Saturday, April 27, 2024

ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… – සුනන්ද දේශප්‍රිය

පසුගිය 14වනදා ජනමාධ්‍ය හමුවෙහි ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ සහ සනුහරට එලඹෙන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිළි කිරීම ගැන ස්තුති වන්ත වෙමි. රාජපක්ෂ මෙරට අගමැතිවීමට නුසුදුසු බවට ඔබ කළ දිරිමත් ප්‍රකාශය නිසැකයෙන්ම අද දවසට අවශ්‍ය තීරණාත්මක දේශපාලන නිගමනය වේ. ජනාධිපති වන ඔබ රාජපක්ෂ දූෂණ සහ භිෂණය සමඟ මුහුන් නොවන බව රටට පැවැසීම අපට ශක්තියකි.
පසුගිය දෙසතිය තුළ ඔබ තරම් නින්දාවට සහ ගර්හාවට පාත්‍ර වූ දේශපාලනඥයකු මෙරට සිට නැති බව ඔබ ප්‍රකාශ කළෙහිය. එමෙන්ම ජනාධිපතිතුමනි, ජනවාරි 08දා මෙරට සිදු වූ සාමකාමී විප්ලවයෙන් පසු මෙරට පමණක් නොව අන්තර් ජාතික වශයෙන් ද ඔබ තරම් ප්‍රශංසාවට සහ වර්ණනාවට පාත්‍ර වූ ශ්‍රී ලාංකික දේශපාලනඥයකු නොසිටි බව ද ඒ තරමට ම ඇත්ත ය. එය ද අමතක නොකරන්න. විය යුතු පරිදි ම, එම ප්‍රසංසාව ඔබට ලැබුණේ ඒ ජනවාරි විප්ලවය සඳහා පෙළ ගැසුණු බලවේග ඒකාබද්ධ කළ නායකත්වය ඔබ විසින් සැපයූ නිසා ය.

ජනවාරි විප්ලවය යැයි මා අදහස් කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර මෙරට මහා ජනයාගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුල් තැන්හි ලා සළකන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ විභව ශක්තියට යි.

එවැනි වෙනසක අපේක්ෂාවෙන් පෙරළිය නොහැකි දේශපාලනඥයකු යැයි පාරම්බෑ රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මෙරට ප්‍රජාතන්ත්‍ර ලැදි මහා ජනතාව ද එම සත් ව්‍යායාමය වෙනුවෙන් මහත් කැපකිරීම් කරමින් ඔබ නායකත්වය කරා ඔසවා තැබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සුවිශාල දේශපාලන බලවේග ද විසිනි. එයට අපි දේදුනු විප්ලවය යැයි කීවේ මහත් ආදරයෙනි. විවිධ බලවේග එක්රුස් කරගත් ගමනක මුල ජනවාරි විප්ලවය විසින් ඇති කරනු ඇතැයි යන්න එකී පෙරළියේ අයිතිකරුවන් වූ මෙරට මහා ජනයාගේ අපේක්ෂාව විය.

එම අපෙක්ෂාවෙහි තවත් පැත්තක් වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රාජපක්ෂ සනුහරයෙන් සහ එහි වහලුන්ගෙන් මුදා ගෙන යළිත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ගෙන ඒමයි. සමහර විට ජනවාරි විප්ලවය පෙරට ගෙන යෑම උදෙසා ඔබ විසින් කළ හැකිව තිබූ තීරණාත්මක කාර්යය වූයේ එයයි. ඒ සඳහා ඔබ හා එක්වීමට සූදානම් වූ ශ්‍රීලනිප දේශපාලනඥයින් ඔබ වටා ගොනු වූ බව ද අපි දුටුවෙමු. ඔව්හු ඔබ සමඟ නව ගමනක් යෑමට ඉදිරිපත් වූයේ රාජපක්ෂවාදීන්ගේ දූෂන සහ භීෂන බලයට අභියෝග කරමිනි. ඒසේ නමුත් ජනාධිපති සහ පක්ෂයේ සභාපති වශයෙන් බලයක් ඔබ සතුව තිබියදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වෙනසක් කිරීම සඳහා වූ විවිර වූ අවකාශය ඔබ ප්‍රයෝජනයට ගත්තේ නැත.

දේශපාලනය යනු බලය පිළිබඳ කාරණයකි. බලය අල්ලා ගැනීමත් බලය තමන් සතු බව ප්‍රායෝගිකව පෙන්වීමත් විරුද්ධවාදින්ට එරෙහිව එකී දේශපාලන බලය නිසි ලෙස භාවිත කිරීමත් සාර්ථක දේශපාලනඥයකු වීමට අවශ්‍ය ය. ගාන්ධි සාර්ථක දේශපාලනඥයකු නොවී ය. ඔහු අවිහිංසාවාදී සටන්කරුවකු වූ නමුත් ඉන්දියාව දැවැන්ත මිනිස් ඝාතනයක් කරා ගමන් කිරීම වැළැක්වීමට ඔහුට නොහැකි විය. මෙන්ඩෙලා ද ආදර්ශමත් සහ සාර්ථක සටන්කරුවකු වු නමුත් දේශපාලන ක්ෂේත්‍රයේ දී අසාර්ථක වූයේ ඕනෑවට වඩා කලින් දේශපාලන බලය අත හැරි නිසා ය. ඔහුට දකුණු අප්‍රිකාව වෙනස් කිරීමට නොහැකි විය.

