Saturday, May 18, 2024

ජනපති මෛත්‍රී දේශපාලන හුදෙකලාවකද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් ධුර කාලයක් හමාරයේ විශ්‍රාම ගන්නා පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතයි

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය නොදෙන බවත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විවිධ ප්‍රතිචාර පළවෙමින් පවතී.

හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීම මගින් බිඳ වැටුණු ජනතා විශ්වාසය යළි ගොඩ නැගීමට ජනාධිපතිවරයා සමත්වීද යන්න ඒ අතර සංවාදයට ලක් වන ප්‍රධානම කරුණක්.

“ඒකෙන් අප්‍රසාදය අඩු වේවි. නමුත් පූර්ණ විශ්වාසයක් ඇති වේවි කියල මම විශ්වාස කරන්නේ නෑ,” බවයි, ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් බීබීසී සංදේශයට කියා සිටියේ.

ජනාධිපතිවරයා බලයට පත් කිරීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ පුරවැසි පෙරමුණ බදාදා කොළඹ ජනරැලියක් පැවැත්වීම රාවය කර්තෘවරයාගේ එම ප්‍රකාශය සනාථ කරන්නක්.

“ජනවාරි 08 ජනවරම පාවාදීමට සහ දූෂණයට, මර්ධනයට පවුල්වාදයට එරෙහි” ජනරැලිය සහ සංගීත ප්‍රසංගය ලෙසිනුයි, සංවිධායකයන් නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේ පැවැත්වෙන එම රැලිය හඳුන්වා දී තිබෙන්නේ.

null
“ජාතික හෙළ උරුමය එජාප සන්ධානයට බැඳෙනවත් එක්කම ජනාධිපතිතුමා සෑහෙන්න තනිවෙලා සන්ධානය ඇතුලේ”

“ඒක කණගාටුදායක තත්වයක්. අපේ රටේ නායකයන් නොදන්නාම දෙයක් ඒක. මහජන විශ්වාසය, ගෞරවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක,” වික්ටර් අයිවන් වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම සිය ආධාරකරුවන් අතර බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩ නගා ගැනීම පිණිස ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී විශේෂ උත්සාහයක නිරත වූ නමුත් එය එතරම් සාර්ථක වී නැති හැඩකුයි මේ සියල්ලෙන් පෙනී යන්නේ.

සිවිල් සමාජ ක්‍රියාධරයන් ජනාධිපතිවරයා එසේ දැඩි විවේචනයට ලක් කළත්, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය ජනපතිවරයා දෝෂ දර්ශනයට ලක් නොකිරීමත් කැපී පෙනෙන්නක්.

සන්ධානයේ අනාගතය

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දරන අතරවාරයේ සන්ධානයේ ප්‍රබලතම අපේක්ෂකයා වන හිටපු ජනාධිපතිවරයාට සහාය නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කිරීමත් සමඟම සන්ධානය ප්‍රබල අර්බුදයකට මුහුණ දී සිටී.

සන්ධානයේ සාමාජිකත්වය දරන පක්ෂ සියල්ලම සහාය දක්වන්නේ කුරුණෑගල මන්ත්‍රී අපේක්ෂක මහින්ද රාජපක්ෂට.

null
“අපේ රටේ නායකයන් නොදන්නාම දෙයක් ඒක. මහජන විශ්වාසය, ගෞරවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක”

“සන්ධානය ඇතුලේ පක්ෂ අතරින් ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ආධාරකරුවන් නැති වුනා,” බවයි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ දේශපාලන විශ්ලේශිකා දරීෂා බැස්ටියන්ස් පවසන්නේ.

හිටපු ජනපතිවරයාට නම යෝජනා ලබාදීමට ප්‍රබල විරෝධය පළ කළ ජාතික හෙළ උරුමය, සන්ධානය තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් ප්‍රධානම පක්ෂයයි.

“ජාතික හෙළ උරුමය එජාප සන්ධානයට බැඳෙනවත් එක්කම ජනාධිපතිතුමා සෑහෙන්න තනිවෙලා සන්ධානය ඇතුලේ,” දරීෂා බැස්ටියන්ස් වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අනුව සන්ධානයේ බරපතල බෙදීමක් පවතින බව තවදුරටත් රහසක් නොවේ.

අගමැති අපේක්ෂකයා

පවතින අර්බුදය මැතිවරණයේදී සන්ධානයට කවර ආකාරයකින් බලපානු ඇතිදැයි අනාවැකි කීම දුෂ්කර වුවත්, කිසියම් අර්බුදයකට මුහුණ දෙන පක්ෂයක මැතිවරණ ජයග්‍රහණයට එම අර්බුදය ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ඉතිහාසයේ අත්දැකීමයි.

