු සඳහන් කරනු ලැබීය. නමුත් ඔහුගේ නව පිබිදීම, පැරණි මහළු පරාජිත කූඨ දේශපාලනයේම දිගුවක් ලෙස අද පැවති සමාරම්භක රැළියේදී වඩාත් පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ හැකි වූ කාරණයකි. ස්වාමියෙක් සහ සේවාදායකයෙක් ( ආවතේවකරුවෙක්) ලෙස ප්‍රායෝගික ලෝකයේ වෙසෙන දෙපාර්ශවයක් පිටත ලෝකයට පෙනෙන ලෙස අප්පච්චි සහ අප්පච්චිගේ දරුකැළ ලෙස අන්වර්ථ විශේෂණයන් භාවිතා කරමින් නව ආරම්භයක් ගැන සඳහන් කිරීම සැබවින්ම එක්සත් ජාතික පක්ෂයට, ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම ද්‍රවිඩ එක්සත් සන්ධානයට පමණක් නොව අනෙක් සුළු පක්ෂ වලට ලැබී ඇති මිල කළ නොහැකි අනගි අවස්ථාවකි.
රටට කොඩිවිනයක් වූ සාම්ප්‍රදායික බහිරවයා මියැදෙමින් සිටින්නේය. රට තුළ ඇති වෙමින් ඇති සැබෑ දේශපාලන රික්තය පිරවීම සහ ඒ වෙනුවෙන් ජනතාව බලමුළු ගැන්වීමේ මොහොත උදා වී තිබේ. මෙම අවස්ථාව නාස්ති කිරීම හෝ නිවැරදිව භාවිතා කිරීම රඳා පවතින්නේ දේශපාලනික අවබෝධයක් ඇති සහ විෂයයෙහි දැනුම ඇති පිරිස් මතය. එසේම නිවැරදි දේශපාලන විඥානයකින් කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහස් කරගැනීමේ හැකියාවද ලැබේ.
මහින්ද මුහුණ දී සිටින්නේ දෛවෝපගත දේශපාලනික බිඳ වැටීමකටය. “කරුමය” විසින් හෙතම ඉතා සෙමින් නමුත් යළි ගොඩ නැගිය නොහැකි පරිදි ක්‍රමානූකූලව නෂ්ඨනය කරමින් සිටින්නේය. වෙනත් වචන වලින් කිවහොත්, හෙතම ස්වභාවික නීතියට අනුව පියවරෙන් පියවර වන්දි ගෙවමින් සිටින සැටියෙකි.
සිදුවීම් පෙළගැසෙන ආකාරය අනුව, මෑතකදී චීන කොටස් වෙළඳපොල හදිසියේ කඩා වැටීම නිසා, තමන්ට සිදු වූ මිලියන ගණන පාඩුව හේතුවෙන් හෘදයබාදයකට ලක් වී වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සිංගප්පුරුවට රැගෙන යෑමට සිදු වූ බුරුමයේ අවුන් තවුන්ගේ තත්වයට, මහින්ද රාජපක්ෂ මහතා, පත්වේ දැයි සැක සිතේ. බුරුමයේ දූෂිතම දේශපාලඥයන්ගෙන් එක් අයෙකු වූ හෙතම, එරට ආර්ථිකය කාබාසිනියා කොට, “දේශප්‍රේමී” වෙස්ගෙන ජීවත් වූ තවත් එක් අයෙකි. මැතිවරණ රැළි වලට මිනිසුන් ගෙන්වා ගැනීමේදී ඔහු උපායන් දෙකක් අනුගමනය කළේය, එනම් නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම සහ පැමිණෙන පිරිසට බිරියානි ( බුරියානි) කෑම වේලක් දීමය. එම කෑම වේළ සාමාන්‍ය මිනිසුන්ට විශාල දෙයක් විය. නමුත් ඔහුගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය පාලනය හැකිතරම් තම පවුල කේන්ද්‍රකොටගෙන තබා ගැනීමය. චීනය ඔහුට හැකි උපරිම සහය දුන්නේය. රාජපක්ෂ මහතාට ඒ හා සමාන තත්වයක් උදාවුව හොත් ඒගැන පුදුම විය යුතු නොවේ.
මේ සිදුවන දේශපාලනය හමුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් ගුරුවරයා වන විමල් වීරවංශ මහතාට අවශ්‍ය වන්නේ “සෙල්ෆි දණ්ඩක් (ස්ටික්)” මිලදී ගැනීමය. මන්ද ඔහු තවමත් “සෙල්ෆි” සෙයරූ ගැනීමේ අසාවෙන් පෙළෙන පෙරපාසල් දරුවෙකු මෙන් හැසිරෙන හෙයිනි. මෙවැනි බබාලා අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරන්නේ යැයි කීම තරම් විහිළුවක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.
අගමැති වීමේ දොළදුක පිරිමසා ගැනීම උදෙසා වූ මංගල රැළියේදී, රාජපක්ෂ මහතා වැරදි බුදු බණක් කියා හදිසියේ වේදිකාවෙන් සමුගත්තේය. එය දුටු විට නිසැකයෙන්ම සිහියට පැමිණියේ ප්‍රංශ ජාතිකයින් බොහෝ අවස්ථාවාදී භාවිතා කරන ආතෝපදේශයකි, ඔහ්…ල..ලා…..!