පෙනෙන විදිහට දේශපාලනය යනු බලය පිළිබඳ කාරණයක් ය යන්න විශේෂයෙන්ම ශ්‍රීලංනිපය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඔබ එතරම් සැලකිල්ලට ගත්තේ නැත. රාජපක්ෂ යටතෙහි ශ්‍රීලනිපය දූෂණය සහ වහල්භාවය මත පදනම් වූ ආයතනයක් බවට පත් කර තිබුණි. රාජපක්ෂ යළි ගෙන ඒමට දැරෙන ප්‍රයත්නය සහමුලින්ම එම දූෂිතයින්ගේ අත්මාරක්ෂක යුද්ධයකි. ඊට මුහුණ දිය යුතු වූයේ ද එවැනිම වූ නිරනුකම්පික දූෂණ විරෝධී යුද්ධයකිනි. ඔබ විසින් පත් කරන ලද දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම තවමත් වැඩ ආරම්භ කර හෝ නැත. ඔබට විරුද්ධව රාජපක්ෂ විසින් පත් කරන ලද වහලකු වූ අනුර ප්‍රියදර්ශණ යාපා හෝ තවත් එවැනි වහලකු වූ ප්‍රේමජයන්ත ඉවත් කිරීමට තිබූ අවස්ථා ඔබ ප්‍රයෝජනයට ගත්තේ ද නැත.

නායකයා තමන්ට විශ්වාසවන්ත සහ දක්ෂ පුද්ගලයින් සිය නායකත්ව මණ්ඩලයන්ට පත් කර ගනී. පිටුපසින් පිහියෙන් ඇනීමට බලා සිටින බව දැන දැනම ප්‍රියදර්ශන යාපා සහ ප්‍රේමජයන්ත නායක තනතුරුහි තබා ගැනීම අවසානයේ දී කොතරම් පසුගාමී දේශපාලනයකට පක්ෂය ගෙන ගියේදැයි බලන්න.
ජනවාරි විප්ලවයේ ද්වජධාරියා වූ ඔබ, දෙස් විදෙස් හි අපමණ ප්‍රසංසාවට සහ විශ්වාසයට පත් වූ ඔබ, රාජපක්ෂ භීෂණය සහ දූෂණය පෙරළා දැමිමේ කාරියෙහි පොදු අපේක්ෂකයා වූ ඔබ අවසානයේ දී විමල් විරවංශලාට, සුසිල් ප්‍රේමජයන්තලාට සහ අනුර ප්‍රියදර්ශණලාට පරාජය වූයේ කෙසේ ද? ඔවුන්ගේ කුමංත්‍රණ සහ ඝෝෂා හමුවෙහි ඔබ රාජපක්ෂට ඉඩ හැර ඉවත් වූයේ කෙසේ ද?

නායකයා යනු අනුගාමිකයින් පසුපසින් යන්නෙකු නොව ඉදිරියෙන් ගමන් කරමින් මඟ පෙන්වන්නෙකි. එවැනි නායකයෝ විටෙක ස්වකීය ශ්‍රේණින් තුළ ම සුලුතරය බවට පත් වෙති. රුසියානු විප්ලවයෙන් පසු එහි නායකයා වූ වැලැඩිමීර් ඉලිච් ලෙනින් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල සුලු තරය බවට පත් විය. ඔහු ආපසු හැරී සටන් කර ඉල්ලා අස්වන බවට තර්ජනය කර යළි බහුතර බලය ලබා ගත්තේ ය. චීන විප්ලවයේ නායකයා වූ මා ඕ සේතුංටද එවැනිම තත්වයන්ට මුහුණ දීමට සිදු විය. ඔවුහු දෙපියවරක් ඉදිරියට යනු පිණිස පියවරක් පසු පසට ගියෝ ය. එවැනි අවස්ථාවක දී නායකත්වය යනු සියලු උපාය උපක්‍රමයන් මගින් සිය බලය තහවුරු කර ගැනීමයි. විරුද්ධවාදීන් විසින් රාජපක්ෂ බලයට ගෙන ඒම පිනිස මරාගෙන මැරෙන සටනක් දියත් කර තිබූ පසුගිය මාස ගණනාව පුරා කිසිදු බුරුලක් නොදී බලය මත පදනම්ව ආපසු හැරී සටන් නොකිරීමේ වරද දැන් ඔබ මත පතිත වී ඇත්තේ අනුකම්පා විරහිතව ය.

අවසානයේ දී ඔබට වජ්‍රායුධයකින් නැත්නම් දේශපාලන කාල තුවක්කු ප්‍රහාරයකින් රාජපක්ෂ සනුහරයට සහ වහලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු විය. එය එක් අතෙකට නිය පොත්තේන් කපන්නට තිබූ දෙය පෙරොවෙන් කපන්නට සිදු වීමක් වැනි නේද? දැන් රාජපක්ෂ සනුහරය සහ වහල්ලු කිපී සිටිති. බලය යොදවා ඔබ ජනාධිපති තනතුරෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීමට තරම් ඔව්හු දර දිග ගොස් සිටිති.

මේ වනාහී දේශපාලන විද්‍යාවෙහි අප උගන්නා පාඩම් යළි කියැවීමක් වැන්න. විරුද්ධවාදීන් හමුවෙහි බුරුලක් දක්වන දේශපාලන නායකයා මුහුණ දෙන්නේ මහත් අනතුරකට ය. මේ අනතුර බැහැරින් මෙන්ම ඇතුළතින් ද එළඹිය හැකි ය.

මේ සතුරන් කව්ද මිතුරන් කව්ද යන්න සැළකිල්ලෙන් තෝරා ගත යුතු මොහොතකි. සිය පුද්ගලික පල ප්‍රයෝජනයන් උදෙසා ඔබ සැබෑ මිතුරු බලවේග සමඟ බිඳවූ කේවට්ටයින්ගෙන් ද ප්‍රවේසම් වන්න.

Archive

Latest news

Related news