කිසියම් ලෙසකින් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය කළත්, මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට අගමැති පදවිය පිරි නැමීමේ අවශ්‍යතාවයක් නැති බව අවධාරණය කරන ජනාධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයන් සිටින බවයි.

විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මෙන්ම ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්.

එහෙත් ඒ කිසිම නායකයකුට පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර සහයෝගය ලැබේවිද යන්න ප්‍රශ්නයක්.

ජනාධිපතිවරයා කවර තීරණයක් ගනු ලැබුවද අගමැතිවරයා තීරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් බවයි, ඒ ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසන්නේ.

එබැවින් කිසියම් ලෙසකින් සන්ධානය ජයග්‍රහණය කළහොත් තමන්ට රිසි අගමැතිවරයා තෝරා ගැනීමේ හැකියාවත් ජනාධිපතිවරයාට අහිමි වී තිබේ.

ඇත්තෙන්ම ජනාධිපතිවරයාට ඒ බලය අහිමි වෙන්නේ තමන් විසින්ම ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන්.

හුදෙකලා වෙලා?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කළ හොත් ඒ ගැටලුව මතු නොවන බවත් නොරහසක්.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ සිය ස්ථාවරය හෙළි කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් බොහෝ මිතුරන් සහ ආධාරකරුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඈත්වෙමින් සිටින හැඩකුයි පෙනී යන්නේ.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපතිවරයාට ඉතිරි වී සිටින එකම ප්‍රබල ආධාරකරුවායි.

null
එජාපය සහ අගමැතිවරයා ජනපති සිරිසේන විවේචනය කිරීමෙන් වැලකී සිටියි

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ජනපතිවරයාට සමීප බවක් දක්නට තිබුණත්, මැතිවරණයේදී මහින්ද රාජපක්ෂට ආධාර නොකරන බව සඳහන් කිරීමත් සමඟ අමාත්‍ය තෙන්නකෝන් එයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය.

රාජපක්ෂ පවුලෙන් පීඩාවට පත් අමාත්‍යවරයකුව සිටි මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති පුටුවට කැඳවා ඒමට ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දැඩි කලකිරීමට පත්ව ශ්‍රී ලංකාවෙන් පිටව ගිහින්.

සිය සමීප ආධාරකරුවන්ගේ බලපෑම මත ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවල හිටපු ජනපතිනිය මඟ හැරි බව ඉතා විශ්වාස කටයුතු මාර්ගවලින් බීබීසී සංදේශයට දැනගන්නට ලැබුන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ජනවරම පාවා දුන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේත් මතයයි.

කෙසේ නමුත් ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය ගැන හිටපු ජනපතිනිය දරන්නේ කවර මතයක්ද යන්න පැහැදිලි නැහැ.

අනාගතය?

මේ තත්වය යටතේ ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් හුදෙකලා වී සිටින හැඩකුයි දක්නට ලැබෙන්නේ.

පසුගිය ජනපතිවරණයෙන් පරාජය වූවත්, එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට දකුණේ ජනතාවගේ ප්‍රසාදය හිමි විය.

මෙවර මැතිවරණයට තරඟ කිරීමත් සමඟ ඒ ගෞරවය රැක ගැනීමට හිටපු ජනපතිවරයා සමත් වේවිද යන්න ප්‍රශ්නයක්.

null
ජනපතිවරයා නායකත්වය දෙන සන්ධානයේ බහුතර සහයෝගය හිමි වී තිබෙන්නේ හිටපු ජනපති රාජපක්ෂ ට

රාජපක්ෂ පාලනය යටතේ පැවති මර්දනය, දූෂණය අතුගා දමා රටේ යහපාලනය ස්ථාපිත කිරීම පිණිස ජීවිත තර්ජන නොතකා එඩිතරව ඉදිරිපත් වූ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ජනතා ප්‍රසාදයට ලක් විය.

එහෙත් පසුගිය සතියේ සිය ආධාරකරුවන් සහ බොහෝ මාධ්‍ය තමන් දැඩි විවේචනයට ලක් කළේ තමන් විසින්ම සුරක්ෂිත කරන ලද භාෂණයේ නිදහස හේතුවෙන් බවයි, ජනාධිපතිවරයා සිය දේශනයේදී පෙන්වා දුන්නේ.

අන් බොහෝ රාජ්‍ය නායකයන් මෙන් නොව, එක් ධුර කාලයක් හමාරයේ විශ්‍රාම ගන්නා පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා ඉතිහාසයේ කවර ස්ථානයක් හිමි වේවිද යන්නත් අනාගතයට භාර ප්‍රශ්නයක්.

– බීබීසී සිංහල

Archive

Latest news

Related news